ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා

1. තිස්ස සන්නාලියාගේ කථාව

මෙසේ අසන්නට ලැබේ. සිංහල ද්වීපයේ අනුරාධපුරයෙහි තිස්ස නමැති සන්නාලියෙක් ඇඳුම් මැහීමේ කර්මාන්තයෙන් ජීවත් වෙයි. හෙතෙම තිසරණගතව පන්සිල් රකින්නෙකි, බුදු සස්නෙහි පැහැදුණු ශ්‍රද්ධා ඇත්තෙකි. තමාගේ ශරීරයේ දැලි නූලක් ගසා බෙදා වෙන් කොට " මාගේ සිරුරෙහි අඩක් මවුපියන්ට වේවා, අඩක් මට වේවා " යි කියා මැහීම කරයි. ඉර උදා වූ තැන් පටන් මධ්‍යාහ්න කාලය දක්වා වැඩ කොට යමක් ලබයි නම් එය භික්ෂු සංඝයාට දී මධ්‍යාහ්නයේ පටන් ඉර අවරවීම දක්වා යමක් ලබයි නම් එයින් මවුපියන් පෝෂණය කරයි.

හෙතෙම දිනපතා දන් දෙන්නේ ඇතැම්විට දස නමකට ද ඇතැම් විට විසිනමකට, තිස් නමකට, හතළිස් නමකට, පණස් නමකට, සියක් නමකට ද ඇතැම් විට ඊටත් වැඩි ගණනකට ද දන් දෙයි, සිවුරු ආදියත් දෙයි මෙසේ ජීවත් වෙන ඔහුට මවුපියෝ මෙසේ කියති. ඔබට විවාහයක් කර දෙන්නෙමු. එය ගිහි මිනිසුන්ගේ ධර්මතාවයකි. ඈ ඔබගේ ශරීරය පිළිදැගුම් කිරීම සඳහා වන්නීය. " වන්නෙකුට තිස්ස තෙමේ මෙසේ කියයි. මෑලා ධාර්මිකව ජීවත්

අන්තරාය කරන්නියෝය.

මගේ සිත දන් දීමෙහි හා සිල් රැකීමෙහි ඇලුණි. මට පවුල් වීමෙන් වැඩක් නැත. මේ ස්ත්‍රිය නම් හුලක් වැනිය, ඇලෙන ලාටුවක් වැනිය, මඩ ගොහොරුවක් වැනිය, (ශරීරයේ) ගෙඩියක් වැනිය. රෝගයක් වැනිය, දක්ෂ පුද්ගලයා අන්තරායකර වූ ඇය දුරු කරයි. ඇය මිනිසුන් අන්ධ කිරීමක් යයි ද ඇස් නැති කිරීමක් යයි ද අඥානයන් කිරීමක් යයි ද කියත්. ඇය නිසා ප්‍රඥාව නැති වේ. උගත් දෙය විනාශ වේ. ශීලය ද නැසේ. හිරි ඔතප් වැනසෙති. මිත්‍ර ධර්මය නොපිහිටයි ධ්‍යානලාබීව අභිඥාපස ලැබ අහසින් යෑමෙහි සමර්ථ වූ මහේසාක්‍යයෝ අල්පේසාක්‍යයෝ වෙති. කාමයන්හි දොස් දක්නා ඔවුහු ද අන්‍යයෝ ද, ජිවත්වෙනු කැමැත්තෙන් විෂ වර්ගයක් දුරු කරන්නා සේ, කාමයන් දුරු කළහ. ඇඳුම් පැලඳුම් ආහාරපාන විලවුන් ආදියෙහි ස්ත්‍රීන්ගේ තෘප්තියක් නැත. ඉදින් මට භාර්යාවක් වේ නම් දරුවෝ ද උපදින්නාහ. අමුදරුවන් නිසා ප්‍රමාද වන්නහුට කුසල් කිරීමට අවකාශ නැත.ඉදින් කුසල් කිරීම අත්හැර කාමයන්හි ප්‍රමාද වන්නේ නම් ඒ අඥාන පුද්ගලයා සද්ධර්මය හැර දමා පසුව තැවෙන්නේය.

