සිගුත්ත ගරහදීන්නගේ කථා වස්තුව

"ථාගත ශ්‍රාවකයින් නුවණින් බබළනවා”

බුදුරජාණන් වහන්සේගේ කාලයේ පවා අමුතු ආකාරයේ අර්බුද ඇතිවෙලා තියෙනවා. එය ආගමික වශයෙන් වැරදි මත පැතිරීම නිසා ඇතිවෙන දෙයක්. නුවණින් කටයුතු නො කළොත් බොහෝ දෙනෙකුට පව් රැස් වෙනවා. තම තමන්ගේ ආගම්වලට පිරිස් හරවා ගන්නට මහන්සි ගත්ත අය ඒ කාලෙත් හිටියා. එය සමාජ අර්බුදයක් බවට පත් වුණා. මේ දැන් අපි කියන්නට හදන්නේ එවැනි කතාවක්.

සැවැත් නුවර සිරිගුත්ත හා ගරහදින්න නමින් යහළුවන් දෙදෙනෙක් හිටියා. මේ දෙදෙනා අතරින් සිරිගුත්ත තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක්. ඉතා ම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. ගරහදින්න නිගණ්ඨ නාත පුත්‍රගේ ශ්‍රාවකයෙක්. නමුත් මේ දෙදෙනා අතරේ කවදාවත් වාද විවාද හටගත්තේ නෑ. හොඳ මිත්‍රත්වයක් තිබුණා. එහෙත් නිගණ්ඨයන් ගරහදින්නට නිතර ම ගුණ කියනවා. එම්බා ගරහදින්න, සිරිගුත්ත ඔබගේ යහළුවා නෙව. ඔහුට මෙහෙම කියන්න. 'ශ්‍රමණ ගෞතමයන් ළඟට අසවල් දේකට යනවද? ඔහුගෙන් ඔබට මොනව ද ලැබෙන්නේ ' කියල පුළුවන් තරම් සිත කඩන්න.අපහදවන්න. එතකොට ඔහු අපේ පැත්තට ඒවි. ඔබ ඒ විදිහට නොවෙයි ද අවවාද කළ යුත්තේ?"

ගරහදින්නට දිගින් දිගට ම මේ විදිහට අවවාද ලැබුණා. ඔහුගේ සිතත් ටිකෙන් ටික වෙනස් වුණා. සිරිගුත්ත හමුවන හැම වාරයේ දීම ඔහුට බලකරන්නට පටන් ගත්තා. " ප්‍රිය මිත්‍රය, මං ඔබේ හොඳට යි කියන්නේ. ශ්‍රමණ ගෞතමයන් ළඟට ගිහින් මොනවා ලබන්ටද? දක්වත් ඔය ගමන අත්හැර දමන්න. ඔබ කළ යුත්තේ නිගණ්ඨයන්ට දන් පැන් ටිකක් දීම නො වේද?'' මිත්‍රත්වය නිසා සිරිගුත්ත නිහඬ වුණා. උත්තර දුන්නේ නැහැ. නමුත් දිගින් දිගටම බලපෑම් කරද්දි ඔහුට ඒ ගැන කල කිරීමක් ඇති වුණා. "අනේ... ගරහදින්න. ප්‍රිය මිත්‍රය, ඇයි ඔබ මට මෙහෙම කියන්නේ? මං හමුවන සෑම අවස්ථාවේ දීම ඔබ බුදුරජාණන් වහන්සේට දොස් කියනවා. භික්ෂූන් වහන්සේලාට දොස් කියනවා. නිගණ්ඨයින්ට දන් පැන් දෙන්න කියනවා. ඇයි ඔබ මට මෙහෙම බල කරන්නේ? මං ඔබෙන් එහෙනම් ප්‍රශ්නයක් අහන්නම්. ඔබගේ නිගණ්ඨයන් වහන්සේලා මොන වගේ දෙයක් ද අවබෝධ කොට තිබෙන්නේ? "

