ජීවකට පිළිතුරු දීමේ කථා වස්තුව
"බුදුරජුන්ගේ ජීවිතය අසිරිමත්මයි...”
පින්වතුනේ, පින්වත් දරුවනේ, සම්බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතය හරිම අසිරිමත්. සාමාන්‍ය ලෝකයා කම්පනයට පත්කරවන කිසි දෙකින් උන්වහන්සේලාගේ සිත් කම්පා වෙන්නෙ නෑ. උන්වහන්සේලාට ඕනෑම ශාරීරික වේදනාවක් විඳ දරා ගන්න ශක්තිය තියෙනවා. ඒ වගේම ලෝකයේ කිසි කෙනෙකුට කිසිම උපක්‍රමයකින් උන්වහන්සේලාව විනාශ කරන්න බැහැ.
ඔබට මතක ඇති දේවදත්ත නම් වූ අසත්පුරුෂ පුද්ගලයා ගැන. ඔහු යශෝදරා කුමරියගේ අයියා වෙලා උපන්න කෙනෙක්. බුදු සසුනේ පැවිදිත් වුණා. ධ්‍යානත් උපදවා ගත්තා. ඉර්ධි බල දක්වන්නටත් දක්ෂ වුණා. කලක් යද්දි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට දේවදත්තගේ සිත යට වුණා. සංඝභේද කළා. බුදුරජාණන් වහන්සේව ඝාතනය කිරීමට නලාගිරි ඇතාට රා පොවලා එව්වා. බුදුරජාණන් වහන්සේව විනාශ කිරීමට දුනුවායන් යෙදෙව්වා. ඒ හැම දෙයක්ම අසාර්ථක වුණා. අන්තිමේදී මේ අසත්පුරුෂයා කල්පනා කළේ තමන්ගේ අතින්ම මහා කාරුණිකයන් වහන්සේව විනාශ කරන්නයි.
දවසක් බුදුරජාණන් වහන්සේ ගිජ්ඣකූට පර්වත පාමුල සක්මන් කරමින් වැඩ හිටියා. දේවදත්තයා හොරෙන්ම පර්වත මුදුනට නැග ගත්තා. ලොකු කළු ගලක් තල්ලු කරගෙන ආවා. හරියටම බුදුරජාණන් වහන්සේගේ හිස මත අතහරින්න ඕන කියලා අර කළු ගල බුදු සිරස මතට අත්හැරියා.
පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ අසත්පුරුෂයා හිතුවේ ඒක හරි ගියා කියලා. දේවදත්තයා හනිකට පැනලා දිව්වා. නමුත් හරිම අසිරිමත් දෙයක් සිදුවුණා. ඒ විශාල කළුගල බුදු සිරස මතට වැටෙද්දි වෙන ගලක් කන්දෙන් මතුවුණා. එතකොට අර ගල, ඒ ගලේ වැදිලා පැත්තකට විසි වුණා. පැත්තකට වීසි වෙලා වැටෙද්දී ගල් පතුරක් ගැලවී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ වැදුණා. උන්වහන්සේගේ සිරිපතුල තැළුණා, තුවාල වුණා, ලේ ආවා. දේවදත්තයා දුෂ්ට සිතින් බුදුරජුන්ගේ ලේ සෙලවීම නමැති ආනන්තරිය පාප කර්මය කරගත්තා.
භික්ෂූන් වහන්සේලා කලබලයට පත්වුණා. ඒ ඒ තැන් වලින් ඉක්මනින් දුවගෙන ආවා. බුදුරජාණන් වහන්සේව පල්ලැක් කියක වඩා හිඳුවාගෙන ගිජ්ඣකූට පර්වතයට පහළින් ඇති මද්දකුච්ඡ මිගදාය නම් විවේක සෙනසුනට වඩම්මවා ගෙන ගියා. බුදුරජාණන් වහන්සේගේ සිරි පතුලේ තැළුණු තැන ලේ කැටි ගැසුණා. රිදුම් දුන්හ. උන්වහන්සේ විවේකයෙන් යුතුව ශාන්තව වැඩහිටියා. හවස් වෙද්දි බුදුරජාණන් වහන්සේව ජීවක අඹ වනයට වඩම්මාගෙන ගියා. බුදුරජුන්ට අසනීප බව දැනගත් ජීවක වෛද්‍යවරයා වහා දුවගෙන ආවා. කැටි ගැසුණු ලේ ඉවත් වීම පිණිස බෙහෙත් ගල්වා උන්වහන්සේගේ මහපට ඇඟිල්ල සියුම් රෙදි පටකින් වෙලුවා.
"ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් ඔය කැටි ගැසුණු ලේ මොලොක් වෙලා ඉවත් වෙන්නයි බෙහෙත් බැන්දේ. හැබැයි ඇදුම්කන්න පුළුවනි. අනේ ස්වාමීනී, මා විසින් ඇතුළු නුවර එක්තරා මනුස්සයෙකුට හදිසි බෙහෙතක් කළා. මං හනික ගොහින් එන්නම්. මං එනකම් ඔය බැඳපු බෙහෙත ඔය විදිහටම තිබීමයි හොඳ.
ඉතින් ජීවක වෛද්‍යවරයා ඉක්මනින් අර පුද්ගලයා ළඟට ගියා. බෙහෙත් කළා. එන්න සූදානම් වෙලා පිටත් වුනා. එහෙත් එළියට යන්න කලින් ඇතුළු නුවර දොරටු වැහුනා. ජීවක වෛද්‍යවරයා කම්පාවට පත්වුණා. මහත් දුකට පත්වුණා.
"අයියෝ... මං බරපතල කටයුත්තක් කරලයි ආවේ... භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාදයේ ටිකක් සැර බේතක් බැන්දේ. දැන් ඒ බෙහෙත් වෙළුම ලිහන්න වෙලාව හරි. ඒක නොලිහා හිටියොත් මුළු රෑ පුරාම භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය රිදුම් දේවි” කියලා මහත් සංවේගයට පත් වුණා.
ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇමතුවා.
* පින්වත් ආනන්ද, ජීවක හවස් වෙලා පිටත් වෙද්දී ඇතුළු නුවර දොර වහලා. ඒ නිසා ඔහුට එන්න බැරිවුණා.
දැන් ඔහු කල්පනා කර කරයි ඉන්නේ, මේ තුවාලය වෙළුම ලිහන්න වෙලාව හරි කියලා. ඒ නිසා මේ වෙළුම ලිහා දමන්න.'
ආනන්දයන් වහන්සේ ඒ තැල්ම ඇති තැන බඳින ලද වෙළුම ලිහා දැම්මා. කැපූ අත්තකින් කිරි වැක්කෙරෙනවා වගේ තැලුණු ලේ ඉවත් වෙලා ගියා. පාන්දරින් ඇතුළු නුවර දොරටුව විවෘත වුණු ගමන් ජීවක දුවගෙන ආවා.
"ස්වාමිනි. භාග්‍යවතුන් වහන්ස, ශරීරයට සෑහෙන්න රිදුම් දෙන්න ඇති නේද?"
බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ජීවක
දිහා බලාගෙන හිටියා. මඳ සිනහවෙන් පිරුණු මුහුණින්
යුතු බුදුරජාණන් වහන්සේ ජීවකට මෙහෙම වදාළා.
' පින්වත් ජීවක, තථාගතයන් වහන්සේ ජීවිතයකට රිදුම් දෙන සෑම දෙයක්ම සංසිඳුවා දැම්මේ අද ඊයෙ නෙවෙයි. බෝ මුල වජිරාසනය මතදීයි."
මෙය වදාළ බුදු රජුන් ඉතා මධුර ස්වරයෙන් මෙම ගාථාව වදාළා.
90.1. ගතද්ධිනෝ විසෝකස්ස - විප්පමුත්තස්ස සබ්බධි
සබ්බ ගන්ථප්පහීණස්ස - පරිළාහෝ න විජ්ජති
සසරේ ඇවිදිලි නිම කළ කෙනෙකුට
සියලු සෝක හුල් දුරු කළ කෙනෙකුට
හැම කෙලෙසුන්ගෙන් නිදහස් කෙනෙකුට සියලු කෙලෙස් ගැට නැති කළ කෙනෙකුට කිසිදා රිදුමක් නැත හට ගන්නේ
පින්වතුනේ, පින්වත් දරුවනේ, සිත පහදවා ගන්න. බුදු කෙනෙක් උපදින්නේ කල්ප ගණනකින්. ඉතින් ඒ අතිදුර්ලභ වූ බුද්ධ රත්නය පහළ වූ විට නුවණැත්තන් කළ යුත්තේ සිත පහදවා ගැනීම නේද? පහන් සිතින් යුතු ඒ බුදුරජාණන් වහන්සේව සරණ යෑම නේද? ඒ උතුම් ධර්මය තේරුම් ගැනීමට මහන්සි ගැනීම නේද?