දුගී ගොවියාගේ කථාව

 

අනුරාධපුර නමැති උතුම් නගරයෙහි පෙර සද්ධාතිස්ස නමැති රජෙක් විය. රත්නත්‍රයෙහි ප්‍රසන්න වූ බුදු සස්නෙහි ශ්‍රද්ධාවත් වූ, ධර්මයෙන් රාජ්‍යය කරවන්නා වූ ඒ රජ සත්පුරුෂයෙකැයි සම්මත විය.ඒ රජුගේ නගරයෙහි එක් දුගී ගොවියෙක් තමාගේ එකම දුවණිය සමඟ ගඩොල් සෑදීමෙන් ජිවත් වෙයි.මෙසේ ජීවත් වෙන හෙතෙම දුර්භික්ෂ කාලයේදී ජීවත් විය නොහැකිව තමාගේ දුවණිය උකසට තබා කහවණු අටක් ගත්තේය.එසේ කහවණු අට ලබාගෙන විසි කිරියක් පමණ වූ භූමි භාගයක් ගෙන ගඩොල් සාදන්නේ කහවණු අටක් ඉතිරි කර ගැනීමට අවුරුදු සතක් ගත විය.

 

මෙසේ දුක සේ සපයාගත් කහවණු අට රැගෙන ගැල් සමූහයක් සමග පයින් යන්නේ පෙර තමා හඳුනන භික්ෂු නමක් දුටුවේය.ඔහු දුටු උපාසකයා ඕ හට දන්දෙනු කැමතිව ආහාරයක් සොයන්නේ එක් මිනිසකු ළඟ තිබෙන එක්වරකට සෑහෙන ආහාරයක් දුටුවේය.එවිට ඒ මිනිසා ඒ ගොවියා වෙත ගොස් '' මට මේ ආහාරය දෙව, මම කහවණුවක් දෙන්නෙමි '' යි කීය.ආහාරය අයිති මිනිසා එක් කහවණුවකට එය දෙන්ට නොකැමති වූ බැවින් පිළිවෙළින් ගණන වැඩි කොට තමා ළඟ තිබුණු කහවණු අටම දී. ඒ ආහාරය ගත්තේය.හෙතෙම ඒ ආහාරය ඒ භික්ෂුනමට පිළිගන්වා තමා පිළිබඳ ප්‍රවෘත්ති සියල්ල ද ඔහුට කීය. දාන දුන් හෙතෙම කඳුළු පිරුනු ඇස් ඇතිව හඬමින්­  පොරවා තිබුණු වස්ත්‍රයද ඒ භික්ෂුවට පුදා කැමති තැනකට ගියේය.

 

ඒ ආහාරය පාත්‍රයෙහි තබාගත් ඒ භික්ෂු නම සංවේගයට පත්ව මෙසේ සිතී  මේ තෙමේ කහවණු අටක් දීමේ ආහාරය ගත්තේය. අලුත් වස්ත්‍රයක් ද මට පිදී.තවද ඒ තෙමේ දුව මුදවාගැනීමත් අත්හැර මේ පරිත්‍යාගය කෙළේය. මේ මිනිසා දානසූරයෙකි, තෝ යෝග සූරයෙක් වේවි.ඉදින් චිත රාගයන් විසින් අනුභව කළ යුතු දානයක් සරාගී වූ තා විසින් අනුභව කරනු ලැබේ නම් තෝ සබ්‍රම්සරුන් විසින් ගැරහිය යුතු බවට පත් වන්නෙහි,තට මෙහිම මරණය හෝ සිදුවේවා නැතහොත් රහත් බව හෝ ලැබේවා. බුද්ධ පුත්‍රයෙක් වී මේ ආකාරය අනුභව කරව " යි.

 

මෙසේ තමාට අවවාද කොට පිරිසිදු සිල් ඇති නිර්භය වූ හෙතෙමේ විදසුන් වඩා රහත් විය. එසේ රහත් බවට පැමිණ සියලු බන්ධනයන් සිඳ දමා ෂඩභිඥාලාභියෙක්ව ඒ තෙරනම සිංහ නාදයක් පැවැත්විය. මුල් කෙළවර නැති සරෙහි ඇවිදින පෘථග්ජන තෙමේ බොහෝ දුක් අනුභව කරයි. ඒ දුක මා විසින් අවසන් කරන ලදී.නරකයෙහි කැපීම් කෙටීම් ආදි දුක් ද, වනයෙහි අනිකා අල්වා කෑමේ භයද, මිනිසුන් අතරෙහි ධනය සෙවීම ද, දෙව්ලොවෙහි වෙන්වයාමේ දුකද යන මේ සියලු දුක් මා විසින් ඉක්ම වන ලදී. එයට හේතු වූයෙ උපාසකයා දුන් ආහාරයයි. යම් උපාසකයෙක් ඒ දානය දුනනේ නම් ඒ දානයේ ආනුභාවයෙන් අකතත්වයට පත්වීමි.

 

මෙසේ හෙතෙම ආර්යයෙක් වී ඒ ආහාරය වලඳා අනුරාධපුරයට ගොස් මරණාසන්ත කාලයෙහි මෙසේ අධිෂ්ඨාන කෙළේය යමෙක් කහවණු අටක් දී මට ආහාරයක් දුන්නේද ඒ මිනිසා ඇවිත් අත ගැසූ විට පමණක් මාගේ ශරීරය සෙල වේවා අන් කිසිවකු විසින් සෙලවිය නොහැකි වේවා යි.

 

තෙරුන්ගේ පිරිනිවීම අසා මිනිස්සු එහි රැස් වූහ. සද්ධාතිස්ස රජතුමා ද අන්තඃපුර ස්ත්‍රීන් සමග එහි ආවේය.රජු සහිත පිරිස ඒ මාතා දේහය ස්වල්පයකුත් සොලවන්ට අසමර්ථවිය.පසුව ඒ මිනිසා අවුත් මෘත දේහය හැඳිනගෙන පහත් සිතැතිව ඉදින් මාගේ ආහාරය වලඳා මේ තෙර නම රහත් වී නම් විමතිය දුරු කිරීම සඳහා මෘත දේහය අහසට නැගේවා" යි කීය.මේ වාක්‍යය කියා අතින් දේහය ස්පර්ශ කළ කෙණෙහි එය අහසට නැගුණි.ඒ ප්‍රාතිහාර්යය දැක රජතුමා ඔහුගෙන් තොරතුරු විචාළේය. හෙතෙම සියල්ල විස්තර කොට කීය.

 

ඔහුගේ කීම අසා සතුටු වූ රජතුමා "සංඝයාට දුන් දානය ඉතා යෙහෙකි. මට එයින් පින් කොටසක් දෙව'' යි කීය. ' මහ රජ ඔබටත් අන් හැම සත්ත්වයන්ටත් පින් කොටස් දෙමි. අධික ගුණ ඇත්තන් කෙරෙහි දුන් දානය මෙසේ මහත් ඵල ලබා දෙන්නේය '' යි උපාසකයා කීය.රජතුමා ඔහුට එක් ජනපදයක් ද ඔටුන්නක් සහිත ආභරණ ද ස්ත්‍රීන් ද දාසි දාසයන් ද රථවාහන ද දුන්නේය.රජු සහිත පිරිස ඒ මෘත දේහය දවා ස්තූපයක් ද කොට පුදා විසිර ගියහ.මෙසේ දක්ෂිණාර්හයන් කෙරෙහි දෙන දානයට බුදු රජ පසසයි.