ඡත්තපාණී උපාසකයාගේ කථා වස්තුව

"සුවඳ නැති මල කොතරම් ලස්සන වුණත් ඇති ඵලය කිම?"

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේගේ කාලයේ දීත් ශ්‍රද්ධාවෙන් බණ අසපු අය හිටියා. ශ්‍රද්ධාවෙන් ම ඒ ධර්මය පාඩම් කරගත්තු අයත් හිටියා. එහි අර්ථ මෙනෙහි කළ අයත් හිටියා. ඒ වගේ ම සමහර උදවිය බණ ඇහුවා විතරයි. පාඩම් කරගතෙත් නැහැ. අර්ථ මෙනෙහි කළෙත් නැහැ. ඇත්තෙන්ම ධර්මය කියන්නේ අපේ ජිවිතයට සැප ලබා ගන්න, මග පෙන්වන දෙයයි. ඒ ධර්මය අපි ඉතා ශ්‍රද්ධාවෙන්ම ඇසිය යුත්තේ. ශ්‍රද්ධාවෙන්මයි පාඩම් කරගත යුත්තේ. ශ්‍රද්ධාවෙන් මයි අර්ථ දැනගත යුත්තේ.

ඒ ගැන විස්තර වෙන ලස්සන කතාවක් දැන් ඔබට අසන්නට ලැබෙනවා. සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩසිටින කාලයේ ඡත්තපාණී නම් පින්වත් උපාසක මහත්මයෙක් සිටියා. මෙතුමා අනාගාමී තත්ත්වයට සිත දියුණු කළ ගිහි ශ්‍රාවකයෙක්. පින්වතුනේ, පින්වත් දරුවනේ, ධර්මය අවබෝධ වීමේ පියවර සතරක් තියෙනවා. පළමුවෙනි පියවරට සියන්නේ සෝතාපන්න වෙනවා කියලයි. දෙවන පියවරට කියන්නේ සකදාගාමී වෙනවා කියල යි. තුන්වන පියවරට කියන්නේ අනාගාමී වෙනවා කියලයි. සතරවෙනි පියවරට කියන්නේ අරහත් වෙනවා කියල යි. එතනින් ධර්ම මාර්ගය සම්පුර්ණයි. අරහත්වයෙන් එහාට කළ යුතු දෙයක් නැහැ.

ගිහි ජීවිතය ගත කරන සැදැහැවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතරින් සෝතාපන්න වූ බොහෝ දෙනෙක් සිටියා. සෝතාපන්න කියන්නේ කුමක්ද? පින්වතුනේ, පින්වත් දරුවනේ, 'සෝත' කියන්නේ සැඩ පහරට කියන නමක්. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයටත් සෝත කියලා ප්‍රකාශ කළා. සැඩ පහරක් ඍජුවම මහා සාගරය බලා ගමන් කරනවා වගේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් ඍජුවම නිවන කරා යොමු වෙනවා. ඉතින් යමෙක් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම පිණිස පළමුවෙනි මාර්ගය අංගය වන සම්මා දිට්ඨිය ඇතිකර ගන්නවාද, එයාට සෝතාපන්න කියලා කියනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුන කෙනා කියත අර්ථය යි.

සකදාගාමී කියන්නේ ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණුන කෙනා, ඒ කියන්නේ සෝතාපන්න කෙනා තවදුරටත් ධර්මය ප්‍රගුණ කිරීමේ දී කාම ලෝකයේ එක වතාවක් පමණක් ඉපදී නිවන් දැකීමට සුදුස්සෙක් වෙනවා. සකදාගාමී කියන වචනයේ තේරුම එකවරක් පමණක් කාම ලෝකයට පැමිණෙන තැනැත්තා යන්නයි.අනාගාමී කියන්නේ කාම ලෝකයට නො එන තැනැත්තා යන්නයි. අනාගාමී කෙනෙක් උපදින්නේ බ්‍රහ්ම ලෝක වල යි. අනාගාමී උතුමන් උපදින බ්‍රහ්ම ලෝකවලට කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කියලයි.ඒ උතුමන් නැවත වෙන ලෝකෙක උපදින්නේ නැහැ. සුද්ධාවාස බඹ ලොව දී ම පිරිනිවන් පානවා.

