විඩූඩභගේ කථා වස්තුව
"ආශාව පසුපස ගිහින් මාරයාට ගොදුරු වෙනකම් දන්නෙම නෑ "
පින්වතුනේ, පින්වත් දරුවනේ, විඩුඩභගේ අවසානය පිළිබඳව අනුවේදනීය කතාව තමයි දැන් ඔබට අසන්නට ලැබෙන්නේ. කාමයන් පසුපස යන මිනිසා නවතින්නේ නිරයේ බව කිසි කෙනෙකුට සිතා ගන්නටවත් බැහැ. කාමයන් වටා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, බද්ධ වෛරය, පළිගැනීම, එකට එක කිරීම පෙළගැසෙන්නේ තමාටත් නොදැනීමයි. රජවරුන්ගේ ජීවිතවල සිට සාමාන්‍ය මනුෂ්‍යයාගේ ජීවිතය දක්වා වෙලී ඇති කාමාශාව විසින් ඔවුන් ව ඉතාමත් සංකීර්ණ වූ දයාවිරහිත වූ විකෘති පළිගැනීම් තෙක් ගෙන යනවා. එහි අනිෂ්ට විපාක පොදු ජනයාට විඳවන්නට සිදුවන ආකාරය විඩූඩභගේ සිද්ධිය තුළින් දිස්වෙන්නේ කැඩපතකින් දකින්නාක් පරිද්දෙන්.
කොසොල් රජ්ජුරුවන්ට විඩූඪභ කියලා පුතෙක් සිටියා. ඒ පිළිබඳව පසුබිම් කතාව මේකයි. අනේපිඬු සිටුතුමා, විශාකා මහෝපාසිකාව, සුප්පියා උපාසිකාව ආදීත් දිනපතා භික්ෂූන් වහන්සේලාට දන් දුන්නා. අනේපිඬු සිටු මාලිගාවේ දිනපතා දෙදහසක් භික්ෂූන්ට දත් දුන්නා. විශාඛාව ද, සුප්පියා ද දිනපතා පන්සියයක් භික්ෂූන්ට දන් දුන්නා.
මෙය දුටු කොසොල් රජතුමාටත් පන්සියයක් භික්ෂුන්ට දිනපතා දන් දෙන්නට ආසා ඇති වුණත්, භික්ෂූන් වහන්සේලා රාජමාලිගයෙහි දන් පිණිස එතරම් කැමැත්තකින් වැඩියේ නෑ. එනිසා සංඝයාගේ විශ්වාසය දියුණු කරගැනීමේ අදහසින් කොසොල් රජ්ජුරුවන්ට ශාක්‍ය වංශය සමඟ ඤාති සම්බන්ධයක් ඇති කර ගන්නට වුවමනා වුණා. රජතුමා ශාක්‍ය වංශික රජවරුන්ට සංදේශයක් යැව්වා. රාජමාලිගාවට වහාම ශාක්‍ය කුමාරිකාවක් එවන්න කියලා.
ශාක්‍යවරුන් රැස් වුණා. ඔවුන් කිසි කෙනෙක් ශාක්‍ය කුමාරිකාවක් රජතුමාට දෙන්නට කැමැති වුණේ නෑ. කොසොල් රජතුමා ක්ෂත්රීය වංශිකයෙක් වුණත් ශාක්‍ය වංශයෙන් පහළයි. මේ නිසා ' යවලත් බෑ. නොයවාත් බෑ යන තත්ත්වයට පත් වුණා. අන්තිමේ දි මහානාම ශාක්‍ය රජු නිසා එම මාලිගයේ දාසියකගේ කුසේ උපන් වාසභ ඛත්තියා කියන දාසිය යවන්නට තීරණය කළා.
ශාක්‍ය වංශිකයන් ශාක්‍ය රාජ කුමාරිකාවක් දෙන්නට පොරොන්දු වූ බවට කොසොල් රජතුමාට පණිවිඩය ආවා. රජතුමා මෙහෙම කිව්වා. "ශාක්‍ය වංශිකයන්ගේ කතා විශ්වාස කරන්නට බැහැ. නුඹ මෙහෙම කරපන්. නුඹ ගිහින් බලාපන් මහානාම ශාක්‍ය රජු සමඟ වාසභඛත්තියා එකට වාඩි වී කෑම කනවා ද කියා. හැබැයි ද ශාක්‍ය වංශිකයන් වෙන කිසිවෙකු සමඟ එකට වාඩි වී කෑම කන්නේ නෑ. ඔය කුමාරිය රජ වංශයේ නො වෙයි නම් ලේසියෙන් ම සොයාගන්න පුළුවන් ක්‍රමය ඒක යි.
රාජ පුරුෂයන් ගියා. හොයලා බැලුවා. මේ බව දැනගත් මහානාම ශාක්‍යයා වාසභඛත්තියා ව ලස්සනට සරසලා එක ම කෑම මේසේ වාඩි කරවා ගත්තා. පොදුවේ
ආහාර ගන්නා බව හැඟෙව්වා. ඊට පස්සේ රාජකීය පෙරහැරකින් වාසභඛත්තියා ව කොසොල් රාජමාලිගාවට කැඳවාගෙන ආවා. වාසභඛත්තියා අතිශයින්ම රූප සම්පන්න යි. ඇයගේ රූපයට කොසොල් රජු වසඟ වුණා. ඇයටත් ප්‍රධාන බිසෝ තනතුරක් ලැබුණා. ටික කලකදී ලස්සන රූපයක් තියෙන පුංචි කුමාරයෙක් වාසභ ඛත්තියා විසින් බිහි කළා.
