පතාක ප්‍රේතයාගේ කථාව

(මෙසේ අසන්ට ලැබේ) සිංහල ද්වීපයෙහි රුහුණු දනව්වෙහි දීඝාවු' නමැති මහා චෛත්‍යයක් විය. එහි නැංවූ එක්තරා කොඩියක් සුළඟින් ගසාගෙන ගොස් කෙළෙඹියකුගේ ගොයම් කෙතක වැටුණි. කුඹුරු හිමියා කුඹුරෙහි ඇවිදින්නේ එය දක රැගෙන එහි අකුරු කියාවත් එය ඉවත නොදමා ලෝභ සහගත සිතින් එය පොරවා ගෙන ගියේය. ආයුෂ ගෙවීමෙන් මරණයට පත් හෙතෙම යකඩ තහඩු දහසකින් වෙළුණු ප්‍රේතයෙක්ව උපන්නේය. දැල්වෙන ශරීර ඇති හෙතෙම ඇවිදිමින් බෝපිටි පෙදෙසට ගොස් මැදියම් රැයෙහි එක්තරා පිණ්ඩපාතික භික්ෂුවක් සමීපයට ගොස් වැඳ ඇඳිලි බැඳගෙන දුරින් සිටියේය.

ඔහු දුටු තෙරනම තාගේ මුළු සිරුර ලෝහ තහඩුවලින් වැසුණේය, වෙළන ලද්දේය, ගිනි පැහැයෙන් යුක්තය, මෙහි සිටින තෝ කවරෙක් දැයි විචාළේය. ස්වාමීනි, මම යකඩ තහඩු වලින් වෙළුණු ප්‍රේතයෙක් වෙමි. මම හැමකල්හි දවෙමින් තහඩු දහසකින් ආවරණය වී සිටිමි යි ප්‍රේතයා කීය. ' තා විසින් කයින්, වචනයෙන්, සිතින් කිනම් පවක් කරන ලද ද? කවර කර්ම විපාකයක් නිසා යකඩ තහඩුවලින් දැවෙහි ද'' යි තෙරනම විචාළේය. ප්‍රේතයා මෙසේ කීය:

මම ධනවත් මිනිසෙක්ව ඉපද බොහෝ කුඹුරු වපුරවා ඒවා බලමින් ඇවිදින්නේ දීඝා වූ මහසෑය අසළ තිබුණු කොඩියක් සුළඟින් ගව්වක් පමණ ඇවිත් මාගේ කෙතෙහි වැටී තිබෙනු දුටුවෙමි. එහි වැටී තිබුණු එය දැක අතින් ගෙන විමසා බලන්නේ එහි ලිවූ අකුරු දුටිමි.මම ඒ අකුරු දැකත් ලෝභ සිත් උපදවා බුදු සෑයකට අයත් ඒ කොඩිය රැගෙන පොරවා ගතිමි.එතැනින් වාත වූ මම ප්‍රේත ලෝකයට අවුත් යකඩ තහඩු වලින් නිමි වස්ත්‍ර දහසක් ලදිමි. ඒ තහඩු මාගේ ශරීරය දවති, බොහෝ සේ දුක් උපදවන බැවින් මට කිසි අස්වැසිල්ලක් නැත.මට හිඳීමක් නිදීමක් නැත. ආහාර පානයක් නැත. අත්‍යන්ත දුකකට පත් වු නමුත් මට මරණයක්ද නැත.

තෙරනම මෙසේ කිය: ඔබ සඳහා මම කුමක් කරන්නෙම්ද? කවරාකාරයකින් තා දුකින් මිදවිය හැකිද? මම තා උදෙසා රත්නත්‍රයට ධජ පූජා කරන්නෙමි යි. ''ඉදින් කොඩි දහසක් ගෙනවුත් මේ දීඝාවු සෑයට පුදනු ලැබේ නම් මම මෙයින් නිදහස් වන්නෙමි' යි ප්‍රේතයා කීය. මෙසේ කියා ප්‍රේතයා අන්තර්ධාන විය. ඉක්බිති තෙර නම රැය පහන් වූ පසු වහ වහා කොඩි සොයා පනහක් පමණ ලැබ දීඝා වු සෑයට පුදා ප්‍රේතයාට පින් දුණි. ඉන්පසු රාත්‍රි කාලයෙහි ප්‍රේතයා තෙරුන් වෙත අවුත්

'' ස්වාමිනි, මාගේ හිසෙහි අටගුලක් පමණ තැන් විවෘත විය. එය බලනු මැනවැ " යි කීය. පසුදා තෙරනම තවත් කොඩි පණසක් සොයා පූජා කොට පින් අනුමෝදන් කරවීය. එදින ඔහුගේ තවත් අටගුලක් පමණ තැන් විවෘත විය. මේ ක්‍රමයෙන් කොඩි දහස පිරුණු කල්හි ඔහුගේ මුළු සිරුර රන්වන් විය. ඉන් පසු දිනක හෙතෙම සියලු අබරණින් සැරසී මැදියම් රැයෙහි තෙරුන් වෙත පැමිණ උන්වහන්සේ ගේ පා වැඳ තෙවරක් ප්‍රදක්ෂිණා කොට ඇඳිලි බැඳගෙන නුදුරු තැනක සිට ගත්තේය. තෙරනම මෙසේ විචාළේය:

වර්ණවත්, මනා රූ ඇති, අබරණින් සැරසුණු, පිරිසිදු වස්ත්‍ර ඇති, සුවඳ පතුරුවන කුවේරයා වැනි ඔබ කවරෙක්ද? ප්‍රේතයා මෙසේ කීය. පෙර රත් වූ ලොහොතහඩුවලින් වැසුණු මම භයානක රූප ඇත්තෙක් වීමි. එවැනි වෙහෙසට පත් දුගඳ ඇති මා ඔබවහන්සේ විසින් ප්‍රේතභාවයෙන් මුදවන ලදී. මහා වීරයන් වහන්ස, ඒ විපාකයෙන් ඔබ අග්‍ර සැපයට පැමිණෙත්වා මම ප්‍රමාද නමැති මඩෙහි එරුනේ ප්‍රේත ගතියට පැමිණියෙමි. සෑයට පිදූ ධජයක් ගෙන මම රත් වූ යපට දරන්නෙක් වීමි. ධර්ම ප්‍රීති ඇත්තෝ සැප සඳහා ඒ ධජය දුරු කරත්වා.

මෙසේ ත්‍රිවිධ රත්නයෙහි අල්ප වූ විප්‍රකාරය ද ඉතා දරුණු විපාක ඇත්තේය. එහි අල්ප වූ අධිකාරය ද මහත් ශුභඵල ඇත්තේය. එයින් දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලබයි. එබැවින් ඵල සමුර්ධිය කැමැත්තන් විසින් ත්‍රිවිධ රත්නයෙහි අපරාධයක් නොකළ යුතුය. අධිකාරයක්ම කළ යුතුය. ඒ රත්නත්‍රයෙහි අධිකාර කළ බොහෝ දෙව් මිනිස්සු දෙව්මිනිස් සැප ලබා නිවණට පැමිණියහ. ඒ දේව පුත්‍රයා මෙසේ කියා තෙරුන්ගේ පා වැඳ ප්‍රදක්ෂිණා කොට එහිම අන්තර්ධාන විය.