අරහත් කියන්නේ කිසි ම ලෝකයක උපදින්නේ නැහැ. මේ ජීවිතයේ දී ම පිරිනිවන් පානවා. මේ ඡත්තපාණී උපාසකතුමා අනාගාමී තත්ත්වයට පත්වෙලයි හිටියේ. මෙතුමා ඉතා හොඳින් ධර්මය ඉගෙන ගත් කෙනෙක්. බණ භාවනා කළ කෙනෙක්. ඒ වගේ ම සැදැහැවතුන් අතර ආදර ගෞරවයට පාත්‍ර වූ කෙනෙක් එදා පොහොය දවසක්. ඡත්තපාණි උපාසකතුමා උපෝසථ සිල් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ ඒ ඡත්තපාණී උපාසකතුමා සමඟ දහම් කතාවෙහි යෙදුණා.

ඒ අතර වාරයේ දී කොසොල් රජතුමාත් එතනට පැමිණුනා. එතකොට ඡත්තපාණී උපාසකතුමාට මෙහෙම හිතුණා. "දැන් කොසොල් රජතුමා පැමිණුනා. සාමාන්‍යයෙන් අප ගේ රජ්ජුරුවන් වහන්සේ පැමිණෙද්දී අප සියලු දෙනා ම නැගිට්ට යුතු යි. නමුත් මා දැන් වාඩි වී සිටින්නේ තුන් ලෝකයට අග්‍ර රාජ වූ, දෙවි මිනිසුන්ගේ ශාස්තෘ වූ, ධර්ම රාජයන් වහන්සේ ඉදිරියේයි.ඉතින් මං දැන් නැගිට්ටොත් ඒ ධර්ම රාජයන් වහන්සේට අගෞරවයක් කළා වෙනවා. රජතුමා මං ගැන කිපී මට මොනවා කළත් කමක් නැහැ. මං මේ විදිහට ම ඉන්නවා.” කියල කල්පනා කොට ඒ විදිහට ම සිටියා. තමන් පැමිණෙද්දී නොනැගිටින මේ අහංකාර පුද්ගලයා කවුද? මොහු තමන් ගැන සිතා ගෙන සිටින්නේ කොයි ආකාරයෙන් ද? මගේ යටත් විජිතයේ යටත් වැසියෙක් නොවෙයි ද

ආදි සිතිවිලි සිතමින් කොසොල් රජතුමා මොහු දෙස බලනවා. බුදුරජාණන් වහන්සේ දෙස බලනවා. හැබැයි කටින් කිසිවක් කිව්වේ නැහැ. නමුත් ඡත්තපාණී උපාසකතුමාගේ හැසිරීම ගැන රජතුමා කිපුණු බව බුදුරජාණන් වහන්සේ දිවැසින් දැක වදාළා. " පින්වත් මහරජ, ඔබතුමා සමහර විට මේ උපාසකතුමා ගැන නොදන්නවා ඇති. මේ උපාසක උදේ වරුවේ පමණක් දන් වළඳන කෙනෙක්. මිල මුදල් පරිහරණයෙන් වැළකුණු කෙනෙක්. බ්‍රහ්මචාරී කෙනෙක්. සමාහිත සිත් ඇති කෙනෙක්. ඉතාම සිල්වත් කෙනෙක්. මේ උපාසකතුමා ඉතා වටිනා ගුණ ධර්මයන්ගෙන් සමන්විත යි. මෙවැනි උපාසක කෙනෙක් හඳුනාගෙන සිටීමත් ප්‍රයෝජනයි.බුදුරජාණන් වහන්සේගේ මෙම ප්‍රකාශය සමඟ කොසොල් රජතුමාගේ සිත මෘදු වුණා. තරඟ ගතිය නැති වුණා. කොසොල් රජතුමාත්, ඡත්තපාණී උපාසක සමඟ සතුටින් කතාබස් කළා.