කුමාරයාට නමක් තබන්නට රජතුමා තම මිත්තණිය ළඟට ඇමතියෙක් පිටත් කළා. ඇමතියාට මිත්තණිය කීවේ වාසභඛත්තියා මාළිගාවට පැමිණ සියලු දෙනා ම අබිභවා ගියා. දැන් ඉතින් සියලුම සම්පත්තියට වල්ලභ (ස්වාමියා) වෙනවා" කියලයි. මේ වල්ලභ කියන වචනය ඇමැතියාට ඇහුණේ 'විඩුඩහ' කියලයි. ඔහු ගිහින් රජතුමාට ඒ නම කිව්වා. රජතුමා කුමාරයාට විඩුඩ භ කියන නම තිබ්බා.
කුමාරයාට කුඩා කාලයේ දී ම සේනාපතිකමක් ලැබුණා. කොසොල් රජතුමාට ගොඩාක් ම ඕන කළේ ශාස්තෘන් වහන්සේ සමඟ සමීප සම්බන්ධතාවයක් මේ කුමාරයා තුළින් ගොඩනගන්නයි. විඩුඩභ කුමාරයා කුඩා අවදියේ සිට වාසභඛත්තියාට නිතර නිතර කීවේ නෑදෑයන් බලන්න යන්න ඕන කියලයි. ඒ සෑම වතාවක දීම ඇය කුමක් හෝ බොරුවක් කියා එය මඟ හරිනවා. විඩුඩභ කුමාරයාට වයස දහසය වෙද්දී නෑදෑයන් බලන්න යන්න වන කියල දැඩි තීරණයක් ගත්තා. වාසභඛත්තියා මහානාම ශාක්‍ය රජුට මෙය දැනුම් දුන්නා. ශාක්‍ය වංශිකයන් නො සන්සුන් වුණා. ඔවුන් විඩුඩහට වඩා වයසින් බාල කුඩා කුමාරවරුන් රාශියක් කැදෙව්වා. පිළිගැනීමේ උත්සවයක් තිබ්බා. එහෙත්
වැඩිහිටි කුමාරවරු කෝ? ඒ අය විඩුඩභ කුමරාට ගෞරව කරන්නට නො එන්නේ ඇයි? මේ සියල්ල විඩුඩභට හරි ප්‍රශ්නයක් වුණා. ඉතින් විඩුඩභ කිසියම් අපහසුතාවයකට පත්වෙන බව ශාක්‍ය රජවරුන්ට තේරුණා. ඔවුන් ඉතාමත් ම හොඳින් රාජකීය ආකාරයට කුමාරයාට සැළකුවා. ටික දවසක් රැඳී සිට රාජකීය පෙරහැරකින් නැවත සැවැත් නුවරට පිටත් වුණා. එදා එක්තරා රාජ පුරුෂයෙකුට තමන්ගේ ආයුධය අමතක වුණා. ඔහු ඉක්මනින් අමතක වු ආයුධය ගෙන යන්න ආවා. ඒ වෙලාවේ ශාක්‍ය දාසියක් " වාසභඛත්තියා නම් වූ ශාක්‍ය දාසියගේ පුතා අපගේ ආර්යයන් වහන්සේලාගේ ආසනය කිලුටු කළා නෙව" කියා කෑගසමින් විඩුඩභ වාඩි වූ පුටුව කිරි දියරයෙන් සෝදන අයුරු අර පුද්ගලයාට දකින්නට ලැබුණා. වාසභඛත්තියා ක්ෂත්රීය වංශික කුමාරිකාවක් නොවන බවත්, දාසියක් බවත් දැන ගන්නට ලැබුණා. එතකොට විඩුඩ හ කියන්නේ මව් පාර්ශවයෙන් කිලුටු වූ දාසියකගේ පුතෙක් බවත් දැනගන්නට ලැබුණා. මෙය දැනගත් විඩුඩභ විෂඝෝර සර්පයෙක් වගේ කිපුණා. ඇස් ලොකු කළා. දත්මිටි කෑවා. අත මිටි මොලවාගෙන මෙහෙම කිව්වා. "හොඳයිකො, දැන් තොපි මං වාඩි වූ ආසනය කිරි දියරයෙන් සෝදාපල්ලා. මං තොපේ බෙලි කපා එයින් ගලනා ලෙයින් ඔය ආසනය සෝදන කාලය වැඩි ඈතක නෑ." කියල වෛරය හිතේ පිහිටුවා ගත්තා.
වාසභඛත්තියා දාසියක් යන කරුණ ලැව්ගින්නක් වගේ පැතිර ගියා. රජමාලිගාවේ සියලු දෙනාගේ විහිළුවට ලක් වුණා. මෙය ඇසූ කොසොල් රජු කිපුණා. වාසභඛත්තියාටත්, විඩුඩභටත් තිබුණ සැලකිල්ල නැතුව ගියා. ඔවුන්ගේ සත්කාර සම්මාන පහතට වැටුණා. පිළිගැනීම් නැතුව ගියා. කැළැඹුණු සිතින් යුතු රජතුමා බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කොට මෙය පැමිණිලි කළා.
"ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ ඤාතීන් විසින් මට එවලා තියෙන්නේ දාසියකගේ දුවක් නෙව. ඒ නිසා මං ඇයගේ පුතාවත්, ඇයවත් සියලු තනතුරු වලින් පහ කළා." "පින්වත් මහාරාජ ශාක්‍යවරුන් කරලා තියෙන්නේ අයුක්තක්. ලබා දෙනවා නම් දිය යුත්තේ සමාන ජාතියට අයිති කෙනෙක්ව නෙව. පින්වත් මහාරාජ, වාසභඛත්තියා ක්ෂත්රීය වංශික රජුගේ මාලිගයෙහි ක්ෂත්රිය රාජ කුමාරිකාවක් ලෙස අභිෂේක ලැබුවා නෙව. විඩුඩභ උපන්නෙන් ක්ෂත්රීය රජු කෙනෙක් නිසා නෙව. ඒ නිසා මවගේ ගෝත්‍රයෙන් ඇති ඵලය කිම? පියාණන්ගේ ගෝත්‍රය ප්‍රමාණවත් නෙව. පුරාණ පණ්ඩිතවරු දර අදින කුලයේ උපන් දිළිඳු දියණියක් අග්රමහේෂිකා ස්ථානයේ තැබූ කතාවක් තියෙනවා. ඇය ගේ කුසින් උපන් කුමාරයා යොදුන් දොළහක් විශාල බරණැස ජනපදයෙහි රජ වෙලා 'කට්ඨවාහන රාජා නමින් ප්‍රසිද්ධ වුණා නෙව" කියල බුදුරජාණන් වහන්සේ කට්ඨහාරි ජාතකය දේශනා කළා. මෙය ඇසූ රජතුමා සිත සනසාගත්තා. " ඒක ඇත්ත. පිය පාර්ශවයෙන් තියෙන පිරිසිදුකම ප්‍රමාණවත් නෙව ' කියල නැවතත් වාසභඛත්තියාටත් විඩූඩභටත් කලින් ලැබූ තනතුරු දුන්නා. ලබා
ඔය අතරේ තව සිදු වීමක් වුණා. කුසිනාරාවේ මල්ල රාජ පුත්‍රයෙක් වන බන්ධුල නම් කුමාරයෙක් කොසොල් රජ්ජුරුවන්ගේ ප්‍රධාන සෙන්පතියෙක් වුණා. බන්ධුල සේනාපතිට කුසිනාරාවේ මල්ල රාජ කුමාරිකාවක් වන මල්ලිකා කියා කුමරියක් හිටියා. මේ දෙදෙනාට දරුවන් නැහැ. දවසක් මේ ගැන බහින් බස් වීමක් ඇති වුණා.
බන්ධුල සේනාපතියා " දැන් ඉතින් ඔහේට කරන්න තියෙන්නේ ආපහු ගෙදර යන එකයි " කියා ඇය ව පිටත් කළා. ඉතින් ඇය කල්පනා කළා මං ගෙදර යන්නට කළින් ශාස්තෘන් වහන්සේ ව බැහැදැකලා වන්දනා කරලා යනවා කියල. ඇය බුදුරජාණන් වහන්සේට හඬ හඬා කිව්වා " ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, මට ගෙදර යන්න සිද්ධ වෙලා තියෙනවා." "ඒ මොකද මල්ලිකා? " "ස්වාමීනී, මං වඳ එකියක්ලු. දරුවන් බිහි කරන්නට අසමර්ථයි ලු. අවාසනාවන්තයි ලු." "මල්ලිකා, ගෙදර යන්න ඕන නෑ. ආපහු බන්ධුලගේ නිවසට යන්න." මල්ලිකාට හරි සතුටු යි. ඈ ලෝකයක් ජයගෙන වගේ මහා ප්‍රීතියකින් ශාස්තෘන් වහන්සේට වන්දනා කොට බන්ධුල සෙනෙවියාගේ නිවසට ගියා. ගිහින් ඇය මෙහෙම කිව්වා.
"මං කොහේවත් යන්නෙ නෑ දසබලයන් වහන්සේ මට වදාළේ කොහේවත් යන්න එපා කියල යි. එතකොට බන්ධුල සෙනෙවියත් හිතුවා බුදුරජාණන් වහන්සේ කුමක් හෝ දුර දක්නා නුවණකින් තමයි මෙය වදාළේ කියල. ටික දවසකින් ඇයට දරු උපතක ලකුණු පහළ වුණා. ඒ සමඟම ඇයට දොළදුකක් හටගත්තා. එය ඉෂ්ට කරන්නට හරි අමාරුයි. ඒ තමයි විශාලා මහනුවර ඉතාමත්ම ආරක්ෂා සම්පන්න ව තිබෙන අභිෂේක මංගල පොකුණේ වතුර නා එම පැන් පානය කරන්නට ඇති ආශාවයි. බන්ධුල සෙනෙවියාට මෙය පැවසූ විට නිර්භීත සෙනෙවියා එය කරන්නට එකඟ වුණා. අශ්ව රථයකට නැගුණු දෙදෙනා ම පොකුණ බලා පිටත් වුණා. ඔවුන් ඇතුළු වුණේ මහාලි නම් ලිච්ඡවී රජතුමා විසින් කරවන ලද දොරටුවෙනුයි. මහාලි රජතුමාගේ මාලිගය තියෙන්නේ ඒ අසල ම යි. ඒ රථයේ ශබ්දය අසා මහාලි රජතුමා මෙහෙම සිතුවා. "නො වැරදීම මේ ශබ්දය නම් බන්ධුලයාගේ රථයේශබ්දය යි.
