පන්සියයක් තෙරුන් වහන්සේලාගේ කථා වස්තුව

"සත්‍යය දකින්නේ කවුද?"

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට එක එක දේවල් සිතෙනවා. එක එක දේවල් කතා බස් කරනවා. ලෝකය පිළිබඳ විවිධ තොරතුරු ලැබෙනවා. මහ මුහුද ගැන. ගලා බසිනා ගංඟා ගැන. ගැඹුරු වනාන්තර ගැන, ප්‍රපාත ගැන මහ පුදුම විස්තර අපට අසන්නට ලැබෙනවා. ඒවා අහන්න අහන්න අප පුදුමයට පත් වෙනවා. ඉතින් රසවත් කෑමක් ලැබුණා වගේ ඒවා ගැනමයි අසන්නට සිතෙන්නේ. මේ නිසා සමහරු මුළු ජීවිත කාලය ම බාහිර ලෝකය ගැන සොයන්නට මහන්සි වෙනවා.

සමහරු හිතන්නේ මෙහෙමයි. පොළොව කොයිතරම් විශාලද? මුහුද කොයිතරම් විශාල ද? මුහුද පතුලේ ගැඹුරුම තැනට මතුපිට සිට කොතරම් දුර ඇද්ද? දවසකට මහා සයුරේ රැලි කීයක් නැගෙනවා ද? මෙවැනි දේවල් ඉගෙන ගැනිල්ල මහා පුදුම දෙයක් හැටියට යි ලෝකයට පෙනෙන්නෙ.

සමහරු හිතන්නේ මෙහෙමයි. පරලොව තියෙනවා ද? අපාය තියෙනවාද? ඒක තියෙන්නේ කොහේද? එනකොට අපාය ගැන විස්තර දැන ගන්නේ කොහොමද?

අපට පෙරේත ලෝකේ පෙරේතයින් ව ෆොටෝ ගන්න බැරි ද? අපට භූත ලෝකය ගැන විස්තර දැනගන්න බැරි ද? එයාලා කන්නේ මොනවා ද? ඒ ලෝකයෙන් පෙම් හබ තියෙනවා ද? එයාලත් අපි වගේ යුද්ධ කරනවා ද? එයාලට සතුටක් නැද්ද ? ආදියයි.

තවත් සමහරු මෙහෙම හිතනවා. දිව්‍ය ලෝක තියෙනවාද? ඒවා තියෙන්නේ කොහේ ද? ශක්‍ර දෙවියන්ට පුතෙක් ඉන්නවාද? එයාගෙ නම වයිමාද? ඒක ඇත්ත ද? ඒවා කියන්නේ කොහොමද? දෙවිවරු දිව්‍ය සභාවල රැස්වෙනවා කියන්නේ ඇත්තක්ද? අපට දෙවියන් සමඟ කතා බස් කරන්නට බැරිද?

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔවැනි මාතෘකාවන් කතා කරන්නට ගියොත් අපට නොතේරීම කාලය ගෙවිලා යනවා. කිසි මහන්සියකුත් නැහැ. විනෝදයකුත් තියෙනවා. අපට හිතෙන්නෙ අපි ලෝකය ගැන වැඩිපුර ඉගෙන ගන්නවා කියලයි. අපේ දැනුම වැඩි වෙනවා කියලයි. ඒ නිසා මෙවැනි මාතෘකා වලින් නිදහස් ව කතා බස් කරන එක ලෙහෙසි වැඩක් නම් නො වෙයි. ඇතැම් විට මහණ වුණත් එවැනි කතා වලින් නිදහස් වෙන්න අමාරු යි.

ඒ දිනවල අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. ඔයාලා දන්නවා ඇති. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි තමයි වැඩි ම කාලයක් වස් වසා වැඩ සිටියේ. උන්වහන්සේ දහනව වතාවක් වස් වැසුවේ ඒ දෙව්රම් වෙහෙරේ මයි. බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩ සිටියේත් ඒ දෙව්රම් වෙහෙරේ ඒ කාලෙ දැන් වගේ නො වෙයි. මහණ වුණාටපස්සේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා යටතේ අවුරුදු පහක් පමණ ධර්මය ඉගෙන ගන්නවා. විනය ඉගෙන ගන්නවා.

ඒ ධර්ම විනයට අනුව ජීවිතය සකස් කරගන්න මහන්සි ගන්නවා. ඒ කාලෙ ධර්මය පොත්වල ලියලා තිබුණෙ නෑ. කටපාඩම් කිරීම තමයි තිබුණේ. අනික ඒ කාලෙ ජීවත් වුණ පින්වත් ජනතාවට හොඳ ස්මරණ ශක්තියක් තිබුණා. ඉක්මණින් වටහාගන්නට හැකියාවකුත් තිබුණා. අවබෝධ කිරීමේ හැකියාවකුත් තිබුණා. ඒ නිසයි. බොහෝ දෙනෙක් මාර්ග ඵල ලැබුවේ.

