සීරලු සොරාගේ කථාව

(මෙසේ අසන්ට ලැබේ ) කෝකානිජ කණ්ඩගිරි නමැති පර්වත විහාරයක් වේ. ඒ විහාරයට නුදුරු තැන එක් ලෙණක අඩු ආශා ඇති ලද දෙයින් සතුටු වෙන, ධුතාංගධර වූ ආරණ්‍යක භික්ෂු නමක් වෙසේ ඉක්බිති එක් සොරෙක් පන්සියයක් හොරුන් සමග එහි අවුත් ඒ භික්ෂු නමගෙන් මෙසේ විචාළේය.

ස්වාමීනි. මේ ලෙණෙහි වසන්නා වූ ඔබට අවුරුදු කීයක් නම් ගත වී දැයි දැනගනු කැමැත්තෙමි. මිත්‍රය, මම අවුරුදු සයක් මුළුල්ලේ තනිව දෙවැන්නෙක් නැතිව මෘගයකු මෙන් සිතාගෙන මෙහි නිරතුරුව වසමි.

අවුරුදු සයක් වාසය කොට ඔබ විසින් යම් කිසි ධ්‍යානයක් හෝ සමාපත්තියක් හෝ අභිඥාවක් හෝ ලද්දේදැයි සොරා විචාළේය.මම සමවතක් හෝ ධ්‍යානයක් හෝ මාර්ගයක් හෝ අන්‍ය විශේෂයක් හෝ නොලැබුවෙමි.

සිල් පිරිසිදු කොට විවේකයෙහි ඇලුනේ වෙමි යි භික්ෂුනම කීය. සොරා මෙසේ කීය. ස්වාමීනි, සිල් පමණකින් ඔබ මහත් දෙයක් විනාශ කරගත්තාහ. රහත් බව ලැබීම පිණිස වහා උත්සාහ කළ මැනවි.

පෙර පැවිදි වී මේ ලෙණෙහි විසූ මම අභිඥාවන්ගේ පරතෙරට ගියෙමි.දිවැස ද දිවකණ ද පිරිසිදු කෙළෙමි. සෘද්ධිබල ලැබුවෙමි. පෙර විසූ ආත්මයන් දුටුවෙමි.

අනුන්ගේ සිත් දැනගතිමි මෙසේ අභිඥාලාභී වූ මම ඒ බලයන්හිම ඇලී රහත් පලය ලබා ගැන්මට ප්‍රමාද වීමි. ඉක්බිති එක් දිනක් සවස් කාලයෙහි ධ්‍යානයෙන් නැගිට ලෙණෙන් නික්ම දොරබාව ළඟට ගොස් සිටියෙමි.

මා එහි සිටි කල්හි අලංකාරයෙන් සැරසුණු ගොපලු දැරියක් දුටිමි.ඇය දුටු කෙණෙහිම මට රාග සහගත සිතක් උපණි. මෙසේ රාගය උපන් විට මුළා වූ සිහි ඇත්තෙක් වීමි.

ඒ රාග සිත නිසාම මහණ කමින් ඉවත් වී ඒ දැරිය සොයමින් සොරකම් කරන්ට පටන් ගතිමි. මම සොරෙක් වී සුරවීර වූ දක්ෂ වූ අන්‍ය සොරුන් පණස් දෙනෙකුන් සොයා ගතිමි. ඒ සොරුන් සමග ගොස් මම ඒ ගෙය වටකොට බලාත්කාරයෙන් ඒ ස්ත්‍රිය ගෙන ගියෙමි.

ඒ සඳහා ප්‍රමාදි වූ මා විසින් බොහෝ වූ පව් කරන ලදී. එහෙයින් මම අපායෙහි කටුක දුක් විඳීමට නියතව සිටිමි.ඒ කාම හේතුවෙන් මහජනයා පෙළා ධන ධාන්‍ය රැස්කළ නමුත් කාමයන්හි තෘප්තියක් නොපෙනේ.

මා විසින් පෙර යම් ධ්‍යානාදී විශේෂ ගුණයක් ලද්දේ නම් ඒ සියල්ල කාමය නිසා විනාශ විය. ධ්‍යාන - අභිඥා - සමාපත්තීහු හුදෙක් ක්ලේශ සමනය පිණිස වෙති. නුවණැති ස්වාමීනි. මාගේ කීම අසා ඔබට සංවේගයක් ඇතිවේවා, සිතේ වසගයට නොගිය මැනවි; ප්‍රමාද වීමෙන් විනාශ නොවෙනු මැනවි. සිතට වසඟ වීමෙන් ප්‍රමාදයට පැමිණි පුද්ගලයෝ නොයෙක් දුක් අනුභව කෙරෙත්.ඔබගේ ආයුෂ ගෙවේ. සද්ධර්මය පිරිහෙයි; එබැවින් සංවේග උපදවා භාවනාවෙහි යෙදෙනු මැනවි.

මෙසේ ඒ සොරා විසින් අවවාද කරනු ලැබූ ඒ භික්ෂු තම භාවනාවෙහි යෙදී නොබෝ දිනකින් රහත් විය. කුටු වූ ඒ සොර දෙටු තෙමේ තමාගේ ධනය යොදවා ඒ සොරුන් ලවා එතැන්හි ප්‍රාසාදයක් කරවීය.ඒ තෙරම සොරාගේ අවවාදය නිසා සද්ධර්ම සම්පත්තිය ලබා කෙලෙස් පිරිනිවීමට පත්විය

එසේ ශාන්ත භාවයට පත් වූ බුද්ධානුශාසනය කරන්නා වූ හැම වෛරභය ඉකුත් කළ ඒ තෙර නමට දෙවියන් සහිත ලෝකයා නමස්කාර කෙළේය. එහෙයින් සිල් රැකි පමණින් හෝ ධර්මය උගත් පමණින් හෝ ආශ්‍රවක්ෂයට නොපැමිණිය හුට පවා ප්‍රශංසා නොකරත්. මෙසේ අභිඥාලාභීන්ගේ සිත පවා කාමයෙන් අපිරිසිදු වෙයි. එය පෘථග්ජන දෝෂය නිසාය. හිස් පෘථග්ජනයන් ගැන කියනුම කිම?