අද ලිච්ඡවීන්ට කිසියම් භයක් උපදිනා හැඩයි.” පොකුණේ ආරක්ෂාව අතිශයින්ම තර කරල යි තියෙන්නෙ. පොකුණේ ඇතුළට යන්නටත් බැහැ. පිටත සිටින්නටත් බැහැ. උඩින් ලෝහ දැලක් අතුරල යි තියෙන්නෙ. නමුත් බන්ධුල සේනාපතියා රථයෙන් බැස ආරක්ෂක භටයින්ට පහර දී ඔවුන්ව පළවා හැර ලෝහ දල සිඳ මල්ලිකාව පොකුණට බැස්සෙව්වා. ඇය සිතු මනාපයට නා ගත්තා. බන්ධුල සෙනෙවියාත් වතුර නෑවා. රථයට නැගී සැණෙකින් පලා ගියා.
පොකුණ ආරක්ෂක භටයන් ලිච්ඡවී රජවරුන්ට දැනුම් දුන්නා. රජවරුන් හොඳටම කිපුණා. "බන්ධුල මල්ලයා අල්ලාපියව්.' කියා කෑ ගසාගෙන පන්සියයක් අශ්වරථවල නැගී පසුපස හඹා ගියා. ඒ ප්‍රවෘත්තිය මහාලි රජ්ජුරුවන්ට දැනගන්න ලැබුණා. "නුඹලා කවුරුවත් යන්නට එපා! හැම දෙනාම විනාශ වේවි." " බැහැ......අපි යනවාමයි." "එහෙම නම් බන්ධුලයාගේ රථ රෝදය වැල්ලේ භාගයක් ම බැස්සොත් හැරිලා වරෙල්ලා. එයිනුත් නොහැරී පසු පස්සෙන් යනවා නම් හෙණ හඬ වැනි ශබ්දයක් ඇසුනොත් ආපසු හැරී වරෙල්ලා. නුඹලාගේ රථවල සිදුරක් දැකොත් යන්නට එපා! හැරී වරෙල්ලා...."
ලිච්ඡවී කුමාරවරුන් දැඩි කෝපයෙන් සිටියේ. ඔවුන් හාලි ලිච්ඡවී රජුට සවන් දුන්නේ නෑ. පස්සෙන් පන්නාගෙන ගියා. පසු පස්සෙන් එන සේනාව දුටු මල්ලිකා කෑ ගසන්නට පටන් ගත්තා. "ස්වාමිනී, අන්න මහා සේනාවක් පේනවා...." "මල්ලිකා, ඔය සේනාව එක වි පෙළට එන විට මට කියන්න." "ස්වාමීනී, දැන් සේනාව එන්නෙ එකම පෙළට යි." "එහෙම නම් මේ රැහැන් පට අල්ලා ගන්න. මං වැඩේ කරන්නම් '' කියල බන්ධුලසෙනෙවියා ඊතලය සූදානම් කොට වේගයෙන් අදින්නට වීරිය ගනිද්දී කරත්ත රෝදයේ භාගයක් ම පොළොවේ එරුණා, ලිච්ඡවීන් එය දැකලත් ආපස්සට හැරුණේ නැහැ. තව සුළු වෙලාවකින් හෙණ හඬක් වැනි ශබ්දයක් ඇසුණා. ඒත් ලිච්ඡවී රජවරු නැවතුනේ නැහැ. එතකොට බන්ධුල සෙනෙවියා තව එක ඊතලයක් විද්දා. එය රථ පන්සීයේ ම වහලවල් සිදුරු කරගෙන ගිහින් පොළොවට වැටුණා. එතකොට ඔවුන් " ඔහොම නැවතියන් ......ඔහොම නැවතියන් ...'' කියල බන්ධුල සෙනෙවියාට කෑ ගැසුවා. බන්ධුල සෙනෙවියා රථය නවත්වා "නුඹලා මැරිලා ඉන්නෙ. මැරිච්ච උදවිය සමඟ මගේ යුද්ධ කිරීමක් නෑ. "නෑ... අපි මැරිලා නෑ.... මැරිච්ච අය අපි වගේ නො වෙයි." "එහෙම නම් සියල්ලන්ට ම පිටිපස්සේ ඉන්න කෙනාගේ යුධ සැට්ටය ගලවන්න. මොකක්ද වුණේ කියා බලාගන්න පුළුවනි.''
