මිත්ත තෙරුන්ගේ කථාව
හෙළ දිව කප්පතල '' ගමෙහි 'කප්පජ්ජතිලක " විහාරයෙහි මෛත්‍රී විහරණ ඇති මිත්ත නම් තෙර නමක් විසී. එතුමා උදෑසනින් නැගිට සිරුර කිස නිමවා පාත්‍ර සිවුරු රැගෙන පිඬු සඳහා ගෙපිළිවෙළින් ගියේ ය. එසේ ශාන්ත සිත් ඇතිව වඩින භික්ෂු නම දැක එක් සැදැහැවතෙක් පිණ්ඩපාතය දුණි.
එය රැගෙන විහාරයට යන තෙරුන් දැක එක් බැල්ලියක් පසුපස්සේ ආය. පෙරවූ සිවුර ඉවත්කොට අස්නක වැඩ හිඳ එය වළඳන තෙරනම බැල්ලියට බත් පිඬක් දුණි. එය කෑමෙන් තෘප්තියට පත් ඈ බඩසාය නිවාගෙන තෙරුන් කෙරෙහි සිත පහදවාගෙන යන විට එක්තරා නපුරු මිනිසෙක් ශාස්ත්‍රයකින් පහර දී ඇය මරා දැමීය.
මළ ගිය ඕ පැළලුප් නුවර සතළිස් කෙළක් ධනය ඇති සිටු ගෙයක ඉපද වැඩුණි.හෙළ දිව වැසි මිත්‍ර වූ සත්නමක් භික්ෂූහු චෛත්‍ය වන්දනාව සඳහා තවලම් ගෙන යන්නන් සමඟ උතුරු දඹදිවට ගොස් පිළිවෙළින් ගම් නියම් ගම් ජනපදවල හැසිරෙමින් අවුරුදු සොළොසකට පසු පාටලීපුත්‍ර නගරයට පැමිණියහ.
ඒ භික්ෂූහු පෙරවරු කාලයෙහි සිවුරු පොරවා පාත්‍ර අතින් ගෙන කඩ වීදියට බැස්සාහ. අභිරූපිනියක් වූ ඒ සිටු දුව උඩුමහලට නැගී කවුළු විවෘත කොට වීථිය දෙස බලා සිටින්නී මනා ඉරියව් ඇති ප්‍රියශීලී භික්ෂූන් දැක 'මොවුහු ලක්දිව උපන්නෝය " යි නියත වශයෙන් දැන ( පූර්ව ජන්මයද සිහිකොට " මේ භික්ෂූන්ට ආරාධනා කොට මේ ගෙට කැඳවා ගෙන එව " යි කියා දාසියක් යැවී.
ඒ දාසිය ඉක්මනින් ගොස් " ස්වාමිනි, මේ සිටාණන් ගේ දියණිය ඔබ වහන්සේට ස්වකීය ගෙට වැඩමවන්ට ආරාධනා කරන්නීය යි ඒ භික්ෂූන්ට කීය.සොඳුර, අපි ආගන්තුකයෝ වෙමු මෙය මෙ නුවරට අපගේ පළමුවෙනි ඒමයි. අදම මෙහි පැමිණි අප මෙනුවර කිසිවෙක් නොහඳුනන්නේ' යයි භික්ෂූහු කීහ. දාසිය හැරී ගොස් ඒ කීම සිටු දුවට දැන්වීය.
සිටුදුව " උන්වහන්සේ ගැන දනිමි" යි කියවයි කීය. ස්වාමි දුවගේ කීම ඇසූ දාසිය නැවත ඒ භික්ෂූන් වෙත ගොස් "ඔබ වහන්සේ නොදන්නා නමුත් සිටුදුව ඔබ වහන්සේ ගැන දනී. ඇයට අනුකම්පා කොට මේ ගෙට වඩිනු මැනවැ " යි කීය. භික්ෂූහු ආරාධනාව පිළිගෙන එහි ගොස් අසුන්වල හිඳ ගත්හ. සිටුදුව ඒ සත්ගමට ප්‍රණීත ආහාර පිළිගන්වා වළඳා අවසන්හි පාත්‍ර සේදූ පසු මෙසේ විචාළාය.
