ඵුස්සදේව තෙරුන්ගේ කථාව

මෙසේ අසන්ට ලැබේ. උතුම් ද්වීපයන්ට මුදුන්මල් කඩක් වැනි වූ සිංහල ද්වීපයෙහි භාවනානුයෝගීන් වසන කාළකන්දර නම් විහාරයක් ඇත. ඒ වෙහෙරෙහි මෛත්‍රී විහරණ ඇති, වත්පිළිවෙත්හි යෙදුණු, සස්නෙහි පිහිටි ඵුස්සදේව නමැති යෝගී තෙර නමක් පන්සියයක් භික්ෂූන්ට අවවාද දෙමින් වාසය කරයි. හෙතෙම මිනිසුන්ට ප්‍රියමනාප වූ අතිශයෙන් දැකුම් කලු පුද්ගලයෙක් විය. යම් අවස්ථාවක තෙරනම පිඬු පිණිසයේ නම් ඒ මග කුඹුරුවල වැඩකරන මිනිස්සු ගොනුන් ලිහා තෙරුන් වැඳීමට මගට එති ගොන්නු ඒ කාලයේදී තමන්ට නිදහස ලැබෙන බැවින් තෙරුන්ගේ ඒම බලාපොරොත්තු වෙමින් සතුටු සිතැත්තෝ වූහ. ඒ චිත්ත ප්‍රසාදයෙන් ඔවුහු තව්තිසා භවනයෙහි උපන්හ.

ඉක්බිති එසේ උපන් පෙර ගොන්නුව සිටි දේව පුත්‍රයෝ පන්සිය දෙනෙක් සුධර්මා සභාවෙහි රැස්ව දෙව්රජු ඉදිරියෙහි මෙස් කී: සිල්වත් ගුණවත් උගත් ඵුස්සදේව යයි ප්‍රකට වූ තෙර නමක් කාළකන්දර ලෙණෙහි වසයි.හෙතෙම අඩු ආශා ඇත්තේය. ධුතාංග දරන්නේය, සියලු සත්ත්වයන්ට අනුකම්පා කරන්නේය. විවේකයෙහි ඇලුණේය. ධ්‍යාන වඩන්නේය, මනා සිහි ඇත්තේය. ශාන්ත සිත් ඇත්තේය.

ඒ තෙරනම සියලු සතුන්ගේ යහපත කැමති වේ. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවමින් කාළ කන්දරයෙහි වසයි. ඒ තෙරනම මිනිසුන්ට ද අමනුෂ්‍යයන්ට ද මෘග පක්ෂීන්ට ද ප්‍රිය වේ. හෙතෙම නිතර වනයෙහි වසයි.දිනු ඉඳුරන් ඇති ඒ ඵුස්සදේව තෙරනම මෙසේ අනන්ත ගුණ ඇත්තේය. පන්සියයක් පමණ ගොනුන්ව ඉපද සිටි අපි තෙරුන් කෙරෙහි සිත පහදවා මේ දෙව්ලොවට පැමිණියෙමු.නොයෙක් මෘගපක් ක්ෂීහු ද එතුමන් කෙරෙහි සිත පහදවා දෙව්ලොව උපන්හ. මිනිසුන් ගැන කියනුම කිම? මෙසේ ඒ සිල්වත් මනාසංවර ඇති තෙරනම දෙව් මිනිස් බොහෝ දෙනෙකුන්ටද මෘග පක්ෂීන්ට ද සැප එළවන්නකි.

තව්තිසා වැසි දෙවියෝ මෙසේ කාළකන්දර වෙහෙර වැසි ඵුස්සදේව තෙරුන්ගේ ගුණ අසා තෙරුන් දකිනු කැමතිව දෙව් රජු අමතා '' පින්වත, අපි ඵුස්සදේව තෙරුන් දකිනු කැමැත්තෙමු " යි කීය. ශක්‍ර තෙමේ ඒ කීම පිළිගෙන යම් පමණ ඉක්මනින් මිනිසෙක් වක් කළ අතක් දික් කරන්නේද, දික් කළ අතක් හකුළන්නේද, එපමණ ඉක්මනින් දෙව්ලොවින් බැස කාළ කන්දර විහාරයෙහි ඵුස්සදේව තෙරුන් ඉදිරියෙහි පෙනී සිට තෙරුන් වැඳ එක් පසෙක සිටගෙන '' ස්වාමීනි, තව්තිසා වැසි දෙවියෝ ඔබ දැකීමට කැමති වෙති, එබැවින් දෙව්ලොවට යමු " යි යාඥා කළේය.

