ගල් කණු ප්‍රේතයාගේ කථාව

(මෙසේ අසන්ට ලැබේ) හෙළ දිව බොහෝ භික්ෂූහු මහබෝ වැඳීම සඳහා පිටත්ව මහා කොණ්ඩතොටින් නැව් නැගී කාවේරි පටුනෙහි බැස පිළිවෙලින් ගම් නියම්ගම් නුවරවල් ඉක්මවා මහ වනයට පැමිණියාහ. එහිදී මංමුළාවූ ඔවුහු අතන මෙතන අවිදිනාහු ඇත් රැළක් ගිය මගක් දැක එයට බැස ගොස් ශරීරයෙන් අඩක් ගලක ගිලී සිටි පුද්ගලයෙකු දැක මිනිසෙකැයි සිතා ඔහු වෙත එළඹ සංඝ ස්ථවිර තුමා මෙසේ කීය:

"අපි සත් දිනක් මුළුල්ලේ මංමුළා වූවෝ වෙමු. ඔය ගල මැද සිට ගෙනම අපට මාර්ගය කිව මැනවි." ඔබ වහන්සේ සත් දිනක් මංමුළා වූවාහුය. මම වනාහි බුද්ධාන්තර තුනක් මුළුල්ලේ මංමු වී සිටිමි '' යි ප්‍රේතයා කීය. තෙරනම '' මිත්‍රය, මෙතෙක් දීර්ඝ කාලයක් තෝ මංමුළා වූයේ කුමක් හෙයින්ද? තෝ කවරෙක්ද? පෙර කිනම් අකුශල කර්මයක් කෙළෙහිදැ'' යි විචාළේය. මම කකුසඳ බුදුන්ගේ කාලයේදී මිනිසෙක් වී පව් කොට ප්‍රේත ලෝකයෙහි උපන්නෙමි.

සිවු යොදුනක් දිගැති මේ ගල් පර්වතය මුදුනෙහි ගිලී පොළොවෙන් උඩට පෙනෙමින් මෙසේ සිටිමි.බුදුවරුන් සතර නමකගේ කාලයේදී මේ පොළොව වැඩී ගියේය. මේ කර්මයාගේ ගෙවී යාමක් නොදක්නා ලැබේ.යයි ප්‍රේතයා කීය. බුදුවරුන් උපදනා කාලයත් එතුමන් පිරිනිවන් කාලයත් තට කියන්නේ කවරෙක්ද? එය කෙසේ දන ගත්තෙහිදැයි තෙරනම විචාළේය. බුදු වරුන් මවුකුස පිළිසිඳ ගන්නා විටත් මව්කුසින් බිහිවෙන විටත් බුදු වෙන විටත් දම්සක් දෙසන විටත් ආයු සංස්කාරය හරින විටත් පිරිනිවෙන විටත් බොහෝ විස්මය ජනක දේ සිදුවෙතියි ප්‍රේතයා කීය.

එ විස්මය එළවන දේ කවරහුදැයි තෙර නම විචාළේය. ප්‍රේතයා මෙසේ කියයි: අහසෙහිත් ගල් මුදුනෙහිත් පොළොවෙහිත් පියුම් පිපෙත්. ඒවා දැක මම ඒ කරුණු දැනගනිමි. යම් කලෙක ඒ පියුම් මැලවෙත් නම් ඒවා දැක බුදුරජ පිරිනිවියේයි දැනගනිමි.මෙසේ ඉතා කටුක වූ දුක් වේදනාවන් අවුරුදු දහස් ගණනක් විඳීමට තා කළ කර්මය කුමක්දැයි තෙරනම විචාළේය. ප්‍රේතයා මෙසේ කීය. අතීතයෙහි කකුසඳ බුදුන්ගේ කාලයෙහි සංඝයාට අයත් කුඹුරක් අසල තිබුණු මාගේ කුඹුර සී සාන්නා වූ මම කුඹුරේ ඉමෙහි වූ ගල්කණුව උදුරා එහායින් සිටෙව්වෙමි. මෙසේ සංඝසන්තක කුඹුරෙන් කොටසක් අයිති කරගත් බැවින් ඒ කර්මය විපාක දෙන්නේ මෙසේ විපාක දෙයි. එතැනින් කලුරිය කළ මම මේ ගල උඩ උපන්නෙම් උපන් තැනින් නොසෙල්වෙමි. කර්මයාගේ විපාක බලනු මැනවි.

මෙසේ කී ප්‍රේතයා " ඔබ වහන්සේලා කවරහුද? කාගේ ශ්‍රාවකයෝද ' යි විචාළේය.ගෝත්‍රයෙන් ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේ දශ පාරමිතාවන් පුරා බුදුවිය. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමුයි භික්ෂූහු කීහ. ඉදින් ගෞතම බුදුරජ උපන්නේ නම් මම සත් දිනක් ඇවෑමෙන් අවීචියට යන්නෙමි. කකුසඳ බුදුන්ටත් ගෞතම බුදුන්ටත් අතර කලයෙහි මේ පොළොව සිවු යොදුනක් වැඩී ගියේය. ප්‍රේත ලෝකයෙහි බොහෝ දුක් අනුභව කරන මට ඉක්මගිය වර්ෂ සංඛ්‍යාව ගණනින් කිව නොහැක. දැන් අවීචියට ගොස් ඉතිරි විපාක වින්ද යුතුය. ප්‍රමාදයෙන් හා ලෝභයෙන් හටගත් ඒ කර්මය මෙසේ විපුලත්වයට ගියේය. එබැවින් නුවණැත්තෝ ප්‍රමාදයත් ලෝභයත් දුරු කොට අප්‍රමාදී - ලෝහ නැත්තෝ වී සැප ලබත්. සංඝසන්තක දෙය වැනසීම මෙසේ දොස් එළවන්නේ වේ. යම් කෙනෙක් ඒවා රකි නම් ඔවුන්ට යහපත් විපාක ලැබේ. මෙවැනි දුක් කර්ම හේතුවෙන් හටගනින් . ධර්ම ප්‍රීති ඇති භික්ෂුව ඉපදීම නැති කිරීමෙන් ඒවා විනාශ කරති.