සිරිගුත්ත ඉතාම සාමකාමී කෙනෙක්. ඔහුගේ මිත්‍රත්වයට පවා අනිසි බලපෑම් කරන්නට තරම් නිගණ්ඨයන් පෙළඹුන නිසා දැන් සිදුවන්නේ කුමක් දැයි අපි බලමු. ඉතින් ගරහදින්න මෙහෙම කිවා හා හා... සිරිගුත්ත, ඔබ දන්නෙ නෑ. එහෙම සුළුවෙන් තකන්න එපා... මගේ ආර්ය වූ නිගණ්ඨයන් වහන්සේලා නො දන්නා දෙයක් නෑ. අතීත, අනාගත, වර්තමාන සැම දෙයක්ම දන්නවා. සිත, කය, වචනය යන සෑම ක්‍රියාවක් මත් දන්නවා. යමක් වෙන්න තියෙනවා නම් ඒකත් දන්නවා. යමක් වෙන්න නැත්නම් ඒකත් දන්නවා. විය හැකි දේත් දන්නවා. නො විය හැකි දේත් දන්නවා. නිගණ්ඨයන් වහන්සේලාගේ අවබෝධය පුදුමාකාර යි. ඉතින් සිරිගුත්ත, ඔබ වැරදි පාරක ගිය නිස යි නිගණ්ඨයන් වහන්සේලා ගැන තේරුම් ගන්නට බැරි වුණේ. "

ඇත්තෙන්ම ගරහදින්න. ඔබේ නිගණ්ඨයන් " වහන්සේලාට ඔය කියන අවබෝධය හැබෑවට ම තියෙනවා ද?" " ඔබ මොනව ද අහන්නේ මිත්‍රයා? හැබෑවට ම තියෙන අවබෝධයක් ගැන තමයි මේ කියන්නේ. " " ප්‍රිය මිත්‍ර ගරහදින්න, ඒක එහෙම නම් ඔබ ඔය කිව්වේ ඉතාමත් ම බරපතල කතාවක්. මෙතෙක් කාලෙකට මම නම් එවැනි දෙයක් කියල නෑ. නමුත් අද මං ඔබගේ නිගණ්ඨයන් වහන්සේලාගේ ඤාණානුභාවය දැනගත්තා. එහෙම නම් මං කියන්නම් වැඩක්. ඔබ යන්න. ගිහින් මගේ වචනයෙන් හෙට දානයට ආරාධනා කරන්න."

ගරහදින්න ගොඩාක් සතුටු වුණා. තම මිත්‍රයාව නිගණ්ඨ ආගමට හරවා ගන්නට ඔහුට පුළුවන් වුණා කියා ඔහු සතුටු වුණා. කෙළින්ම නිගණ්ඨයන් කරා ගියා. ගිහින් සියල්ල සැළ කළා. හෙට දිනයේ දානයටත් ආරාධනා කළා. නිගණ්ඨයන්ට හරි සතුටු යි. ගරහදින්නට බොහොම ප්‍රශංසා කළා. "එම්බා ගරහදින්න. එහෙම නම් ඔබේ කටයුත්ත සාර්ථක වුණා නේද ? සිරිගුත්ත අපිට පැහැදුණා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. ඔහු ගේ සියලු සැලකිලි, සම්මාන දැන් ඉතින් අප සතුයි.''එදා සිරිගුත්ත නිවසට ආවා. තම යහළුවා නිගණ්ඨයන්ගේ ඤාණය ගැන කියූ දේවල් සිතේ දෝංකාර දුන්නා. ඔහුට මෙය මහා ප්‍රහේලිකාවක්.