තෙර නම දේවේන්ද්‍රය. මම පෘථග්ජනයෙක් වෙමි. යම් සෘද්ධියකින් දෙව්ලොවට යා හැකි නම් ඒ සෘද්ධිය මට නැතැ යි කීය. '' ස්වාමීනි, ඔබ පෘථග්ජන බව මම දනිමි. ඔබට සෘද්ධියක් නැති බවත් දනිමි. මම ඔබ වහන්සේ ඔසවාගෙන යන්නෙමි; ඉවසුව මැනවැ " යි සක්දෙව් රජ කීය. තෙරුන් නිශ්ශබ්ද වූ විට ගත තෙමේ එතුමන් වැඩහුන් ගලත් සමග ඔසවා ගෙන ගියේය. ඔසවන කෙණෙහිම තෙරනම ඇස් පියා ගත්තේය. (එසේ කෙළේ දෙවගනන් නොදකීම සඳහා යයි සහස් සවත්ථුවෙහි කියැවේ) දෙව්රජ තෙරුන් ගෙන ගොස් වැඩහුන් ගල්තලාව සමගම සුධර්මා සභාවෙහි තැබීය.

සියලු දෙවිවරු තෙරුන් වැඳ හාත්පසින් පිරිවරා ඉඳ ගත්හ, තෙරනම සංයුත්ත නිකායේ මහා වර්ගය කටපාඩමෙන් කීය. ඒ දේශනාවසානයේදී තෙරනම ' දේව රාජයෙනි. මා මිනිස් ලොවට ගෙන යනු මැනවි; පිණ්ඩපාත කාලය වන්නේය" යි කීය. ශක්‍ර තෙමේ යහපතැයි කියා ගල්තලාව සමග තෙරුන් ගෙනවුත් කාළකන්ද විහාරයෙහි තැබී මින් පෙර ඒ තෙරුන් සංයුක්ත මහා වග්ගය කියවන විට යාම තුනකින් නිමාවට යයි. එබැවින් මෙහිදීත් ඒ වර්ගය කියා අවසන් වෙන විට මිනිස් ලොව උදෑසන බත් කාලයයි එතුමෝ දැනගත්හ. ඒ නිසා තමා මිනිස් ලොවට ගෙනයන සේ සක්දෙව් රජුට කීය. සක්දෙව් රජ මේ ආකාරයෙන්ම සවරක් මේ තෙරුන් දෙව්ලොවට ගෙන ගොස් ධර්ම ශ්‍රවණය කෙළේය.

තෙරනම එක්දිනක් බෝමලුව මනාසේ හැමද බුදු ගුණ සිහි කරමින් ඇඳිලි බැඳගෙන බෝධිය දෙස බලමින් සිටියේය. මාරයා එය දැක වික්ෂේප කිරීම පිණිස මහා වාතයක් මවා බෝමලුවෙහි කසළ ගෙනවුත් දමා ගියේය. නැවත තෙර නම එය හැමද බුදුගුණ සිහි කරමින් සිටියේය. නැවත මාරයා වඳුරෙක් වී ඒ ඒ අත්තට පනිමින් මලුව කැත කළේය. තෙරනම නැවතත් එය හැමද බුදුගුණ සිහි කරමින් සිටියේය. නැවත මාරයා මහලු ගවයකුගේ වෙසින් අවුත් බෝමලුවෙහි ඇවිදිමින් පාගා අවුල් කෙළේය. එවිට තෙරනම මේ මාරයා යයි දැනගෙන " පාපිෂ්ටය, මම මනා සේ හැමදි බෝමලුව දැක සිත පහද? ගත්තෙමි, තෝ කුමක් හෙයින් මට අන්තරාය කෙරෙහිද " යි ඇසී. මාරයා තෙරුන් විසින් මා හැඳින ගත්තා ලදැයි දන සියවෙසින් පෙනී සිටියේය.