දිනක් ඡත්තපාණී උපාසකතුමා රජ මාලිගයේ මිදුලේ ගමන් කරමින් සිටියා. එවේලෙහි ඔහු සෙරප්පු දෙකක් දාගෙන සිටියා. කුඩයක් ඉහලාගෙන සිටියා. කොසොල් රජතුමා සඳළු තලයට ඇවිදින් පහළ බලද්දී ඡත්තපාණී උපාසකතුමා රජ මිදුල හරහට ගමන් කරමින් සිටියා. ඡත්තපාණී උපාසකතුමාත් රජතුමාව දැක්කා. දකලා කුඩය හැකිළුවා. සෙරප්පු දෙක ගැලෙව්වා. රජතුමාට වන්දනා කළා. ස්වල්ප වෙලාවකින් රාජ පුරුෂයෙක් ඡත්තපාණී උපාසකතුමා ළඟට පැමිණුනා. රජතුමා තමන්ව මාලිගයට කැඳවන බව දැනුම් දුන්නා.මාලිගයට පිවිසුණ ඡත්තපාණී උපාසකතුමා රජතුමාට වන්දනා කොට එකත්පස් ව සිට ගත්තා.

"එම්බා උපාසකය, එදා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මා එන බව දැන දැනත් නො නැගිට සිටියේ මක් නිසා ද?" " පින්වත් දේවයන් වහන්ස, කමා කරන සේක් වා එදා මා ඔබ වහන්සේ සැපත් වෙද්දී නො නැගිට සිටියේ අර්ථයක් ඇතුවයි. ඔබ වහන්සේ අධිපති බව දරන්නේ මේ කෝසල රාජ්‍යයට පමණයි. නමුත් අපගේ බුදුරජාණන් වහන්සේ සමස්ත පෘථිවියටත්, සියලු කාම, රූප, අරූප යන ලෝකයන්ටත් අධිපති බව දරනවා. දෙවියන් හා මිනිසුන්ට ශාස්තෘත්වය දරනවා. උන්වහන්සේ ධර්ම රාජයන් වහන්සේ. උන්වහන්සේගේ ධර්ම රාජ්‍යය දෙවි මිනිස් ලෝකය පුරා පැතිර ගොස් තිබෙනවා. ඉතින් මා සිතුවේ ඔබ වහන්සේ සැපත් වෙද්දී මා නැගිට සිටියොත් එය ධර්ම රාජයන් වහන්සේට මදිපුංචි කමක් වේය කියලයි. එසේ නැතුව ඔබ වහන්සේට අගෞරව කිරීමේ අදහසක් මට කිසිසේත්ම තිබුණේ නෑ. ඒ හේතුවෙන් ඔබ වහන්සේ ගේ සිතට යම් අපහසුවක් ඇති වුණේ නම් මට කමා කළ මැනව."

මේ ප්‍රකාශයෙන් රජතුමා බොහොම පැහැදුණා. පැහැදිලා මෙහෙම කියනවා. "එම්බා උපාසක, බොහොම හොඳයි. කල්පනා කරපු විදිහ හරි. එහෙම නම් මං දැන් තමන්ට වැඩක් පවරනවා. මාගේ අන්තඃපුරයේ සිටින බිසවුන් වහන්සේලාට බණ කියන්නට කෙනෙක් සොය සොයා මං හිටියේ. දැන් සුදුස්සා මුණ ගැසුණා. එහෙම නම් ඔබ ඒ අන්තඃපුර බිසවුන්ට බණ කියන්නට ඕන. අතේ දේවයන් වහන්ස, මට කමා කළ මැනව. අන්තඃපුරය යනු ගිහි උදවිය හැසිරිය යුතු තැනක් නො වෙයි. ඒ නිසා බොහෝ අරමුණු ඇති අන්තඃපුරය වැනි තැනකට, වඩාත්ම සුදුසු වන්නේ ඉන්ද්‍රිය දමනය බලවත්ව පවත්නා ස්වාමීන් වහන්සේ නමක් වැඩමවාගෙන ධර්ම දේශනා කරවීම යි. ඒ අදහස ඔබ වහන්සේ සලකා බලත්වා!" " ඒකත් බොහොම හොඳයි." කියා පිළිතුරු දුන් කොසොල් රජතුමා එම කාරණය බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට එම වගකීම බාර දුන්නා.

