මහානාග තෙරුන්ගේ කථාව
රුහුණු දනව්ව සමීපයෙහි සේතපබ්බත නමැති පර්වතයක් විය. ඒ පර්වතයේ නැමී ගිය තැනක් කුස ලෙණ නමින් ප්‍රකට විය. ඒ කුස ලෙණෙහි අඩු ආශා ඇති සිල්වත් වූ මහානාග නම් තෙර නමක් වසයි. පර්වතය අවට පිඬු සිහිමට යෝග්‍ය වූ, පහසු ගමනාගමන ඇති ගම දුරින් හොබනේය.
මනා සංවර ඇති, දැමුණු ඉඳුරන් ඇති ඒ තෙරනම එක් දිනක් ගෙපිළිවෙළින් වඩින්නේ අනුකම්පාවෙන් එක් පවුලක් කරා එළඹියේය. ඒ ගෙයි වැසියෝ පහන් සතුටු සිතැත්තාහු හැමදා ඒ තෙරුන්ගේ පාත්‍රය පුරවා දන් දෙති. මෙසේ කරමින් අවුරුදු දොළසක් ගත වූ පසු ඒ ගෙදර මවුපිය දෙදෙන වයසට යන්නාහු දුවට කථා කොට මෙසේ කීහ:
දුවණියෙනි. ඇල්සහලෙන් බත් උයා මස් මාලු ද පිළියෙළ කොට ගිතෙල් වත්කොට තෙරුන්ට දෙව.ඉතිරි දෙය කොස් හා මිශ්‍ර කොට තෝ ද අනුභව කරව. මා විසින් හීල් බත් කන ලදි. එබැවින් මා ගැන නොසිතව යි කීහ.තෙරනම අඳනය ඇඳ සිවුර පොරවා ගෙන ඒ ගෙට එන්නේ ඒ කථාව ඇසී. එයසා සූරවූ ඒ යෝගී තෙරුන්ට මහත් සංවේගයක් උපණි. උණුසුම් වූ හෘදය ඇති එතුමා මෙසේ සිතී:
මොවුහු මාගේ මවුපියෝ නොවෙති. නෑයෝ හෝ සහලේ නෑයෝ නොවෙති. ප්‍රණීත වූ යමක් ඇත්නම් ය මට දෙන්ට නියම කොට ඕජා නැති දෙය අනුභව කොට ඔවුහු ගියහ. ඒ ආහාරය පෘථග්ජන වූ මා විසින් නොවැළඳිය යුතුය, රහත් භික්ෂුවක් විසින් එය අනුභව කළ යුතුයයි සිතා ගණ්ඨිය පාසයෙන් මුදා එතැනින් නැවතී ස්වකීය ලෙණට කැරි ගියේය.
සිවුර පැත්තකින් තබා අස්නක් පණවා මාගේ මස්, නහර, ලේ, ඇට යන මේවා වියලෙත්වා, රහත් බවට නොපසුබස්නා වීර්යයෙන් යුක්තව මෙසේ ඉටා ගත්තේය. ත පැමිණ මේ ආසනයෙන් නොනැගිටින්නෙමි යි මෙසේ තුරා අස්නෙහි හිඳගෙන සිවු පිරිසිදු සිල් විමසා බැලීය. ශීල විසුද්ධිය ඇති බව දැක පිරිසිදු නුවණැති එතුමා විදසුන් වඩා රහත් විය. අභිඥාසය අවබෝධ කෙළේය. සියලු සංයෝජනයන් ක්ෂය කිරීමෙන් සසරින් එතරට ගිය එතුමා සිංහනාද කෙළේය.
''ඉපදීමේ කෙළවර දක්නා වූ මම ඒකාන්තයෙන් නැවත ගැබෙහි ඉපදීමට නොපැමිණෙන්නෙමි. මේ මාගේ අන්තිම වූ ඉපදීමයි. සසරෙහි මාගේ නැවත ඉපදීම ක්ෂය විය.” මෙසේ සිංහනාද කොට ආයුෂයාගේ පැවැත්ම බලා මධ්‍යාහ්න කාලයේදී පිරිනිවෙන්නෙමියි සිතා ගත්තේය.
උන්වහන්සේ අදහස දැනගත් ලෙන් වැසි දේවතාවා අත් හිසමත තබා වැඳගෙන මෙසේ කීය. ''ස්වාමීනි, ඔබගේ උපස්ථායකයා දිළින්දෙකි, හෙතෙම අවුරුදු දොළසක් මුළුල්ලේ සිල්වත් ඔබට උපස්ථාන කෙළේය. ඉක්බිති ඔබ ෂඩභිඥාලාභි රහත් නමක් වූහ. එබැවින් ඔහුට අනුකම්පාවෙන් ඔහුගේ පිණ්ඩපාතය පිළිගත මැනවි ”.