" හැම මොහොතෙ ම පවතින ඤාණයක්. වෙන්න තියෙන හැම දේම දකින ඤාණයක්. තුන් කල් දකින ඤාණයක්. එහෙම නම් නිගණ්ඨයින්ට සෑම අනතුරකින්ම ගැලවෙන්න පුළුවන් නෙව. මට මෙය අත්හදා බලන්න ඕන. මෙය හැබෑවක් ද? බොරුවක්ද? හරි..... මං දන්නවා කරන වැඩේ." ඊට පස්සේ සිරිගුත්ත තමන්ගේ නිවාස දෙකක් අතරේ ගැඹුරට දිගට පළලට අගලක් සෑරෙව් වා. කුණු මඩවලින් පිරෙව් වා. ඒ අගල දෙපැත්තේ කණු හිටෝලා ලණු බැන්ඳා. ලණු උඩ පැදුරු එලුවා. ඒ මත ආසන පැණෙව් වා. වාඩි වුණා ගමන් ඒ කෙනාව මුනින් අතට වලට වැටෙනවා. ඊට පස්සේ ලොකු භාජන කෙසෙල් කොළ වලින් වැහුවා. ඒවායේ කිසිම ආහාරයක් නැහැ. ආහාර පානවල සුවඳ විතරක් පැතිරෙන්නට ඉඳුල් තැවරුවා.

ගරහදින්න පාන්දරින් ම ඉක්මනට ආවා. "කොහොම ද යාළුවා. අපගේ ආර්යයන් වහන්සේලාට දන් පැන් පූජා කරන්නට සූදානම් නේද?" "එසේය මිත්‍රය. සියල්ල සූදානම්." ගරහදින්න නිගණ්ඨාරාමයට ගියා. ගිහින් නිගණ්ඨයින් ව ඉතාම ගරුසරු ඇතිව කැඳවාගෙන ආවා. සිරිගුත්ත ද නිවසින් එළියට ඇවිදින් නිගණ්ඨයින් හට වන්දනා කරමින් මෙහෙම සිතු වා. "ඔබ වහන්සේලා සැබෑවට ම සියල්ල දන්නවා නම්, ගරහදින්න විසින් මට කියූ ආකාරයත් දන්නවා නම්,

දැන් වෙන්නට යන සියල්ලත් දන්නවා නම් මාගේ නිවස ඇතුළට එන්න එපා! මාගේ නිවස තුළ තමුන්නාන්සේලා උදෙසා කිසිම දානයක් සකස් කර නැහැ. හැබැයි තමුන්නාන්සේලා අවබෝධයකින් තොරව ගෙට ඇතුළු වුණොත් කුණු මඩේ තමයි වැටෙන්න වෙන්නේ." මේ විදිහට සිතෙන් අධිෂ්ඨාන කළා. එතකොට ඒ නිගණ්ඨ පිරිස කිසි වගක් නැතුව නිවස ඇතුළට පිටත් වුණා. වාඩි වෙන්නට සූදානම් වුණා. "හා... හා.... ස්වාමීනී, මේ පැත්තට වඩින්න. එක පාරට වාඩිවෙන්න එපා! සියලු දෙනාම එක පේළියට වාඩි වෙන්න. එතකොට නිගණ්ඨයිනුත් සියලු දෙනා එක පේළියට හිටගෙන එකවර වාඩි වුණා. ඔවුන් එකවර වාඩිවෙනවාත් සමඟ කණුවල ගැටගසා තිබූ ලණු කැඩී කුණු මඩ පිරුණු වලේ හිස පහතට කැරකී මුනින් වැටුණා.

එතකොට සිරිගුත්ත හයියෙන් කෑ ගහලා මෙහෙම කිව්වා. "අයියෝ! තමුන්නාන්සේලා අතීත, අනාගත, වර්තමාන කියන තුන් කාලය ම නො දන්නවා ද? විය හැකි දේ. නො විය හැකි දේ නොදන්නවා ද?" එතකොට නිගණ්ඨයින් ඇඟ පුරා කුණු මඩ තවරාගෙන " ..... .....” යන හඬින් පිළිකුල් කරමින් වැටි වැටී දිව්වා. නිගණ්ඨයින් කෙලින් ම දිව්වේ ගරහදින්නගේ ගෙදරට යි. "එම්බා ගරහදින්න. නුඹ මේ කුමක් ද කළේ? සිරිගුත්තයා ව අපේ ආගමට ගත්තා කියා නුඹ අපිව රැවැට්ටුවා නො වේද? නුඹගේ යාළුවාට කරන හරිය දැනගනින්.

