මනෝරමමංස කථාව
අනුරාධපුරයෙහි එක්තරා බාල සාමණේර නමක් දන් වළඳන උපාධ්‍යාය තෙරුන්ට මල් හා කොළවර්ග පිළිගන්වා මෙසේ ප්‍රාර්ථනාවක් තැබීය.ස්වාමීනි. මේ පිනෙන්ද චේතනා පිහිටු වීමෙන් ද යම් යම් තැනක උපදින්නේ නම් ඒ ඒ තැන්හිදී මොනර මස් ලැබේවා" යි.
හෙතෙම කලුරිය කොට එ නුවරම එක්තරා කුල ගෙයක උපණි. ඔහු උපන්දා සිට සැමදාම ඒ ගෙට මොනර මස් ලැබේ. එබැවින් ඔහුට '' මනෝරම මයුර මංස '' යයි නම් තැබූහ. හෙතෙම ක්‍රමයෙන් වැඩී ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි විය. පැවිදි වූ ඔහුට නිතරම මොනර මස් ලැබුණි. එක් දිනක් එක්තරා ඇමතියෙක් මොනර මසක් ලැබ ඒ තෙරුන්ට ආරාධනා කොට ගෙදරට ගෙන්වා අස්නෙක හිඳුවා අහාර දෙවී ය. ඔහුගේ භාර්යාව මාංශ ලෝහය නිසා ටිකක් දෙනු කැමති විය. මස් ටිකක් ගන්නා විට සියල්ලම එකට ඇලී ආවේය. ගෘහණිය එය වෙන් කරන්ට නොහැකිව සියල්ල තෙරුන්ට දුණි. එය දැක මනොරම - මයුර මංස තෙරනම සිනා පහළ කෙළේය.
ඇමතියා සිනා පහළ කිරීමට හේතු විමසමින් ඉන්ද්‍රිය සයෙහි සංවර ඇති සිල්වත් පැවිද්දෝ යම් කිසි කාරණයක් දැක සිනාසෙත්. ඔබ විසින් මනෝඥ මසක් දක සිනා පහළ කරන ලදී. ඒ සිනාසීමට හේතු කිව මැනව. මම අසනු කැමැත්තෙමි" යි කීය.
තෙර නම මෙසේ කීය: "මාගේ පින නොදන්නා වූ ඕ තොමෝ ටිකක් දෙනු කැමැත්තී වූවාය. ඒ සියල්ල මාගේ පාත්‍රයට වැටෙනු දැක මම සිතා පහළ කෙළෙමි. මෙලොව මසුරු මිනිස්සු ඉතිරි නොකොට දෙනු කැමැත්තෝ නොවෙත්. පින්වත් පුද්ගලයෙකු දැක මසුරු වීමෙන් පලක් නැත. මා විසින් පෙර දක්ෂිණාර්භයන් කෙරෙහි යම් පිනක් කරන ලද නම් එය අද ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ලැබේ. ඒ ස්ත්‍රිය සිදුරක් සොයයි.මසුරු ස්ත්‍රියක් දැක මම සිනා පහළ කෙළෙමි. ඒ බව දත මැනවි; අන් කරුණක් නොසිතනු මැනවි.''
ඇමති තෙමේ තෙරුන්ගේ පින විමසින්නෙමියි සිතා පසුදා සඳහා ආරාධනා කොට නිවුඩු සහලේ බත් කාඩි හොදි සමග දිය යුතුයයි සිය බිරිඳට කියා ගෙයින් පිටත ගියේය. නගර පාලක දේවතාවා මිනිස් වෙසින් අවුත් මොනර මස්ද ඇල්හාල් ද දී කිරි මුට්ටියක්ද ඇමති බිරියට දී "ආර්යාවෙනි. ඇමතිතුමා මේ දේවල් පිස භික්ෂුනමට දන් දෙව" යි කීය. ඇමතිගේ භාර්යාව ඒ සියල්ල දක ඇමතිතුමා මට කලින් මෙසේ කියා ගොස් නැවත සිත වෙනස්කොට මේ දේවල් එවූයේ වනැයි සිතා ඒවා රැ ගෙන නාසේ උයා දන් පිළියෙළ කළාය. තෙර නමද අවුත් අස්නක වැඩහිඳ ඳත් වලඳා ගියේය. ඇමතියා පසුව ඇවිත් " මං කීසේ සියල්ල කරන ලදද'' යි බිරියගෙන් විචාළේය. ඕ ඔහුගේ කීම අසා ඔබ කලින් අනිකක් කියා පසුව අනිකක් කළාහ යි කීය. ඇමකියා පසුව මා විසින් කුමක් කරන ලදදයි විචාළේය. ඔබ් විසින් එවන ලද මස් ද ඇල්හාල් ද කිරි මුට්ටිය ද රැගෙන මම දන් සිළියෙළ කොට ඒ හිමියන්ට දුනිමි යි ඕ කීය. මෙය ඇසූ ඇමතියා විස්මිතව පහන් සිත් උපදවා
'' අහෝ බුදුරදුන් විසින් ගිහියන්ටද පැවිද්දන්ට ද පින් උපකාර වෙතියි කී දේශනාව මනාසේ දෙසන ලද්දකි. දක්ෂ වූ මිනිසා විසින් කුසල් ම කළ යුතුය. මම කාඩි හොදි සමග නිවුඩු හාලේ බත් පිස දෙව යි කියා ගිය නමුත් දේවතාවෝ මොනර මස් ද ඇල්හාල් ද ගෙට ගෙනාහ. මෙසේ ප්‍රත්‍යක්ෂ ඵලයක් දුටුවෙමි යි කීය.
ඉන් පසු හෙතෙම මහාදානපතියෙක් විය. ධර්මයට ප්‍රිය කරන්නාහු විසින් බොහෝ පින් කළ යුතු ය. තුසිත පුරයට ගිය සද්ධාතිස්ස ඇමතියාද මෙහිදී බොහෝ පින් කොට තුසිත පුරයටම ගියේ ය.