ඵුස්සදේව තෙරනම තමා ඉදිරියෙහි සිටි මාරයා දක මෙසේ කීය''ඔබ බුද්ධරූපය මවා පෙන්වීමට සමර්ථවෙහි මම එය දකිනු කැමැත්තෙමි, එසේ කරන ලෙස ඉල්ලමි " යි යහපතැයි පිළිගත් මාරයා දෙතිස් මහා පුරිස් ලකුණින් යුත්

බුද්ධ රූපයක් මවාගෙන තෙරුන් ඉදිරියෙහි සිටියේය. ඉක්බිති තෙරනම බුද්ධ රූපය දැක ඇඳිලි බැඳගෙන දැහැගත් ලොම් ඇත්තේ කඳුළු පිරුණු ඇස් ඇතිව පැහැදීමෙන් යුතුව දීපංකර පාද මූලයේ පටන් බෝසත් සිරිත මෙනෙහි කොට බුදුගුණ සිහි කරමින් මෙසේ කීය: මහා මුනීන්ද්‍රයෙනි, හුදකලා වූ මා සඳහා ඔබ විසින් කරුණා සහගත සිතින් නොයෙක් කලාපවලදී කුසල් රැස් කරන ලදී. සිය සිරුරත් පරිත්‍යාග කරන ලදී. සිල් රැක්කේය. තපසට ගියේය. ප්‍රඥාව පිරුවේය,

වීර්යය දැඩිසේ ගෙන ඉවසීම පුරුදු කෙළේය. සත්‍යයෙහි පිහිටියේය; අධිෂ්ඨානය පිරුවේය. මෙත් සිතැති ඔබ සැප දුක් දෙකෙහි නොසැලුණාහ. නිවන් මඟ සොයමින් බොහෝ දුක් අනුභව කළහ. මෙසේ ඔබ වහන්සේ ඒ ඒ ජාතිවලදී ලෝකයාට හිත පිණිස පිළිපදිමින් දීර්ඝ වූ සංසාර මාර්ගයෙහි ඇවිද්ද සේක. පිනින් හටගත්තා වූ ඔබගේ මේ මනෝරම්‍ය වූ බුද්ධ රූපය දෙව් මිනිස් අසුරයන්ගේ නෙත් අලවන්නකි. චක්‍ර ලක්ෂණ ඇති ඔබගේ පාදයෝ උඩ පැත්තෙන් උස්ව සිටියාහ.

විලුම් දෙක දිගය. කෙණ්ඩා දෙක එණි මුවන්ගේ කෙණ්ඩා වැනිය. කලවා මනාසේ පිහිටියහ. දකුණට කැරකුණු නාභියක් ඇත. කෝෂයක ගිලුණු පුරුෂලිංගය ඇත. උරහිස් දෙක ද බාහු දෙක ද දික්වෙති. බෙල්ල වටකුරුය. අඩුවක් නැත. දික්වූ ඇඟිලි ඇත්තාහ. තඹවන් නියපොතු ඇත්තාහ. උස් වූ නහයක් ඇත. මනා බැම දෙකක් ඇත. සිංහයාගේ ඉදිරි පස ශරීරය වැනි ශරීරයක් ඇත. සිංහයාගේ හක්ක වැනි හක්කක් ඇත. සමවූ සුදු වූ අඩු නොවූ සතළිසක් දත් ඇත්තාහ. පළල් දිවක් ඇත්තාහ. රතුතොල් ඇත්තාහ. වසු පැටවුන්ගේ ඇස් වැනි ඇස් ඇත්තාහ.දේදුනු වැනි ඇස්බැම ඇත්තාහ. ගව කිරෙන් නගිත පෙණ වැනි සුදු වූ ඌර්ණ රෝමයක් ඇත. අඳුන් පැහැති දකුණු අතට වකුටු ගැසුණු හිසකෙස් ඇත්තාහ.උඩට හැරුණු ලොම් ඇත්තාහ. හිසෙහි උණ්හීසය * බබළයි. රන්වන් ශරීර ඇත්තේය. නුග ගසක අතුපතර හා ගැලපෙන උස මෙන් උණ්හීස නම් නලල්පටක් බැන්දාසේ පෙනෙන හිසේ පිහිටීමකි.

