මහාදේව උපාසකයාගේ කථාව
දාන ඵලානිසංසය කථා වස්තුව සමඟ මෙහි දක්වනු ලැබේ. මෙසේ අසන්ට ලැබේ. සිංහල ද්වීපයෙහි තිස් සදන දනව්වෙහි වත්තේ ගම' නමැති ගමක් විය. එ ගම්හි ශ්‍රද්ධාවත් ධාර්මික ජීවිකා ඇති තුනුරුවන්හි පැහැදුණු උපාසකයෙක් වසයි. හෙතෙම ගොයම් පැසෙන කාලයෙහි වනයේ කුඹුර අසල පැලක් සාදාගෙන ගොයම් රැකීම සඳහා උන්නේය. එකල මධ්‍යම රාත්‍රි කාලයෙහි එක්තරා ප්‍රේතයෙක් ආහාරපාන ඉල්වමින් හඬමින් විලාප කියමින් මහමග යයි.
ඒ ශබ්දය අසා මහාදේව උපාසකයා නැගිට දුර සිටගෙනම " මිනිසුන් නැති වනයෙහි රාත්‍රි කාලයෙහි ආහාර පාන ඉල්වීමන් දුක සේ හඬමින් වැළපෙමින් යන්නේ කවරෙක්දැ" යි ඇසී. ප්‍රේත තෙමේ " මිත්‍රය මම මසුරු බව නිසා ප්‍රේතභාවයට පැමිණියෙක්මි. පව්කම් කොට ප්‍රේත ලෝකයෙහි උපන්නෙක්මි. මට නෑයෝ නැත්තාහ, සනාථ වූ හෙවත් නෑයන් ඇති මොවුහු කා බී සැපසේ යත්. මොවුහු අබරණ වලින් සැරසී ඇත් අස් රිය ආදියෙහි නැගී කැමති දිශාවලට යෙති " යි කීය.
එවිට මහාදේව උපාසකයා මෙසේ විචාළේය. මොවුහු කොතැනින් මේවා ලැබුවාහුද? තෝ කුමක් හෙයින් නොලබන්නෙහි ද? ප්‍රේතයා මෙසේ කියයි - සිංහල ද්විපයෙහි රුහුණු පෙදෙසේ බෝපිටිය නම් ගමෙහි මිනිස්සු ආහාර පාන දන් දී ඥාති ප්‍රේතයන්ට පින් අනුමෝදන් කර වූ හ. ඒ ඥාති ප්‍රේතයෝ එහි ගොස් පින් අනුමෝදන් වී ප්‍රේත භාවය හැරදමා දේවත්වයට පැමිණියාහ.මම ඔවුන් දැක හඬමි, වැලපෙමි. ශෝක කරමි. ඔවුන්ගෙන් නැවත නැවත ඉල්වමින් පසු පස්සේ යමි.
උපාසකයා යම් කෙනෙක් පරලොව ගියාහු නම් නෑයෝත් නොනෑයෝත් පින් දෙතියි කීය. ප්‍රේත තෙමේ නෑයන් නොනෑයන් පින් දුන් විට ප්‍රේතයෝ අනුමෝදන් වෙත් නම් ඒ පින ඔවුන් කරා පැමිණේ ය යි කීය. එවිට උපාසක තෙමේ මම හෙට සිල්වතුන් සිය ගෙදොරට ගෙන්වා ආහාර පාන දන් දෙන්නෙමි. තෝ එය අනුමෝදන් වෙවයි කීය. " මිත්‍රය, මම එය අනුමෝදන් වන්නෙමි, අනුකම්පා ඇති ඔබ මා සඳහා දෙනු මැනවි. සාපිපාසාවෙන් පෙළුණු මා අපායෙන් නිදහස් කළ මැනවැ " යි කීය.
ඉක්බිති මහාදේව උපාසකයා ඒ රාත්‍රිය ඇවෑමෙන් විහාරයට ගොස් භික්ෂුන් අටනමකට ආරාධනා කොට ගෙට ගොස් හැම ආහාර වර්ගයන් සම්පාදනය කරවා ඒ භික්ෂූන් වඩම්වා ගෙන අවුත් ආසනයන්හි හිඳුවා " මේ විපාකයෙන් ප්‍රේතයාට පැන ලැබේවා" යි කියා පැන් පිළිගැන්වීය. කැඳ කැවිලි පිළිගන්වා ආහාර පිළිගන්වා මල් පූජා කොට " මේ විපාකයෙන් ප්‍රේතයාට කැඳ ආදිය ලැබේවා '' යි අනුමෝදන් කරවීය.
