අසත්පුරුෂයෝ දුෂ්ඨකම් කරන්නේ හිතා ගන්නවත් බැරි විදිහටයි...෴
දුරින් ඉදන් උපද්‍රව කරන හතුරෙකුගෙන් සිදු වන දුෂ්ඨකම් කොහොම හරි ඉවසාගෙන ඉන්න පුළුවන් වුණත් ලගින් ම හිටපු කෙනෙක් මොකක් හරි දුෂ්ඨකමක් කළොත් ඒක නම් දරාගන්න අපි කාටත් ඉතා ම අපහසු දෙයක්... ඒකට හේතුව තමයි, බොහෝ දුරට අපි ලගින් ම ඇසුරු කරන්නේ අපිට විශ්වාසයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු වීමයි. එහෙම දෙයක් වෙලා පසුතැවෙන සමහරු කියනවා ' මෙච්චර කාලයක් කිරි පොවලා මං හදාගෙන තියෙන්නේ සර්පයෙක් නේ ' කියලා.
ඉතිං මේ කියන කතාව ගැන නම් මම හිතනවා අපි අතර ඉන්න බහුතරයකට ම වගේ හොඳ අත්දැකීමුත් තියෙනවා කියලා... මොකද, අපි කවුරුවත් කෙනෙක් ගැන විශ්වාසයකට එන්නේ ඒ කෙනා ගැන පරිපූර්ණ සෝදිසියක් කරලා හොඳයි ම කියලා නිගමනය කරලා නෙවෙයි.
අපේ බුදුරජාණන් වහන්සේට පවා ආනන්ද හාමුදුරුවන්ට කලින් බුද්ධෝපස්ථාන කරමින් ලගින් ම හිටපු සමහර භික්ෂූන් වහන්සේලා උන්වහන්සේගේ පා-සිවුරු අතරමග ම දමා-ගහලා භාග්‍යවතුන් වහන්සේ සමඟ අමනාප ද වෙලා ගියපු සිද්ධීන් වලට මුහුණපාන්නට සිදු වී තිබෙනවා. තවද භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි ම පැවිදි වී ඉඳලා පසුව උන්වහන්සේ හැරගොස් භාග්‍යවතුන් වහන්සේට නින්දා කළ ලිච්ඡවිපුත්‍ර සුනක්ඛත්ත භික්ෂුව වගේ අය ද උන්වහන්සේට මුණ ගැසිලා තිබෙනවා...
ඉතිං ඒක නිසා ම තමයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කම්පාවන හිත් ඇති අප කෙරෙහි මහා කරුණාවෙන් ම මෙහෙම දේශනා කළේ...
" අසන්තෙත්ථ න දිස්සන්ති - රත්තිඛිත්තා යථා සරා... "
' රෑ කළුවරක වදින හී සැර පහරවල් හොයාගන්න බෑ වගේ ලගින් ඉන්න කෙනා අසත්පුරුෂයා ය කියලා හොයාගන්නත් බෑ...'
එම නිසා අසත්පුරුෂයා යනු කවුදැයි මනා කොට හඳුනාගන්නට නම් ධර්මය ම හොඳින් දැනගන්නට ඕනි... ධර්මය ම තමයි සත්පුරුෂකම ගැනත් අසත්පුරුෂකම ගැනත් හරියට ම කියලා දෙන්නේ... ධර්මයෙන් ම තමයි අසත්පුරුෂකමට පිළියම් ද කළ හැක්කේ. එබැවින් සියලු සත්ත්වයෝ සත්පුරුෂ බෝසත් ගුණයන්ගෙන් ම පිරී-ඉතිරි, එබඳු ම ගුණැති සත්පුරුෂයෝ ම ඇසුරු කරන්නට හික්මෙනු මැනවි...෴