නිග්‍රෝධ පරිමණ්ඩල ඇත්තේය. සියලු සත්ත්වයන්ට උත්තම වූ හැමමරුන් දිනූ මෙවැනි සම්මා සම්බුදු රජ අනිත්‍යතාවෙන් වැඩුණේ අද නොදක්නා ලැබේ. කුණ්ඩලී වශයෙන් කැරකුනු නිල් පැහැති රැස් විහිදුවන උණ්හීස සහිත බුදුන්ගේ ඒ කේශයෝ අද නොදක්නා ලැබෙත්. පුන් සඳේ පැහැය ඇති කිරි පෙණ මෙන් සුදු වූ ඒ ඌණ රෝම ධාතුව දසදහස් සක්වළ ආලෝක පතුරුවා අද නොදක්නා ලැබේ. දික් වූ පුළුල් වූ නිල් වූ නිර්මල වූ ආලෝක සහිත වූ ඒ ඇස් අද නොදක්නා ලැබේ. දකුණට කැරකුණු නාභිය ද, කෝෂයෙන් වැසුණු ලිංගයද ඇතෙකුගේ බඩ වැනි කුක්ෂිය ද, එණිමුවකුගේ වැනි කෙණ්ඩා ද විනාශයට ගොස් නොපෙනෙති. බුදු රජුන්ගේ උඩි පතුල් පැළූ සක් ගෙඩියෙක් මෙනි, විලුම් දික්වෙති. යටි පතුල් චක්‍ර ලක්ෂණයෙන් යුක්ත වෙති. ඒ සියල්ල අද නොදක්නා ලැබේ. බුදු රජ මසින් පිරුණු තැන් සතක් ඇත්තෙකි. අප්‍රති පුද්ගල අසමසමයෙකි. බබළන ලකුණු ඇත්තෙකි. සියල්ල අද අදෘශ්‍යමානය.

මාරයා විසින් නිර්මිත රූපය දුටු තෙරනම මෙසේ විදසුන් වඩා රහත් බවට පැමිණියේය. මාර තෙමේ එය දැනගෙන තෙරුන් විසින් මම වංචා කරන ලදිමි සිතා දොම්නස් ඇතිව එතැනම අන්තර්ධාන විය. තෙරනම රහත් වී යයි දැනගත් ශක්‍ර තෙමේ එහි අවුත් " ස්වාමීනි, දෙලොවට යමු" යි කීය. තෙරනම යහපතැයි කියා එහි ගොස් දහම් දෙසා සෘද්ධියෙන් ස්වකීය විහාරයට පැමිණියේය. ඉක්බිති එක්තරා නා රජෙක් ස්වකීය භවනයෙන් නික්ම තෙරුන් වෙත ගොස් පන්සියයක් භික්ෂූන් සමග දානය පිළිගන්නා සේ තෙරුන්ගෙන් ඉල්විය. තෙරනම නිශ්ශබ්ද වීමෙන් එය පිළිගත්තේය. එදවස්හිම තම්බායේ සුමනතෙර ( - තම්බසුමන තෙර) නම ඵුස්සදේව තෙරුන් වැඳීම සඳහා පන්සියයක් භික්ෂූන් සමඟ එහි පැමිණියේය. හෙතෙම තෙරුන් වැඳ '' ස්වාමීනි, පිණ්ඩපාතය සඳහා සුදුසු කාලය'' යි කීය. "නොගිය මැනව, තෙරවරුන් හා එක්ව මම අද පිණ්ඩපාතය ගනිමි '' යි ඵුස්සදේව තෙර කීය. තම්බසුමන තෙරනම එකඟ විය. ඉක්බිති නා රජ ගොස් " ස්වාමීනි පිඬු සඳහා වැඩීමට යෝග්‍ය කාලය යි දන්වීය. නාරජුගේ කීම අසා ඵුස්සදේව තෙරුන් ප්‍රමුඛ දහස්නමක් භික්ෂූහු නාරජුගේ විමානය සමීපයෙහි වූ ගංඉවුරෙහි වැඩි මහලු පිළිවෙළින් සිටගත්හ. නා රජ සිය පිරිස සමඟ අවුත් මහ තෙරුන්ගේ පාත්‍රය ගෙන දිව්‍යාහාරයෙන් පුරවා තෙරුන්ට දුණි, දිවසළු දෙකක්ද පාමුල තැබීය. තෙරනම ඒ පිණ්ඩපාතයත් සළු දෙකක් අන්‍ය භික්ෂුනමකට දුණි. නා රජ නැවත දන් පාත්‍රයක් හා සළු දෙකක් දුණි. තෙරනම එය තෙවෙනි භික්ෂුවට දුණි.