දේවතාවගේ කීම ඇසූ තෙරනම අස්නෙන් නැගිට පාත්‍ර සිවුරු රැගෙන ඒ ගෙට ආයේය. තෙරුන් දුටු සුමනා තොමෝ අනක් පනවා පා දෝනා දිය තබා එතුමාගේ පාමුල වැටී හුණි. අස්නෙහි වැඩ හුන් එතුමා බාලිකාව අමතා " මවුපියෝ නොදක්නා ලැබෙත්. ඔවුහු කොහි ගියාහු ද”යි ඇසී. තෙරුන්ගේ වචන ඇසූ ඕ තොමෝ විස්මයට පැමිණ මෙසේ සිතී
'' අද තෙරනම ප්‍රසන්න වූ මුහුණු ඇත්තේය, බොහෝ දාවල් වී මෙහි වැඩියේය, අස්නෙහි හිඳ මවුපියෝ කොහිදැයි විචාරයි. පෙර නොවූ විරූ කරුණු සතරක් අද දක්නා ලැබේ. ඒකාන්තයෙන්ම තෙර නම රහත් බවට පැමිණියේය. වත් බිඳීම කොට තමන්ගේ ගුණයන් ප්‍රකාශ කිරීම නිසා තෙරුන්ගේ ජීවත් වීමක් නැත.
එබැවින් තෙරනම පිරිනිවෙන්ට කැමැත්තේය'' යි. මෙසේ සිතූ ඕ පහන් සිතින් මනා සේ තෙරුන්ට දන් දුණි. වලදා නික්මුණු තෙර නම පර්වතය කරා ගියේය. එහිදී පළඟ බැඳ වැඩ හිඳගෙන හිර මුදුනට පැමිණි විට මෙසේ අධිෂ්ඨාන කෙළේය. " යම් මිනිසෙක් මට අවුරුදු දොළසක් උපස්ථාන කෙළේ නම් ඒ මිනිසා අවුත් ස්පර්ශ කළ විට මාගේ ශරීරය සේලවේවා; අන්‍යයන් ඔසවන්ට උත්සාහ කළවිට නොසැලේ වා" යි.මෙසේ අධිෂ්ඨාන කළ
නාග තෙරනම තෙල් අවසන් වීමෙන් නිවී යන පහනක් මෙන් මෙලොව සම්බන්ධ නැතිව පිරිනිවියේය. කථාව විස්තර කළ යුතුය.
බාලිකාවගේ දෙමවුපියන් විසින් වනයෙන් ගෙනෙන ලද කපු රන් බවට පැමිණියේය. දේවතාවන් උද්ඝෝෂණය ඇසු සද්ධාතිස්ස මහරජතුමා අන්තඃපුරය සමග ගොස් මහජනයා පිරිවරන ලද්දේ සාධුකාර දී මෘතදේහය ඔසවන්ට තැත් කෙළේය. නමුත් නොහැකි විය. එවිට රජතුමා තෙරුන්ට උපස්ථාන කෙළේ කවරෙක් දැයි විචාළේය. ඒ උපාසකයා ඉදිරියට අවුත් ' අහෝ මට නොදන්වා පිරිනිවියේය " යි කියමින් මෘත ශරීරය වැලඳ ගත්තේය.
එකෙනෙහි මෘත ශරීරය අහසට නැගුණි. අහසෙහි හුන් තෙරුන් දැක බොහෝ දෙන නමස්කාර කළහ. තෙරුන්ගේ අධිෂ්ඨානය පරිදි මෘත දේහයෙන්ම ගිනි පිටවී එය දල්වුණේය. එය දැක සතුටු සිතැති රජතෙම සාධුකාර දුණි. මේ උපාසකයාට ද බොහෝ ධනය දුණි. ඔහුට නොයෙක් ද උසස් බඩු ද දී ඒ ගමත් දුන්නේය. ඔහුගේ දුවටද සම්පත් දුණි. මෙසේ දක්ෂිණාර්හයන් කෙරෙහි යම් දනක් දෙන ලද නම් එය මෙලොවදීම අපරිමිත ධනය ද අභිවෘද්ධිය ද ගෙන දී පරලොව දී සුගතිය ලබා දෙයි. එබැවින් යම් කෙනෙක් මෙලොවදීත් පරලොවදීත් අභිවෘද්ධිය කැමති වෙත් නම් ඔවුන් විසින් ආරිය සංඝයා කෙරෙහි ධර්ම ප්‍රිය වූ දානය දිය යුතුය.