එතකොට ඔවුන් සියල්ලන්ට ම පිටුපසින් සිටිය ලිච්ඡවි කුමාරයාගේ යුධ සැට්ටය ගැලෙව්වා. ඒ මොහොතේම ඔහු මැරි වැටුණා. "නුඹලා සියලු දෙනා ම ඔය වගේ තමයි. ඒ නිසා තමන් ගේ ගෙවල් වලට ගිහින් දූ දරුවන්ට අනුශාසනා කොට නුඹලාගේ යුධ සැට්ටත් ගලවා ගන්න එකයි තියෙන්නේ. ඒ සියලු දෙනා ම ජිවිතක්ෂයට පත් වුණා.
ඉතින් බන්ධුල මල්ලිකාවට නිවුන් දරු උපතක් ලැබුණා. ඇයට දහසය වතාවක්ම නිවුන් දරුවන් ලැබුණා. සියලු දෙනා ම පුතාලා. ඔවුනුත් තාත්තා වගේ ම අතිශයින්ම දක්ෂයි. උස මහතින් යුක්තයි. ඒ එක එක්කෙනාට පරිවාර පුරුෂයන් දාහ බැගින් හිටියා. තමන් ගේ පියා සමග රාජ මාලිගාවේ මිදුලට රැස් වූ විට ඔවුන් ගෙන්ම රාජාංගණය පිරිලා යනවා.
රජ මාලිගාවෙහි නඩු විභාග කරන තැනට බන්ධුල සෙනෙවියා පැමිණි විට යම්කිසි අසාධාරණ විනිශ්චයක් සිදු වෙමින් තිබුණා. බන්ධුල සෙනෙවියා එහි සැබෑ තතු විචාරා අයිතිකාරයින්ට ඔවුන් සතු දේවල් දුන්නා. ජනතාව මෙයට පැහැදී මහා හඬින් සාදුකාර දුන්නා. ඒ සාදුකාරය ඇසුණු රජතුමා විනිශ්චය ස්ථානයට බන්ධුල සෙනෙවියා පත්කොට අනිත් ඇමතිවරුන්ව තනතුරු වලින් පහකළා. ඒ ඇමතිවරු බන්ධුල සෙනෙවියා කෙරෙහි වෛර බැඳ ගත්තා. බන්ධුල සෙනෙවියාට විරුද්ධ ව කොසොල් රජතුමාට කේළාම් කිව්වා. බන්ධුල සෙනෙවියා රජකම ලබන්නට කූට සැලසුමක් කරන බවට දිගින් දිගට ම කියන විට කොසොල් රජ්ජුරුවන්ට ඒ ගැන සැකයක් ඇති වුණා. නමුත් කරන්නට කිසි දෙයක් නැහැ. "මං බැරිවෙලාවත් බන්ධුල සෙනෙවියාව මැරුවොත් ඒක ලොකු අර්බුදයක් බවට පත්වෙනවා. ඒ නිසා කරන්නට තිබෙන්නේ ඈත ජනපදයකට පිටත් කොට යවා මරවන එකයි.'
රජතුමා බන්ධුල සෙනෙවියා කැඳෙව්වා. "ප්‍රිය සේනාපතිය, අසවල් ඈත ජනපදය තුළ සොර බියක් ඇතිවෙලා තියෙනවා. ඔබේ පුතුන් තිස් දෙදෙනා සමඟ වහා ම ඒ ප්‍රදේශයට ගිහින් එය සමථයට පත් කරන්න කියල පිටත් කොට යැව්වා. බන්ධුල සෙනෙවියා ඇතුළු පුතුන් තිස්දෙදෙනාගේ හිස් රැගෙන එන ලෙස වෙනත් යෝධයන් ව රහසේ පිටත් කළා. මේ කිසිවක් නොදත් බන්ධුල සෙනෙවියා යන විට සොරු පළා ගියා. ඔහු එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් පිණිස නැවතී සිට ආපසු එද්දි නගරාසන්නයේ තැනක දී යෝධයින් ලවා සියලු දෙනාම මැරුම් කෑවා.
රජතුමා මෙම ශෝක පණිවිඩය බන්ධුල මල්ලිකාවට ලැබෙන්නට සැලැස්සුවා. රජතුමා බොහෝ දුක් වුණා. මල්ලිකාවට වරයක් දෙන්නටත් පොරොන්දු වුණා. මේ සිද්ධියෙන් පස්සේ බන්ධුල සෙනෙවියාගේ දරුවන් විවාහ වී සිටි කුමාරිකාවන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් වලට යන්නට තීරණය කළා. බන්ධුල මල්ලිකාවත් නැවත කුසිනාරාවට යන්නට තීරණය කළා. බන්ධුල මල්ලිකාව රජතුමාගෙන් වරයක් හැටියට තම තමන්ගේ නිවෙස් බලා යන්නට අවසර ගත්තා.
රජතුමා බන්ධුල සේනාපතියාගේ සහෝදරයෙකු වන දීඝකාරායන නම් කුමරාට සේනාපති තනතුර දුන්නා. මාගේ මලනුවන් මැරවේ මොහු විසින් තමයි. මටත් අවස්ථාවක් ඒවි' කියල දීඝකාරායන රජුගෙන් පළි ගන්නට අවස්ථාවක් බල බලා සිටියා.