'' ස්වාමිවරුනි, බොහෝ දුර සිට පැමිණියාහ; මාර්ගයේදී කරදරයට පත් නොවූවාහු ද? ශාක්‍ය සිංහයන් වහන්සේගේ ශාසනය දිවයිනෙහි බැබළෙන්නේද? කප්පිතලයෙහි වසන මට අනුකම්පා කළ මිත්තතෙර තම නිරෝගීව සුවපත්ව වෙසේද?''
''ඔබ උත්පත්තියෙන් තරුණ වෙහි; නමුත් දුර රටක ප්‍රවෘත්ති විචාරන්නෙහි; එහි වැසි උගත් තෙර නමක් වූ මිත්ත තෙරුන්ද දන්නෙහි '' '' මම මින් ඉහත ජාතියෙහි කප්පිතලගමේ බැල්ලියක්ව ඉපද සිටියෙමි. පිඬු පිණිස හැසිර හැරී යන මිත්ත තෙරුන් පසුපස්සේ ගියෙමි. දන් වලඳන ඒ තෙර බඩසයින් පෙළුණු මා දැක තෙල් සහිත කිරිබත් පිඬක් මා ඉදිරියෙහි දැමී.
එය අනුභව කොට සාගිනි දුරු කර ගත් මම තෙරුන් කෙරෙහි පැහැදීමක් ඇති කර ගතිමි. ඒ බත්පිඬ අනුභව කොට විහාරයෙන් පිටතට එන මා දුටු එක් මිනිසෙක් මට ශස්ත්‍රයකින් පහර දුණි. එයින් මරණයට පත් මට අපායෙන් මිදී හැම සම්පතින් සමෘද්ධ වූ මේ සිටු කුලයෙහි උපන්නෙමි. එකල්හි මා විසින් ශීලයකුත් නොරක්නා ලදී.
මට ශුද්ධාවකුත් නොතිබුනි. තෙරුන් කෙරෙහි සිත පහදවාගත් පමණින් මහත් සැපයට පැමිණියෙමි. යම් කෙනෙකුන්ට ශුද්ධාවත් ශීලයත් දිය යුතු දෙයත් ඇත්නම් දක්ෂිණාර්හයන්ට දී ඒ පුද්ගලයෝ කෙබඳු විපාක ලබන්නාහුද?
පමණ රන්මල් ද සුවඳ සුණු - විලවුන් පහන් තෙල් - කොඩි මෙසේ කියා ඕ තොමෝ එක් එක් භික්ෂුනමකට නැළියක් ආදිය ද බෝධි පූජාව සඳහා දුණි. ගැල්වල පිර වූ මාර්ගොප කරණ ද මිනිසුන් සමග යැවී.
මාගම නැගෙනහිර දොරටුව සමීපයෙහි විසූ එක් මිනිසෙක් පර්වත චෛත්‍යයෙහි මල් පිදීය. ඒ මිනිසා කලුරිය කොට මහා බෝධියටත් පාටලී පුත්‍රයටත් අතරෙහි වූ ගමක සිටු පවුලක උපන්නේය. ජාතිස්මරණ ඥානය ලැබූ ඒ මිනිසා " තෙපි ඒ තෙරුන් බලන්ට යව් " යයි කියා බොහෝ මිනිසුන් තෙරවරුන් වෙත යවා තෙමේ ද මහත් සත්කාර කෙළේය. ඒ භපික්ෂූහු මහබෝ වැඳ හැරී ආවාහුය. එවිට සිටු දුවණියෝ එක් එක් තෙර නමට තුන් සිවුරු දී මහා මිත්ත තෙරුන් වෙත ගෙන යාම පිණිස තුන් සිවුරු ද ශ්‍රමණ පරිෂ්කාර සියල්ල ද ඒ භික්ෂූන්ට බාර දී නමස්කාර කොට ඒ තෙරවරුන් හෙළ දිවට එවීය. මාගේ ප්‍රවෘත්තියද ඒ තෙරුන් වහන්සේට කිව මැනවැයි කීය.