දිනක් බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා වදාළා. " පින්වත් ආනන්දය, උපාසිකාවන් හොඳින් ධර්මය ඉගෙන ගන්නවා ද?" "ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මල්ලිකා දේවිය ඉතාමත් හොඳින් ධර්මය ඉගෙන ගන්නවා. ඉතාමත් හොඳින් සජ්ඣායනා කරනවා. ඉතාමත් හොඳින් ධර්මයේ අර්ථ කියනවා. නමුත් ඔබ වහන්සේගේ ඤාති දියණියක් වන වාසභඛත්තියා බිසවුන් වහන්සේ ධර්මය ඉගෙන ගන්නට කිසි උනන්දුවක් නැහැ. ඇය උත්සාහයකින් සජ්ඣායනා කරන්නේ නැහැ. ධර්මයෙහි අර්ථ කියන්නෙත් නැහැ."

'පින්වත් ආනන්දය, මා විසින් පවසන ලද්දා වූ ධර්මය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්නේ නැත්නම්, ශුද්ධාවෙන් ග්‍රහණය කරගන්නේ නැත්නම්, ශ්‍රද්ධාවෙන් සජ්ඣායනා කරන්නෙත් නැත්නම්, ශ්‍රද්ධාවෙන් දේශනා කරන්නෙත් නැත්නම්, ඉතාමත් ලස්සන මලක් සුවඳ රහිත ව තියෙනවා වගෙයි. ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. නමුත් ශ්‍රද්ධාව මුල් කරගෙන ධර්ම ශ්‍රවණය, ධර්මධාරණය, සජ්ඣායනය, අර්ථ මෙනෙහි කිරීම, දේශනය සහ හැසිරීම කරනවා නම් මල ලස්සන වගේ ම සුවඳිනුත් යුක්තයි. මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරය විහිදුවමින් මෙම ගාථා රත්නයන් වදාළා.

යථා' පි රුචිරං පුප්පං -වණ්ණවන්තං අගන්ධකං ඒවං සුභාසිතා වාචා - අඵලා හෝති අකුබ්බතෝ

සිත්කලු ලස්සන මලක් තිබෙන්නේ එහෙත් සුවඳ මල් පැණි නො තිබෙන්නේ

එලෙසින් බුදුබණ ගැන පවසන්නේ නොම හැසිරෙන විට ඵලක් නො වන්නේ

යථා ' පි රුචිරං පුථං - වණ්ණවන්තං සගන්ධකං

ඒවං සුභාසිතා වාචා - සඵලා හෝති පකුබ්බතෝ

සිත්කලු ලස්සන මලක් තිබෙන්නේ මල් පැණි බර වී සුවඳ හමන්නේ

එලෙසින් බුදුබණ ගැන පවසන්නේ හැසිරෙන විට එහි ඵල ලැබ දෙන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැන් තේරුණා නේද? ධර්මය තිබෙන්නේ ලස්සනට කීමට පමණක් නොවෙයි. තාලයකට කීමට පමණක් නොවෙයි. එය ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්නට ඕන. සජ්ඣායනා කරන්නටත් ඉගෙන ගන්නට ඕන. ධාරණය කර ගන්නටත් ඕන. අර්ථ නුවණින් විමසන්නටත් ඕන. ඒ අනුව හැසිරෙන්නටත් ඕන. එතකොට තමයි සුභාෂිත බුද්ධ වචනය පැණි පිරුණු සුවඳ පිරුණු ලස්සන මලක් වගේ දස දිශාවට ම සුවඳ හමන්නේ.