රජතුමාට බන්ධුල සෙනෙවියාව නිරපරාදේ ඝාතනය කරවීම නිසා කිසි සැනසිල්ලක් ලැබුණෙ නැහැ. කිසි සතුටක් තිබුණේ නෑ. රාජ සැපයක් වින්දෙ නෑ. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේද තළුම්ප නම් නියම්ගමේ වැඩ සිටිද්දී රජතුමා ද බුදුරජාණන් වහන්සේව සොයාගෙන පැමිණියා. එහිදී බුදුරජාණන් වහන්සේ සමග හුදෙකලාවේ කතා කරන්නට ආසා වෙලා රජතුමාගේ පංචකකුධ භාණ්ඩ දීඝකාරායන අතට දුන්නා. ගන්ධ කුටියට පිවිසුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පත්මය අල්ලා ගෙන සිඹිමින් වන්දනා කළා. ඒ අවස්ථාවේ සියලු විස්තර ධම්මචේතිය නම් සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. රජතුමා එළියට එන විට කවුරුවත් නැහැ. දීඝකාරායන සෙනෙවියා පංචකකුධ භාණ්ඩ රැගෙන සේනාව සමඟ ආපහු ගිහින් රජතුමාට උපස්ථාන කරන්නට එක් ස්ත්‍රියක් පමණක් නැවතී සිටියා.
කොසොල් රජතුමා මෙහෙම හිතුවා. "හොඳයයි..... මං සහෝදරයා ළඟට ගිහින් සේනාව පිළියෙල කරගෙන විඩුඩභයාව අල්ලගන්නවා." කියා රජගහ නුවරට යද්දී හොඳට ම රෑ වුණා. නගරයේ ප්‍රධාන දොරටුව වසා තිබුණා. එදා හුදෙකලාවේ ම එක් ශාලාවක සීතල සුළං හමද්දී කලන්තෙ හැදිලා දාසියගේ ඔඩොක්කුව මත නිදා සිටියා. මධ්‍යම රාත්‍රියේ එතැනදීම රජතුමා මරණයට පත් වුණා.
විඩූඪභ තනියම ඔටුණු පළඳාගෙන රජ වුණා. දැන් පළිගන්නට වාරයයි. "හහ්......හ්...හා...! දැන් එක ශාක්‍යයෙක්වත් ඉතුරු කරන්නේ නෑ." ආයුධ සන්නද්ධ මහා සේනාව පැමිණ පන්සිල් රකින ශාක්‍ය වංශිකයන් ඝාතනය කරන්නට පිටත් වුණා. එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර සිට කපිලවස්තු නගරය ආසන්නයට අහසින් වැඩියා. එතන හොඳට සෙවන තියෙන විශාල නුගරුකක් තියෙනවා. එයට ආසන්නව යන්තම් කොළ තියෙන ගසක් තියෙනවා. ඒ ගස් සෙවණේ ගිනි මද්දහනේ වැඩ සිටියා.
විඩුඩභ කපිලවස්තු රාජ සීමාවට පැමිණුනා. බුදුරජාණන් වහන්සේව දැක ළඟට ගිහින් වන්දනා කළා. ස්වාමීනි, මේ මහා රස්නෙ වෙලාවෙ සෙවනක් නැති මය රුක් සෙවනෙහි මොනවට ඉන්නවාද? අතන විශාල නුගරුක ළඟ හොඳ සිසිල් සෙවණක් තියෙන්නෙ. එතන වැඩ සිටින සේක් වා!" "මහරජතුමනි, එය එසේ වේවා! නමුත් ඤාතීන්ගේ ඡායාවමයි මට සිසිල දෙන්නේ."ශාස්තෘන් වහන්සේ ඤාතීන්ව දැක ගන්නට පැමිණ සිටින්නේ යැයි සිතා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ විඩූඩභ නැවත සැවැත් නුවරට පැමිණුනා. ඔහුගේ වෛරය අවසන් වෙන්නෙ නෑ. පළිගන්නා තුරු සිතට සහනයක් නෑ.
දෙවෙනි වතාවෙන් සේනාව සමඟ පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවෙදිත් ඔහුගේ ගමන වැළැක් වුවා. තුන්වෙනි වතාවෙදිත් සේනාව සමඟ පිටත් වුණා. තුන්වෙනි වතාවෙදිත් බුදුරජාණන් වහන්සේ ඔහුගේ ගමන වැළැක් වුවා.
සතරවෙනි වතාවෙදිත් ඔහු ශාක්‍යයන් ගෙන් පළිගන්නට තීරණය කළා. සසරේ කරන ලද කර්ම විපාකයක් පල දෙන්නට සූදානම් ව තිබෙන බව බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා. තම ඤාති වර්ගයා මහ පොළොවෙන් අතුගා දමන්නට කඩු තල මුවහත් කරමින් සිටින පවිටු විඩුඩභ නවත්වන්නට නො හැකිව තිබෙන්නේ ඒ කර්ම විපාකය නිසා බව වටහා ගත් බුදුරජාණන් වහන්සේ ඒ වතාවේ දී නිශ්ශබ්ද වුණා.