මෙසේ දහසක් පමණ වූ භික්ෂූන්ට දෙන අතර තම්බසුමන තෙරුන්ගේ ශිෂ්‍ය වු දෙනමක් ඒවා ගන්ට නොකැමති වූහ. නාරජ එය දැක එතැනට අවුත් නොගැනීමට කාරණය කිමෙක්දැයි විචාළේය. "මහරජ අපි වබිඳීම නොකරන්නෙමු " යි ඔවුහු කීහ. වබිඳීම කුමක්දැයි ඇසූ විට තමන්ට ලැබෙන දෙය පමණක් ගැනීම යයි කීහ. නාරජ යහපතැයි කියා වස්ත්‍ර ජෝඩු දෙකක් ඒ දෙනමගේ පාමුල තැබීය. එහි තැබූ කෙණෙහි ඒ ජෝඩු දෙක ජෝඩු සතරක් විය. එය දැක භික්ෂූහු විස්මයට පත්වූහ. නාරජ වනාහි නොසතුටු වී ඒ භික්ෂූන්ට සංවේග උපදවනු සඳහා ඵුස්සදේව තෙරුන්ගේ ගුණ ප්‍රකාශ කරමින් මෙසේ කීයා කාළකන්ද විහාරයෙහි වසන ඵුස්සදේව මහ තෙරුන්ට මම බතින් ආරාධනා කෙළෙමි. මම ඒ තෙරුන්ට දානය දෙමි. තෙරනම පිළිගෙන ඉදින් ඔබට නොදේ නම් තෙර නම ඔබගේ සැපය කැමති වන්නෙක් නොවේ. ඒ තෙරුන්ගේ පින නිසා මම ආහාරත් වස්ත්‍රත් දෙමි. තෙරනම පිළිගෙන දහස්නමටම දෙයි. තෙරුන් විසින් පෙර පාති වලදී මෙවැනි පින් කරන ලදී. ඒ පින ඔබට නැත. එබැවින් නුවණැත්තෙනි. මෙය පිළිගත මැනවි.ඒ තෙරනම මෛත්‍රී විහරණ ඇත්තේය, රහත්ය. ආශ්‍රව නැත්තෙකි. ඒ ගුණ ඔබට නැත. එබැවින් පඬිවරුනි,

මෙය පිළිගත මැනවිමේ වනරොදෙහි දරුණු වූ නිතර ලේ මස් අනුභව කරන, එකිනෙකාට හිරිහැර කරන සත්ත්වයෝ ඇත්තාහ. ඔවුහුද තෙරුන්ගේ මෛත්‍රී බලයෙන් හිංසා කරන සිත් දුරු කොට සැප ලැබූහ. ඵුස්සදේව මහ තෙරනම මෙවැනි ගුණ ඇත්තෙකි. ඔබට ඒ ගුණ නැත. එබැවින් ප්‍රාඥයෙනි. මෙය පිළිගත මැනවි. යක්ෂයෝද, නාගයෝ ද, භූතයෝද, දෙව්ලොව දෙවිවරුද ඉන් මත්තෙහි දෙවිවරුද ඵුස්සදේවයන් වහන්සේට ප්‍රිය කරත්. ඔබට ප්‍රිය කරන්නෙක් නැත. එබැවින් මෙය පිළිගත මැනවි. නාරජු විසින් ඉදිරියෙහි සිට මෙසේ අවවාද කරනු ලැබූ ඒ භික්ෂූහු ඒ දනත් වස්ත්‍රන් පිළිගත්හ. මෙසේ ඵුස්සදේව තෙර නම නාගයන්ට ද යක්ෂයන්ට ද භූතයන්ට ද දෙවියන්ට ද මිනිසුන්ට ද ප්‍රිය වූවෙකි. මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු මෙසේ බොහෝ ගුණ ඇත්තෝ යයි දන බුදු රදුන් විසින් පසස්නා ලදහ. යම්සේ ඵුස්සදේව තෙරනම නාග - යක්ෂ - භූත - මිනිස් යන මොවුන්ට ප්‍රිය වීඳ එමෙන් අන්‍ය මෛත්‍රී විහරණ ඇති භික්ෂූහු ද ඔවුන්ට ප්‍රියවෙති.