බෙල්ලට්ඨිසීස තෙරුන්ගේ කථා වස්තුව

"රහතුන් වඩින මග කවුරු නම් දනිත්ද?”

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඇතැම් රහතන් වහන්සේලාගේ අල්පේච්ඡතාවය හරි පුදුමයි.ආහාර වැළඳුවේ ශරීරය පවත්වා ගැනීම පිණිස විතරයි. කිසිවක් කෙරෙහි නොඇලුණු සිත් ඇති ඒ රහතුන්ගේ ස්වභාවය බුදු කෙනෙක් පමණමයි දන්නේ.

ආනන්ද ස්වාමින් වහන්සේ උපාධ්‍යායයන් වහන්සේ වුනේ බෙල්ලට්ඨිසීස මහරහතන් වහන්සේ. උන්වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර. උන්වහන්සේ නිතරම කළේ භාවනා කරපු එකයි. පිණ්ඩපාතය පිණිසවත් කාලය ගත කරන්න උන්වහන්සේට කැමැත්තක් තිබුනේ නෑ. දවසක් උන්වහන්සේ මෙහෙම කල්පනා කළා.

"මං හැමදාම පිණ්ඩපාතෙ වඩිනවා. රස දෙයක් ලැබුනත්, නීරස දෙයක් ලැබුනත්, හපලා ගිල්ලට පස්සේ වෙනසක් නෑ. තෙත දෙයක් ලැබුනත්, වේලිච්ච දෙයක් ලැබුනත් වැළඳුවාට පස්සේ ඇඟට ටිකක් පණ එනවා නම්, මට භාවනා කරගන්න ඒ ඇති. ඒ නිසා දානෙ පොඩ්ඩක් වෙනුවෙන් හැමදාම පිඬු සිඟා වඩින එකේ තේරුමක් නෑ.

මෙහෙම හිතපු බෙල්ලට්ඨිසීස මහරහතන් වහන්සේ එක දවසක් වේලාසනින් පිඬු සිඟා වැඩියා. දානෙ ලැබුනා. රුක් සෙවනකට ගිය උන්වහන්සේ ඒ දානෙ වැළඳුවා. ආයෙමත් පිණ්ඩපාතෙ වැඩියා. බත් ටිකක් හම්බවුණා. එය රැගෙන කුටියට වැඩියා. ඒ බත් ටික අව්වෙ දාලා වේලුවා. හොඳට වේලුනාට පස්සේ ආයෙමත් පාත්තරට දාලා වහල තිබ්බා. පසුවදා පිඬු සිඟා වැඩියෙ නෑ. ඒ වේලිච්ච බත් ටිකට වතුර පොඩ්ඩක් ඉහලා වැළඳුවා. උන්වහන්සේට කාලය ගොඩක් ඉතුරු වුනා.

ටික දවසක් උන්වහන්සේ මේ සිරිත කරගෙන ගියා. සමහර දිනවලදී උන්වහන්සේ දවස් දෙක තුනේ පිඬු සිඟා වඩින්නේ නෑ. භික්ෂූන් වහන්සේලා අතර කසු කුසුවක් ගියා.

"හරි වැඩක් නෙව... අපට නම් දවස ගානෙ බඩගින්න ඇතිවෙනවා. අපගේ බෙල්ලට්ඨිසීස තෙරුන් පෙරේදා පිණ්ඩපාතෙ වැඩියා අපිත් එක්ක. ඊයෙ වැඩියෙන් නෑ. අද වැඩියෙත් නෑ. කොහෙමද හප්පේ.... ඇඟට පණ නැතුව මේ මහණදම් පුරන්නේ..."

ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා සොයලා බලද්දී කුටිය තුළ බත් වේලාගෙන වළඳනවා දැක්කා. භික්ෂූන් වහන්සේලා මේ ගැන කතා බස් වුණා.

අපේ බෙල්ලට්ඨිසීස තෙරුන් මේ කරන වැඩේ හරි නෑ...උන්වහන්සේ කිසි දේකට නොඇලෙන බව ඇත්ත. වේලුණු බත රස නැති බවත් ඇත්ත. නමුත් ඔය පුරුද්ද හැමෝටම ගියොත් බත් වේලගෙන ගෝනිවල දමා ගනීවි! මුට්ටි වල පුරවා ගනීවි! දන්නෙම නැතුව කෑම බීම ගබඩා හැදේවි! ධර්මය නොවැඩුණු කෙනෙකුගේ හිතේ කෙලෙස් වැඩෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ."

ඒ භික්ෂූන් වහන්සේලා මේ ගැන බුදුරජාණන් වහන්සේට සැල කළා.