මෙකී දේ අසා තිස්සගේ මවුපියවරු නිශ්ශබ්ද වුහ. හෙතෙම බිරියක් පාවා ගැනීම අත්හැර බ්‍රහ්ම චර්යාවෙහි හැසුරුණි. සිල්වත් වූ ඔහුගේ කීර්තිය '' අනුරාධපුරයේ තිස්ස තෙමේ ශ්‍රේෂ්ඨ සිල්වතෙකි; ශරීරය දෙකට බෙදාගෙන මවුපියන් පුදන්නෙකැ"යි පැතිර ගියේය.

එකල රහත් තෙරුන් තුසිත දෙව්ලොවට ගොස් ප්‍රමුඛ විමානයන් බලා දෙවියන්ගෙන් විචාළ විට '' මේ විමන් දෙක සද්ධාතිස්ස රජු සඳහාත් තිස්ස සන්නාලියා සඳහාත් මැවී තිබෙත් යයි කීහ. ඒ තෙරවරු අනුරාධපුරයට ඇවිත් ඒ කාරණය මිනිසුන්ට කීහ. මිනිසුන් සද්ධාතිස්ස රජුට දැන්නූ විට රජතුමා ඒ සන්නාලියා කැඳවා "තෝ මෙසේ මෙසේ කෙරෙහිදැ " යි ඇසී.

" එසේය දේවයන් වහන්සැයි '' යි කී විට " මට පින් කොටසක් දෙව" යි කීය. "දේවයන්වහන්ස, ඔබ වහන්සේට ද අන් හැම සත්ත්වයන්ට පින් දෙමි ' යි හෙතෙම කීය. රජතුමා ඔහුට හැම ද උපකරණයන්ගෙන් යුත් ගෙයක් සිය මාළිගය අසළින් දී වස්ත්‍ර සිවු පණස් දහසක් ද දහසක් අය උපදනා ගමක් ද දුණි. හෙතෙම මහා දානපතියෙක් විය. එතැන් පටන් භික්ෂූන්ට සිවුරු ආදිය දුර්ලභ නොවීය.

ඔහුගේ මරණ කාලයේදී බණ අසමින් සිටියදී මොනවාදෝ කී බැවින් " මේ තෙමේ ප්‍රලාප දොඩන්නේය" යි ඇතැම් කෙනෙක් කීය. එවිට තිස්ස තෙමේ මම ප්‍රලාප නොදොඩමි දේවතාවන් ඇවිත් මට ඉක්මන් කරන්ට කියන බැවින් මම ඔවුන්ට බණ අසන කල් බලාපොරොත්තු විය යුතු යයි කීවෙමි. තාම්‍රපර්ණි ද්වීපයෙහි යම් පමණ බුද්ධ ශ්‍රාවකයෝ වෙසෙත් නම් ඒ සියල්ලන්ට තුන් වරක් තුන් සිවුරු දුනිමි. දහස් වරක් පහන් දහස බැගින් දැල්ලුවෙමි. නොකල්හි ධර්ම දේශනා දහසක් කෙරෙව්වෙමි.


මී පැණි ගිතෙල් තල තෙල් පැණි හා ඖෂධ වර්ග නොයෙක් විට දෙන ලදී. ඒ නිසා මම කුමකට විලාප කියම්ද? බුදුන් දහම් සඟුන් යන ත්‍රිවිධ රත්නයන් සම්බන්ධ නොයෙක් කුසල් කෙළෙමි. ශාක්‍ය සිංහයන්ගේ සස්නෙහි නොයෙක් කුසල් කොට ප්‍රීති සොම්නස් ඇත්තේ වෙමි; මට තැති ගැනීමක් නැතැ යි කීය. දෙව් ලොවින් ආ උතුම් රථයෝ දැන් මා ඉදිරියෙහි වෙති. ඒ දෙව්ලෝ වලින් කුමක් යහපත්ද? රහතුන් වසන නගරයක් වැනි වූ තුසිත දෙව් ලොවෙහි නිතර ධර්ම කථා පැවැත්වෙති.


ඒ ඉතා යහපත් දෙව්ලොවැ අජිත නමින් පෙර විසූ මෙතේ බෝසත් ද වෙයි. මෙසේ සන්නාලි තෙමේ බුදු සස්නෙහි බොහෝ කුසල් කොට තුසිත දෙව් ලොවින් ආ රථයෙහි නැගී අහසින් ගියේය. මෙසේ යමෙක් අකුසල් දුරු කොට හැම කල්හි කුසල් කෙරේ නම් අපරිමිත සැප ලබා සුවසේ ලොව්තුරා සැපද ලබන්නේය.