නිගණ් යයින් කෙළින් ම රජතුමා ළඟට ගියා. පැමිණිලි කළා. සිරිගුත්තගෙන් කහවණු දහසක වන්දියක් ඉල්ලා සිටියා. රජතුමා මේ පැමිණිල්ල විභාග කළා. සිරිගුත්ත සියලු විස්තර හෙළි කළා. හෙළි කොට රජ්ජුරුවන්ට මෙය කියා සිටියා. "දේවයන් වහන්ස, මෙහි සත්‍යය විමසා දඬුවම් කරනු මැනැව. * ගරහදින්න මෙය සත්‍යය බව පිළිගත්තා. එවිට සිරිගුත්තට නියම කළ දඬුවමෙන් ඔහුව නිදහස් කළා.

එතැන් පටන් දෙසතියක් යනතුරු ගරහදින්න සිරිගුත්ත සමඟ කතාබස් කළේ නැහැ. නමුත් ඔහුගේ සිතේ ලොකු වෛරයක් තිබුණා. "මොහු මට අයුත්තක් කළා. මා විසිනුත් මෙවැනි දෙයක් මොහුට කළ යුතු යි. නමුත් තරහා වෙලා කරන්නට බැහැ. යහළු විය යුතු යි.''

එදා ගරහදින්න සිරිගුත්ත සොයාගෙන ගියා. "ප්‍රිය මිත්‍ර සිරිගුත්ත, අපේ වාද විවාද අපි අමතක කරලා දාමු. අපි පරණ විදිහට කතා බස් කරමු. හිතවත් ව ඉම්මු.” ඉතින් මේ දෙදෙනා නැවත මිත්‍ර වුණා. දිනක් සිරිගුත්ත ගර හදින්නට මෙහෙම කිව්වා. "ප්‍රිය මිත්‍ර ගරහදින්න, ඔය නිගණ්ඨයින් ළඟට යන එකේ තේරුම මොකක්ද? අප ගේ ශාස්තෘන් වහන්සේ ව බැහැදකින්නට යං. දන් පැන් වලින් වුණත් උපස්ථාන කරන්නට අවස්ථාව තියෙනවා."

ප්‍රිය මිත්‍ර සිරිගුත්ත, ශ්‍රමණ ගෞතමයන් මොනව ද දන්නෙ?" "හා.. හා......ප්‍රිය මිත්‍රය, එහෙම කියන්න එපා! මාගේ ශාස්තෘන් වහන්සේ නො දන්නා දෙයක් නම් නැහැ. තුන් කල් දන්නවා. සත්ත්වයාගේ සිත දහසය ආකාරයකින් විග්‍රහ කරන්නට දන්නවා." "එහෙම නම් ප්‍රිය මිත්‍රය, ඔබ මෙතෙක් කල් මෙය මට නො කිව්වේ මන්ද ඔබගේ ශාස්තෘන් වහන්සේට දානයක් දෙන්නට මමත් කැමතියි. ඒ ශාස්තෘන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා පන්සීයකටත් එක්කයි මම දානය පිළියෙල කරන්නේ. මං වෙනුවෙන් ආරාධනා කරන්න. 'එතකොට සිරිගුත්ත බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගියා. " ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස,

ගරහදින්න කියල මගේ යහළුවෙක් ඉන්නවා. ඔහු භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන පන්සියයක් භික්ෂූන් වහන්සේලාට දානයට ආරාධනා කරනවා. හැබැයි ස්වාමීනී, මා විසින් ඔහුගේ නිගණ්ඨයින් හට මෙවැනි දෙයක් කළා. ඒ නිසා එයට ප්‍රතික්‍රියාවක් වශයෙන් මෙයා කුමක් කරාවි ද දන්නෙ නැහැ. පිරිසිදු හිතකින් දන් දෙනව ද දන්නෙත් නෑ. නුවණින් මෙනෙහි කොට පිළිගත යුත්තක් නම් පිළිගත මැනැව. නැත්නම් නොපිළිගත මැනැව."