" පින්වත් මහණෙනි, ඒක ඇත්ත. නිවන් අරමුණු කොට චතුරාර්ය සත්‍යාවබෝධයම අරමුණු කොට පැවිදි වූ කුලපුත්‍රයන් රැස් කරගෙන වළඳන්න හොඳ නෑ. එතකොට නවක භික්ෂූන් ඒ පුරුද්දට ඉක්මනින් හසුවේවි. සැදැහැවතුන් කලකිරේවි. ධර්මයට නොපහන් අය ඇද කුද හොයන්න පටන් ගනීවී. එනිසා වළඳන දේවල් රැස් කරගෙන නොවැළඳිය යුතුයි" කියලා බුදුරජාණන් වහන්සේ ශික්ෂා පදයක් පනවා වදාළා.

ඒ ශික්ෂා පදය පැනෙව්වේ බෙල්ලට්ඨිසීස රහතන් වහන්සේට බව සමහරු දන්නෙ නෑ. ධර්මය නොදත් භික්ෂුන් හිතුවේ උන්වහන්සේ කෙලෙස් සහිත කෙනෙක් කියලා. ඒ හේතුවෙන් උන්වහන්සේ ළඟට ගිහින් අනවශ්‍ය වචන කියලා පව් රැස් කරගන්න ඉඩ තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට ඕන වුණා උන්වහන්සේ කවුද කියලා අනිත් අයට කියා දෙන්න.

"පින්වත් මහණෙනි, බෙල්ලට්ඨිසීස ඔය ආහාර රැස් කරගෙන වැළඳුවේ ගිජුකමකට නොවෙයි. විවේකය ගන්නයි. නමුත් ඒ කරපු ක්‍රමය වැරදියි. බෙල්ලට්ඨි සීසගේ අල්පේච්ඡ ගුණය දිනපතා පිඬුසිඟා වැළඳුවා කියලා නැතිවෙන්නෙ නෑ. අනික බෙල්ලට්ඨිසීසගේ ජීවිතය ආකාසයේ පියාඹා ගිය කුරුල්ලෙකුගේ ගමන වගෙයි. කුරුල්ලන්ගේ පියාපත් සටහන් අහසේ නෑ නේද?"

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මිහිරි ස්වරයෙන් මෙම ගාථාව වදාළා.

92.3. යේසං සන්නිචයෝ නත් ථි යේ පරිඤ්ඤාතභෝජනා

සුඤ්ඤතො අනිමිත්තෝ ච විමොක්ඛො යස්ස ගෝචරෝ අකාසේ' ව සකුන්තානං ගති තේසං දුරන්නයා

රහත් මුනිවරු ලොවේ - රැස් කිරීමක් නොකරති වළඳන බොජුන් ගැන අරුත් දැනගෙන වළඳති මේ ජීවිතය තුළ - මම, මගේ යැයි සලකන දෙයින් හිස් වී ඇති බව - හොඳින් දැනගෙන වසත් කෙලෙස් ඇතිවෙන අරමුණු - නොගෙන පිහිටා නිවනේ නිවන් අරමුණු කොට - වසති රහතුන් සුවසේ අහසෙහි පියාසලමින් - කුරුල්ලන් ඉගිල ගිය විට ඔවුන්ගේ කිසි සටහනක් නොපිහිටන ලෙස අහසේ රහතුන් වඩින මග නම් - දකීවිද ලොව කෙලෙසේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, දැක්කා නේද? රහතන් වහන්සේලා ගැන කොහොම නම් තේරුම් ගන්නද? බුද්ධ කාලයේ වැඩසිටිය භික්ෂූන් වහන්සේලාට පවා රහතන් වහන්සේලාව හඳුනා ගන්න බැරිවුණා. අතීතයේ වැඩ සිටි රහතන් වහන්සේලා ගැන සිතා අපට කිසි බාධාවක් නැතුව සිත පහදවා ගන්න පුළුවන්. මේ ගෞතම බුදු සසුනේ අනන්තවත් රහතුන් බිහි වුණා. මිහිඳු මහ රහතන් වහන්සේ අපේ මව්බිමට වැඩියට පස්සේ ලංකාවෙත් රහතුන් බිහි වුණා. ලක්ෂ ගණන් රහතුන්

බිහි වුනා. දැන් ඒ මහා පුණ්‍යවන්ත යුගය අවසන් වෙලා තියෙන්නේ, අතීතයට ගිය ප්‍රවෘත්තියක් හැටියට ඒ රහතුන්ගේ ජීවිත ගැන අපි දැනගනිමු. නමුත් ඒක සත්‍යයක් සැබෑම ගුණයක් සැබෑම ජීවිතයක්! ඒ නිසා ඒ රහතන් වහන්සේලා ගැන අපි හැමෝම සිත පහදවා ගනිමු.රහතන් වහන්සේලාගේ විරාගී පැවැත්ම තේරුම් ගත හැක්කේ නැණවතුන්ට විතරයි