බුදුරජාණන් වහන්සේගේ ඤාතීන් වන ශාක්‍ය වංශිකයන් කිසි දවසක මනුෂ්‍ය ඝාතනයක් කරන්නෙ නැහැ. ඔවුන්ට නම වැටිලා තිබුණේ අසත්තඝාතක කියලයි. එනම් තමන් මරද්දිත් අනුන්ගේ ජීවිත ඝාතනය නො කරන අය කියලයි. ශාක්‍ය වංශිකයන් මෙහෙම හිතුවා. "මහා ඍෂි වූ අප ගේ ඤාතිවරයාණන් වහන්සේ අපව හික්මවා තිබෙන්නේ සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩන්නට යි. අපට අනුන්ව මරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි විඩුඩභගේ සේනාවට රිංගලා ඔවුන් ගේ ම කොටසක් වගේ ඉඳලා පැනලා යමු.
මෙය සැළ වූ විඩුඩභ සේනාවට මෙහෙම කිව්වා.
"එම්බා පුරුෂයෙනි, කවුරු හරි කිව්වොත් අපි ශාක්‍ය වරුන් කියලා, ඔවුන් සියලු දෙනා ම මරාපල්ලා මගේ මෑණියන් ගේ පරපුරේ මහානාම ශාක්‍යයාගේ දූවරුන්ට පමණයි ජිවත් වෙන්න දිය යුත්තේ.''
සේනාව ශාක්‍යවරුන් න්ව මරද්දී ඇතැම් ශාක්‍යවරුන් ගිහින් තණකොළ බදා ගන්නවා. ඇතැම් ශාක්‍යවරුන් ගිහින් උණ පඳුරු බදා ගන්නවා. " කියාපල්ලා......තොපි ශාක්‍යවරු නේද? " "අනේ......මේවා ශාක නොවේ. මේවා තෘණ. අනේ... මේවා ශාක නොවේ. මේවා උණ" කියා කියන්න පටන් ගත්තා. ඒ කවුරුවත් ඉතුරු කළේ නෑ. නමුත් ඔවුන්ගෙන් බේරුන අයට තෘණ ශාක්‍යයන්, උණ ශාක්‍යයන් කියල නම් පටබැඳුණා. ශාක්‍ය වංශිකයන් ගේ මළකඳන් රැස් වීම් ශාලාවල් පුරා ගොඩගැහුවා. එදා විඩුඩභ වාඩි වී සිටි කිරි වලින් දෙවූ ආසනය ශාක්‍යයන් ගේ හිස ගසා ගලා ගිය උණු ලේ වලින් සේදුවා.
ඔවුන් මහානාම ශාක්යයාව අල්ලාගත්තා. "නුඹ දැන් අපිත් සමග උදේ ආහාර ගන්නට ආ යුතුයි'' කිව්වා. ශාක්‍ය වංශිකයන් හීන කුලීනයන් සමඟ ආහාර නො ගන්න බව මොවුන් දන්නවා. ජීවිතය ගියත් දාසියෙකු ගේ පුත්‍රයෙකු සමඟ ආහාර නොගන්න බව දන්නවා. මහානාම ශාක්‍යයා විඩුඩභට මෙහෙම කිව්වා. "පුත්‍රය. මගේ ශරීරය අප විත්රයි. මට දැන් නාගන්නට ඕන " කියල. මහානාම ශාක්‍යයා මෙහෙම සිතුවා. "මං මොවුන් සමග ආහාර නො ගත්තොත් මේ උදවිය මාව මරණවා ම යි. ඊට වඩා හොඳයි මම තනියම මැරෙනවා." කියල මහානාම රජු කෙස් කළඹ ලිහා දම්මා, එහි කොණ ගැටයක් ගැසුවා. ඒ ගැටය පාදයේ ඇඟිලි වල පටලවා ගත්තා. ඉන්පසු වතුරේ ගිලුණා. ගඟ යටට කිමිදුණා. මහානාම ශාක්‍යයා
විසින් මෙය කරන ලද්දේ දියේ ගිලී මිය යන්නට යි. මහානාම ශාක්‍යයාගේ ගුණ තේජස නිසා දිය යටින් පැමිණි නාග රාජයෙක් ඔහුව පෙණය මත හිඳුවා ගෙන නාග භවනයට රැගෙන ගියා. මහානාම ශාක්‍ය රජු ඒ නාග භවනයෙහි දොළොස් අවුරුද්දක් ජීවත් වුණා.
විඩූඩභ එදා මාගේ මුත්තණුවන් දැන් ගොඩට ඒවි. දැන් ගොඩට ඒවි" කියා බලගෙන සිටියා. නම කියා කෑ ගැසුවා. මිනිසුන් ව දිය යටට බස්සලා සෙව්වා. හමු වුණේ නෑ. ඉන්පසු ඔවුන් සේනාව සමඟ ආපසු හැරී ආවා. අචිරවතී ගංගාව අසබඩ වැලිතලාවේ ඔවුන් ගිමන් හැරියා. ඔවුන් අතරින් ඒ පවට සහභාගී නො වුණ අය වාඩි වුණ වාඩි වුණ තැන තෙල් කුහුඹි මතු වුණා. ඉතින් ඔවුන් වැලි තලාවෙන් ඔබ්බට නැඟී ගොස් කඳු ගැටයක නිදා ගත්තා. පව්කාරයන් සියලු දෙනාම වැලිතලාවේ හාන්සි වුණා. හොඳට නින්ද ගියා. උඩහ ප්‍රදේශයට කඩා හැලුණු මහා වැස්සක් නිසා අචිරවතී ගඟෙහි ජල පහර වේගයෙන් ගසා ගෙන විත් විඩූඩභ ඇතුළු සියලු දෙනා ම ගසාගෙන ගියා. ඔවුන් සියලු දෙනාම මරණයට පත් වුණා.