බුදුරජාණන් වහන්සේ එම ආරාධනාව පිළිගත්තා. එවිට සිරිගුත්ත ගරහදින්නට මේ කරුණ දැනුම් දුන්නා. "ප්‍රිය මිත්‍රය, ලෝකනාථයන් වහන්සේට සත්කාර කොට පින් රැස්කරගන්න " කියල. ගරහදින්න ද "කළ යුතු දෙය මං නෙව දන්නෙ " කියා සිතමින් සිරිගුත්ත කළ පරිද්දෙන්, එයට වඩා දරුණු අගලක් සෑරෙව්වා. ගැල් අසූවක දර පුරවා ගිනිතබා ගිනි අඟුරු වළක් සකස් කළා. ඒ මත අමු දර අඩමානයට තබාම අතුරා සැණෙකින් වැටෙන ආකාරයට සකස් කළා. සිරිගුත්ත කළ ආකාරයෙන් ම හිස් භාජන වලට කෙසෙල් කොළ බැන්ඳා.

සිරිගුත්ත, ගරහදින්න සොයාගෙන පැමිණුනා. " ප්‍රිය යහළුව, දානය සූදානම් ද? " " එසේය ප්‍රිය මිත්‍රය ගරහදින්න විසින් නිගණ්ඨයින්ට මේ සියලු දේ දැනුම් දුන්නා. ඔවුන් බුදුරජාණන් වහන්සේ ව අනතුරේ හෙලන්නට සිහිත මවමින් සිටියා.පසුවදා පන්සියයක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ගරහදින්නගේ

නිවසට වැඩම කළා, එවිට ඉදිරියට පැමිණි ගරහදින්න බුදුරජාණන් වහන්සේට වන්දනා කරමින් මෙසේ අධිෂ්ඨාන කළා. "ස්වාමිනි, නුඹ වහන්සේ තුන් කල් දන්නවා නම්, සත්ත්වයන්ගේ සිතේ ස්වභාවය දහසය ආකාරයකින් දන්නවා නම්, මගේ මිත්‍රයා පැවසූ දෙය සත්‍ය නම්, මගේ ගෙට නම් පිවිසෙන්න එපා! මෙහි කිසිම දන්පැන් සූදා නමක් නැහැ. හැබැයි ඔබ වහන්සේලා සියලු දෙනාට ම වැටෙන්නට වෙන්නේ ගිනි අඟුරු වළකට යි."

බුදුරජාණන් වහන්සේ පෙරට වඩින විට ගරහදින්න මෙහෙම කිව්වා. " ස්වාමිනී, එකනමක් කලින් වඩින්න. උන්වහන්සේ වාඩි වූ පසු අනිත් නම වඩින්න." මොහු ගේ සිතේ දැන් තිබෙන්නේ එක නම බැගින් ගිනි අඟුරු වළට දැමීමට යි. බුදුරජාණන් වහන්සේ පෙරට වැඩියා. ගිනි අඟුරු වළ මත එලා තිබූ පැදුරෙහි පා තැබුවා. සැණෙකින් ඒ අඟුරු අතුරුදහන් වුණා. ඒ වළෙන් අතිවිශාල නෙළුම් මල් පැන නැංගා. බුදුරජාණන් වහන්සේ ඒ නෙළුමක් මත වාඩි වුණා. භික්ෂූන් වහන්සේලා ඒ ඒ නෙළුම මත වාඩි වුණා. ගරහදින්නගේ ශරීරයෙන් දහඩිය ගලන්න පටන් ගත්තා. ඔහු සිරිගුත්ත වෙත දිව ඇවිත් බැගෑපත් වෙන්න පටන් ගත්තා. "අනේ යහළු වේ. මං මොකද කරන්නේ? අනේ...මට පිහිට වෙන්න..... මං කිසිම දානයක් සූදානම් කරල නැහැ. " ඔබ මොකක්ද සූදානම් කළේ?" "අනේ.... මං කළේ ගිණි අඟුරු වළක් සූදානම් කරපු එකයි. නමුත් දැන් ඒක නැහැ. නෙළුම් මල් මතු වුණා. ඒ මත සියලු දෙනා වැඩ සිටිනවා." " එහෙම නම් ඔබ ගිහින් බලන්න. භාජනවල ආහාරපාන තිබෙනවා ද කියා.''

