ගෝධික තෙරුන් වහන්සේගේ කථා වස්තුව
"මේ දුක්ඛිත සසරෙන් අත්මිදෙන්නට ඇත්නම් මොනතරම් වාසනාවක් ....."
බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ඇතැම් ස්වාමීන් වහන්සේලා ඉතා ම සුව සේ ශීල, සමාධි, ප්‍රඥා වැඩුවා. හොඳින් භාවනාව දියුණු වුණා. නමුත් ඇතැම් ස්වාමීන් වහන්සේලා ඉතාමත් දුක සේ තමයි බණ භාවනා කර ගත්තේ. මෙහි සඳහන් වෙන්නෙත් ඉතාම දුක සේ බණ භාවනා කොට මහත් වීරියෙන් යුතුව සසරෙන් එතෙරට වැඩි ස්වාමීන් වහන්සේ නමකගේ අනුවේදනීය කතාවක්.
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා උන්වහන්සේ මග පැවිදි වූ ගෝධික නමින් තෙරුන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ ඉතාම සිල්වත්. භාවනා කිරීමට බොහෝ ම මහන්සි ගත්තා. රජගහ නුවර ඉසිගිලි පර්වතය බෑවුමෙහි කාලසිලා නම් ඉතා සිත්කලු තැනක් තියෙනවා. වීරිය ගත්තා. නිදි නො ලබා භාවනා කළා. බාහිර එතැන වැඩසිටි ගෝධික තෙරුන් වහන්සේ ඉතාමත් වැඩ කටයුතු වල යෙදුනේ නැහැ. නමුත් උන්වහන්සේ සමාධිය දියුණු කරගෙන එනකොට අසනීප වෙනවා. එතකොට භාවනාව කඩාකප්පල් වෙනවා.
පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහර විට මෙය කර්ම විපාකයක් වෙන්නත් පුළුවනි. සමහරුන් සුළු ප්‍රශ්න වලදිත් දිවි නසාගන්නවා. එබඳු බරපතල තීරණ ජීවිතයට ඉතාමත් ම දරුණු විදිහට බලපානවා. නිවන් දකිනකම් මවුණත් ඒවා පස්සෙන් එන්නට පුළුවනි. මෙයත් එවැනි දෙයක් විය හැකි යි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ සමාධිය උපදවා ගත්තත් ඒ සමඟම රෝගී වන නිසා ඒ සෑම අවස්ථාවේ දීම භාවනාව පිරිහෙනවා.
හය වතාවක් ම මෙය සිදු වුණා ශරීරයට බෙහෙත් කරගෙන සුවපත් වුණ විගසින් ම ආයෙමත් භාවනා කරන්න වීරිය කළා. හත්වෙනි වාරයේ දීත් සමාධිය උපදවා ගන්නට සමත් වුණා. හැබැයි එවෙලේ සිතුවේ වෙනස් ආකාරයකට යි. "මං සය වතාවක්ම සමාධියෙන් පිරිහුණා. සමාධියෙන් පිරිහී මිය ගියොත් උපත කොහේ සිදුවේ දැ යි කියන්නට බැහැ නෙව. ඒ නිසා දැන් මට කරන්නට තියෙන්නේ මේ සමාධිය පිරිහෙන්න කලින් දිවිනසාගන්න එක යි.” ඉන්පසුව උන්වහන්සේ ඇඳේ වාඩි වුණා. තමන්ගේ ගෙල සිඳගන්නට සූදානම් වුණා.
සත්ත්වයා සසරෙන් එතෙර වෙනවාට අකමැති ඉතාමත් බලවත් පුද්ගලයෙක් ලෝකයේ ඉන්නවා. ඒ තමයි මාරයා. එතකොට මාරයා මෙහෙම හිතුවා. "මේ භික්ෂුව ආයුධයකින් දිවි නසාගන්නට නෙව සූදානම් වන්නේ. හැබැයි මෙයා කරන පිළිවෙළට නම් ජීවිතය ගැන අපේක්ෂා රහිතවයි මෙය කරන්නේ. විදර්ශනා නුවණේ හිත පිහිටුවමිනු යි මෙය කරමින් සිටින්නේ. අරහත් වෙන්නටත් බැරිකමක් නෑ. මං කෙලින් ම පෙනී සිට කියා හිටියොත් මොහු ව වළක්වන්නට පුළුවන් වන්නේ නෑ. ශාස්තෘන් වහන්සේ ලවා මයි මොහු ව වැළැක්විය යුත්තේ.''
මෙසේ සිතූ මාරයා වෙනත් වේශයක් ගෙන ශාස්තෘන් වහන්සේ ඉදිරියේ පෙනී සිට මෙය පැවසුවා. "මහා වීරයන් වහන්ස, මහා ප්‍රඥාවන්තයාණෙනි, ඉර්ධි බලයෙන් හා යසසින් දිලෙමින් සිටින මුනිඳුනි, සියලු භය වෛර ඉක්මවා ගිය නුවණැස ඇතියාණෙනි. ඔබ වහන්සේ ගේ පා වඳිමි.මහාවීරයාණෙනි, ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් මරණයට කැමති ව, මරණයට යට වී සිටී. දිවි නසා ගන්නට කැමැත්තෙන් සූදානම් වෙයි. නුවණින් බබලන මුනිඳුණි. වහා එය වළක්වනු මැනැව.