මේ අතිශයින්ම සංවේගජනක අනුවේදනීය කථාව අංග, මගධ, කාසි, කෝසල ආදී සියලු ජනපද වාසීන් තුළ මහා කම්පාවක් ඇති කළා. ඔවුන් දින ගණනාවක් කම්පාවෙන් සිටියේ. ශාක්‍ය වංශිකයන් මහ පොළොවෙන් සදහට ම අතුරුදහන් කරන්නට එකම එක පව්කාරයකු ගේ පවිටු සිතිවිල්ල ප්‍රමාණවත් වුණා.
භික්ෂූන් වහන්සේලා අතර ද මේ සංවේගජනක ප්‍රවෘත්තිය රැව් පිළිරැව් දුන්නා. විඩුඩභ මෙතරම් ශාක්‍යයන් මරලා තමන්ගේ මනෝ රථය මුදුන් පත් කරගන්නට නොහැකිවම මහා සාගරය දක්වා ගසා ගෙන ගොස් මාළුන් හට ආහාර බවට පත්වුණා කියා කථා බස් වන විට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ගාථා රත්නය යි.
මල් වලට ආසා කොට - මල් සොයා යන මිනිසා මල්ම සොයමින් ගොස් - එයම රැස් කරනා ලෙස කාමය ම පසුපස යන - එයට මත් වූ මිනිසා මාරයා රැගෙන යන්නේ - ඔහු නොසිතනා මොහොතේ නිදා සිටි ගම් වැසියන් - ගසා යන සැඩ පහර විලසින්
පින්වතුනේ, පින්වත් දරුවනේ, පංච කාම සැපයට ආශා කරනා පුද්ගලයා එය මයි සොය සොයා යන්නේ. මොනතරම් දේවල් ලැබුණත්, ඔහු සෑහීමකට පත් වෙන්නේ නෑ. දැසි දස්සන්, කෙත්වතු, යානවාහන. රන්රිදී මුතු මැණික් ආදී මොන තරම් දේවල් ලැබුණත් ඔහුගේ ආශාව ඉවරයක් වෙන්නෙ නෑ. මල්කාරයෙක් මේ ගසින් මල් නෙලනවා. ඊළඟට අනිත් ගසට යනවා. එතනින් මල් නෙලනවා. තව ගසකට යනවා. එතනින් මල් නෙලනවා. මේ විදිහටයි ඔහු දිගින් දිගට මල් තෙලන්නේ. සාමාන්‍ය මනුෂ්‍යයා කාම වස්තූන් රැස් කරන්නෙත් ඒ විදිහට යි. මේ තුළින් ඔහු ප්‍රමාදයට පත්වෙනවා. පින් පව් සොයන්නෙ නෑ. හොඳ නරක සොයන්නෙ නෑ. සාධාරණය සොයන්නෙ නෑ. අනුන් සතු දේවලුත් තමා සතු කරගන්න කල්පනා කරනවා. ඒ වෙනුවෙන් කේලාම් කියනවා. බොරු කියනවා, මායා දක්වනවා. අනුන්ව රවට්ටනවා. කුමන්ත්‍රණ කරනවා. ඒ සියල්ල තුළින් ඔවුන් රැස් කරගන්නේ පව්. අන්තිමේ දී
ඔහු මරණයට පත්වෙලා නිරයේ උපදිනවා. ගම් වැසියන් නිදා සිටිද්දී මහා සැඩ පහරක් ඇවිදින් ඒ සියලු දෙනා ම මුහුදට ගසාගෙන යනවා වගෙයි.
පින්වතුනේ, පින්වත් දරුවනේ. බුද්ධ කාලයේ පවා කෙලෙස් සහිත මිනිසුන් විසින් කරන ලද අපරාධවල කිසි අඩුවක් නැති බව මෙයින් පැහැදිලිව පෙනෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළ විට බොහෝ දෙනෙක් කාම වස්තූන් නිසා පව් කිරීම පිළිබඳව කළ කිරුණා. ඔවුන් ධර්මයේ හැසිරුණා. සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පත් වුණා. ඊර්ෂ්‍යායා, ක්‍රෝධ දුරු කොට ධාර්මික ජීවිත ඇති කරගන්නට මහන්සි ගත්තා .
අපට කරන්නට තිබෙන්නෙත් ඒ දෙයම තමයි. නැත්නම් මේ ලද මිනිස් ජීවිතය අවසන් වෙද්දී බොහෝ දෙනෙකුට උපදින්නට සිදු වෙන්නේ අපායේ තමයි. එම අනතුර තේරුම් නො ගත්තොත් දුර්ලභ මිනිසත් බවත්, ඒ වගේම දුර්ලභව මුණ ගැසුණු චතුරාර්ය සත්‍යය ධර්මයත් ධර්මයේ හැසිරෙන්නට ලැබුණු දුර්ලභ අවස්ථාවත් අපට මග හැරී යනවා. එහෙම සිදු වුණොත් තරම් අවාසනාවක්ද?