ගරහදින්න දුවගෙන ගිහින් කෙසෙල් කොළ ඉවත් කොට බැලුවා. ප්‍රණීත ආහාර පාන වලින් සියලු බඳුන් පිරි තිබෙනවා. ගරහදින්න ඉතාම ශ්‍රද්ධාවෙන් යුක්ත ව දන් පැන් පූජා කළා. දන් වළඳා අවසානයෙහි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවන් වදාළා.

15. යථා සංකාරධානස්මිං - උජ්ඣිතස්මිං මහාපලේ පදුමං තත්ථ ජායේථ - සුචිගන්ධං මනෝරමං කසල ගොඩක මහපාරේ - මඩ වගුරක පිපෙනා නෙළුම දිලෙයි සුවඳ දිදී - හැමට සතුට රැගෙනා

16. ඒවං සංකාර භූතේසු -අන්ධභූතේ පුථුජ්ජනේ අතිරෝචති පඤ්ඤාය - සම්මා සම්බුද්ධ සාවකෝ නුවණක් නැති පුහුදුන් අය - එලෙසින් ඇති ලෝකේ

සම්බුදු ශ්‍රාවක බබළයි - නුවණින් මේ ලෝකේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, මිත්‍යා දෘෂ්ටික මත දරන, පෘථග්ජන මිනිසුන් සිටින ලෝකය බුදුරජාණන් වහන්සේ දුටුවේ මහපාරේ කසල පිරෙන මඩවගුරක් වගෙයි. ඔවුනට නුවණැසක් නෑ. නුවණින් කල්පනා කිරීමේ හැකියාවක් නෑ. චතුරාර්ය සත්‍යය ගැන කතා කරන විට ඔවුන්ට කේන්ති යනවා. ඔවුන් කෑ ගගහ කියන්නේ මේ ජිවිතයේ සැප සේ සිටියාම ඇති කියල යි. ධර්මය අවබෝධ කරන්න කලබල වෙන්න ඕන නෑ කියල යි. ඒ නිසා එබඳු මිත්‍යා දෘෂ්ටි මත දරන සමාජය තුළ යම් කෙනෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා නම් මඩ වගුරක පිපී සුවඳ හමන නෙළුමක් වගේ ඔහු මේ සමාජය තුළ බබළනවා.

ඔබත් චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට මහන්සි ගන්න. පළමුවෙන්ම චතුරාර්ය සත්‍යය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා හොඳින් කියවන්න. එතකොට ඔබට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන චිත්ත ප්‍රසාදයක් ඇති වේ වි. එය ඔබගේ ධර්ම මාර්ගයේ මුල් වන ශ්‍රද්ධාව බවට පත් වීම කාටවත් වළක්වන්න බැහැ. ඉන්පසු ඒ ගැන නුවණින් විමසන්න. ටිකෙන් ටික තමා තුළින් තේරුම් ගන්නට මහන්සි ගන්න. එතකොට ඔබටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වශයෙන් ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරන්නට අවස්ථාව ලැබේ වි. අන්ධබාල පෘථග්ජනයන් පිරි ලෝකයේ ඔබ කෙලෙහි ගුණ දත් සත්පුරුෂ නුවණැත්තෙක් වශයෙන් බබළන්නට පටන් ගනී වි.