ප්‍රේතයා ඒ පින් අනුමෝදන් වී දිව්‍යාත්මභාවයක් ලැබීය. භික්ෂූහු වලඳා අනුමෝදනා කොට හැරී ගියහ. උපාසකයා පසු දින කෙතට ගොස් පෙර සේ නිදා ගත්තේය. මැදියම් රාත්‍රි කාලයෙහි පැන් බී ආහාර අනුභව කොට මලින් සැරසුණු ප්‍රේතයා දිව්‍ය ශරීරයකින් එහි අවුත් උපාසකයාට නුදුරු තැනක සිටගෙන මෙසේ කීය'
'' මිත්‍රය, නැගිටිනු මැනවි, කුමකට නිදන්නෙහිද? සාංදෘෂ්ටික ඵලය බලනු මැනවි. කල්‍යාණ මිත්‍රයකු ලබා මම උතුම් සැපතට පත්වීමි.'' උපාසකයා පැල්පතෙන් ඉවතට පැමිණ මෙසේ කියාඃ '' මිත්‍රය, බොහෝ දුර සිටියෙහි මා සමීපයට එව, සැරසුණු තා දකිනු කැමැත්තෙමි. කුමක් හෙයින් තෝ ලජ්ජාවෙහිද?" ප්‍රේතයා මෙසේ කීය." මිත්‍රය, මම නිර්වස්ත්‍රව සිටිමි. එබැවින් ලජ්ජා වෙමි. මට වස්ත්‍රයක් නැත. ඉතිරි සියල්ල සම්පූර්ණ වූ නමුත් මට එක් වස්ත්‍රයක් නැත." උපාසකයා මෙසේ කීයා මා ළඟ එක් වස්ත්‍රයක් ඇත. මම එය තට දෙමි. එය හැඳගෙන මා සමීපයට එව." මෙසේ වස්ත්‍ර සියයක් දුන්නත් ඒවා මට නොලැබෙති. සිල්වතුන්ට යමක් දෙන ලද නම් ප්‍රේතයෝ ඒවා පරිභෝග කෙරෙතියි ප්‍රේතයා කීය.
ඒ රාත්‍රිය ඇවෑමෙන් උපාසකයා නැවත භික්ෂුන්ට ආරාධනා කොට දන් වළඳවා එක් එක් නමට වස්ත්‍ර ජෝඩුව බැගින් දී "මේ විපාකයෙන් ප්‍රේතයාට වස්ත්‍ර උපදිත්වා '' යි අනුමෝදනා කළේය. රාත්‍රියෙහි උපාසකයා වෙනදා මෙන් පැලට ගොස් නිදා ගත්තේය. මධ්‍යම රාත්‍රියෙහි ප්‍රේතයා දේව පුත්‍ර වේශයෙන් දිශාවන් බබළුවමින් අවුත් හැම අලංකාරයෙන් සැරසුනේ වස්ත්‍ර හැඳගෙන උපාසකයා ඉදිරියෙහි සිට මෙසේ කීය. ඔබ විසින් මට යම් උපකාරයක් කරන ලද නම් එය මාගේ මවුපියන් විසිනුත් නෑ සහ ලේනෑයන් විසිනුත් කරන ලද්දක් නොවේ. ඔබ කළ දෙයට මම ප්‍රත්‍යුපකාරයක් කරන්නෙමි'' යි කියා උපාසකයාගේ අතින් අල්වා ගෙන නුග ගසක් මුලට කැඳවා ගෙන ගොස් නිදන් තුනක් දැක්වීය. ඉන් එක් භාජනයක් රනින් පිරුනේය. එකක් රිදියෙන් පිරුනේය. අනික කහවණු වලින් පිරුනකි. " මේ නිදන් ගෙන පරිභෝග කරව, මෙහෙකරුවන් යොදාගෙන පින් කරව, මට ද පින් දෙව” යි කියා ඒ සියලු ධනය ඔහුගේ ගෙට ගෙස ගොස් අන්‍යයන් විසින් නොගත හැකි කොට අන්තර්ධාන වී නැවත මෙසේ කීය:
සියල්ල මනාසේ වියදම් කොට පෙර මළගියවුන් හා මිත්‍ර දේවතාවන් උදෙසා දන් දිය යුතුය. යමෙක් මෙවැනි දානයක් දෙන්නේ නම් මෙලොව දී ම සැප ලබයි. පරලොවදී සුගතියට යයි. අනිකට නොයයි. එබැවින් යම් කෙනෙක් තමන්ගේ අභිවෘද්ධිය කැමැති වෙත් නම් ඔවුහු මෛත්‍රී සහගතව ඇත්තෝ වී අනුන්ට හිත වැඩ කැමැත්තෝ ව මසුරු මල සිල් හැර දන් දීමෙහි ඇලෙත් වා. ඒ බොහෝ දෙනද මහාදේව උපාසකයා මෙන් වෙත්වා. මෙලොවදී යහපත් විපාක ලැබ පරලොවදී සුගතියට යෙත්වා.ධර්මකාමී පුද්ගලයා විසින් මෙවැනි දේ අසා මළගිය නෑයන්ට පින් අනුමෝදන් කරවීම සඳහා ධාර්මික ධානයෙන් දන් දිය යුතුයි.