ජනයා අතරෙහි ඉතා ප්‍රසිද්ධ වූ භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ශාසනයෙහි ඇලුණු, තවමත් අරහත්වයට පත් වී නැති ඒ ශ්‍රාවකයා කෙසේ නම් එවැනි ආකාරයේ කළුරිය කිරීමකට පත්වෙයිද ? "පින්වතුනේ, පින්වත් දරුවනේ. මාරයා විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඒ ප්‍රශ්නය අසන ක්ෂණයෙහි ම ගෝධික තෙරුන් වහන්සේ දිවි නසා ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ තැනැත්තා 'මාරයා' බව හඳුනා ගත්තා. හඳුනාගෙන මේ ගාථාව වදාළා.
"නුවණැති උදවිය ඔය විදිහටත් කරනවා තමයි. ජීවිතයට කැමැති නැ තමයි. ඒ ගෝධික භික්ෂුව තෘෂ්ණාව මුලින්ම උදුරා දමා පිරිනිවන් පෑවා." එතකොට බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා සමග ගෝධික තෙරුන් අපවත් වූ ස්ථානයට වැඩම කළා.
ඒ ක්ෂණයේ දී මාරයා ද ගෝධික තෙරුන් ගේ විඤ්ඤාණය උපතක් පිණිස පිහිටියේ කොහේ සොයන්නට පටන් ගත්තා. දුම් වළාවක් වගේ ඒ ඒ දිශාවලට ගමන් කරන්න පටන් ගත්තා. එවිට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඒ දුම් වළාව පෙන්නුවා. 'පින්වත් මහණෙනි, අන්න බලන්න මාරයා ගෝධික භික්ෂුවගේ විඤ්ඤාණය සොයනවා. " "ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස, ගෝධික භික්ෂුවගේ විඤ්ඤාණය පිහිටියේ කොහේද ? " "පින්වත් මහණෙනි, ගෝධික භික්ෂුව ගේ විඤ්ඤාණය කොහේවත් පිහිටියේ නෑ. පහන් සිලක් වගේ නිවිලා ගියා. පිරිනිවන් පෑවා."
එතකොට මාරයා කුමාරයෙකුගේ වේශයක් ගත්තා. වීණාවක් අතට ගත්තා. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙය ඇසුවා. "උඩ, යට, සරස, දිශා, අනුදිශා සෑම තැන ම මං සොයනවා සොයනවා සොයා ගන්නට බැහැ නෙව. ඒ ගෝධික භික්ෂුව ඉපදුනේ කොහේද ? " එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාළා. යමෙක් මහා වීරියකින් යුක්ත ව, ප්‍රඥාව සම්පන්න ව. ධ්‍යාන වඩනවා ද, හැම විට ම ධ්‍යානයේ ඇලී සිටිනවා ද, දිවා රාත්‍රී දෙකේම ධර්මයේ හැසිරෙනවා ද, කෙලෙස් සහිත ජීවිතයට අකමැති ද, අන්න ඒ කෙනා මාරයාගේ සේනාව නසනවා. පුනර්භවයක් කරා නෑ. ගෝධික භික්ෂුවත් තණ්හාව මුලින්න්ම උදුරා දමා පිරිනිවන් පෑවා. එ නිසා පවිටු මාරය, ගෝධික කුල පුත්‍රයාගේ විඤ්ඤාණය උපන් තැන ඔබට කුමටද? ඔබ වගේ සිය දහස් දෙනෙක් සියලු දිශාවේ එය සෙව්වත් දකින්නට පුළුවත් වන්නේ නැහැ" යි වදාරමින් මෙම ගාථා රත්නය ද වදාළා.
14. තේසං සම්පන්න සීලානං අප්පමාද විහාරිනං සම්මදඤ්ඤා විමුත්තානං - මාරෝ මග්ගං න වින්දති
උතුම් සිල් ගුණ ඇති - බඹසරෙහි නො පමා ඇති දියුණු කළ නුවණැති - කෙලෙස් දුරු කළ සිත් ඇති ඒ රහත් මුනිවරුනගෙ - දිවිය අවසන් වූ විට පිරිනිවන් වැඩි මග - මාරයා කිසි දිනෙක නො දකී
පින්වතුනේ, පින්වත් දරුවනේ, ලෝකයේ උපදින්නේ කෙලෙස් සහිත අය විතරයි. ඒ අය අතරින් මාර්ග ඵල නොලැබූ අයගේ සසර ගමන ඉතාමත් අනතුරු දායක යි. සමහරු මිය ගිහින් නිරයේ උපදිනවා. සමහරුන් ප්‍රේත ලෝකයේ උපදිනවා. තවත් අය තිරිසන් අපායේ උපදිනවා. බොහෝ පින් කළ අය දෙවියන් අතර උපදිනවා. සමහරු මිනිස් ලොව මව්කුසක උපදිනවා. එහෙත් පෘථග්ජන අයගේ උපත ස්ථිර ව කියන්නට අමාරු යි.බොහෝ විට සතර අපායේමයි උපදින්නේ.
යමෙක් සෝතාපන්න වුණොත්, ඔහු කවදාවත් සතර අපායේ උපදින්නේ නෑ, දෙව් මිනිස් ලෝකවල වැඩීම වුණොත් උපදින්නේ සත් වතාවයි. සකදාගාමී වුණොත් කාම ලෝකයේ උපදින්නේ එක වතාවයි. අනාගාමී වුණොත් උපදින්නේ සුද්ධාවාස බඹලොව පමණ යි. රහතන් වහන්සේලා උපතක් කරායන්නේ නෑ. පහන් සිලක් නිවිලා යනවා වගේ පිරිනිවන් පානවා. සසර දුකින් මිදෙන්නට ඇත්නම් මොන තරම් වාසනාවක් ද