මූලික ධර්ම අධ්‍යාපනයෙන් පස්සේ භික්ෂූන් වහන්සේලා හුදෙකලාවේ බණ භාවනා කිරීම පිණිස කණ්ඩායම් වශයෙන් චාරිකාවේ වඩිනවා. එදා එසේ චාරිකාවේ වැඩිය භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් දෙව්රම් වෙහෙරට වැඩම කළා. ගමන් විඩාව සංසිඳුවා ගත් ඒ භික්ෂූන් වහන්සේලා මෙන්න මෙවැනි කතාවක් පටන් ගත්තා. "ආයුෂ්මතුන් වහන්ස, මහ පොළොව පිහිටා තියෙන හැටි හරි පුදුමයි නෙව. සමහර තැන්වල කඳු පන්ති පෝලිමට තියෙනවා. සමහර තැන්වල සමතලයි. ඒ වගේ ම මහ පොළොවට වඩා ජලය කොයිතරම් වැඩි ද? නෑ ආයුෂ්මතුනි. ඔයිට වඩා වැඩියි ආකාශය. ආකාශයට සම්බන්ධ වෙලා තියෙන්නෙ වායු තලයක්. ඒකත් පොළොව වගේ තමයි." "නෑ ආයුෂ්මතුනි, ඊට වඩා පුදුමයි අපාය. යම රජ්ජුරුවෝ ඒ ලෝකය පාලනය කරන්නේ." "නෑ ආයුෂ්මතුනි. පුදුම දෙය නම් දිව්‍ය ලෝකයයි. ශක්‍ර දෙවියන් තමයි චාතුම්මහා රාජික තාවතිංස යන දිව්‍ය ලෝක පාලනය කරන්නේ.හා.. හා... ඕව වැඩක් නැහැ. දැන් ඔබ වහන්සේලා වඩිද්දී කොයි පැත්තෙන් ද වැඩියේ?" "දකුණු ප්‍රදේශයට වෙන්නට නම් පාරේ බොරළු ගතිය වැඩියි. හැබැයි ටිකක් එහාට ගියා ම හොඳ කළු පසක් තියෙනවා. පොළොව සරුසාර යි. කලට වැසි වැස්සොත් සරුවට භෝග වැවෙනවා."

"ඒ වුණාට ආයුෂ්මතුනි, අසවල් පැත්තේ නම් කිසි ම සරුවක් නැහැ. ගස්කොළන් එච්චර උසට නැහැ. ගමනත් අපහසුයි. දූවිල්ල වැඩි යි." "නෑ ආයුෂ්මතුනි, ඔබ වහන්සේලා අසවල් දිශාවේ වැඩියේ නැද්ද? ඒ පැත්ත හරි ලස්සනයි නෙව. හිමිදිරි උදෑසන මීදුම බාලා පින්න වැටිලා තියෙන කොට හරි ම අගෙයි. වතුර ටික වුණත් ලස්සනයි." " අනේ ආයුෂ්මතුනි, එහෙම නම් අපි ඊළඟ වතාවේ චාරිකාවේ වඩිද්දී ඒ පැත්තට යමු."

පින්වතුනේ, පින්වත් දරුවනේ. ඒ ස්වාමීන් වහන්සේලාගේ කතාවට ඔවැනි දේවල් එකතු වෙද්දී ධර්මය අමතක වෙන අවස්ථාව වැඩි වුණා. බුදුරජාණන් වහන්සේට මෙම කතාව දිව්‍ය ශ්‍රවණයෙන් අසන්නට ලැබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා මහා රසවත් විදිහට මහ පොළොව ගැන. වෙනත් ලෝක ගැන කතා කර කර ඉන්න තැනට වැඩියා. "පින්වත් මහණෙනි, ඔබ ඔතරම් ප්‍රණීත විදිහට කුමක් ගැන ද කතා කරන්නේ ? '' ''

ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස අපි මේ මහ පොළොව ගැන කතා කළා. යම ලොව ගැන කතා කළා. දිව්‍ය ලෝක ගැන කතා කළා. අපි ඇවිදගෙන යද්දි මුණ ගැසුන විවිධ පරිසර ගැන කතා කළා. ආදී වශයෙන් ඒ භික්ෂූන් වහන්සේලා කිසිවක් සඟවා නො ගෙන ඇත්ත ම කිව්වා. එවේලෙහි මහා කරුණා ගුණැති බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන් මේ ගාථා රත්නයන් දෙක වදාළා.

1.කෝ ඉමං පඨවිං විජෙස්සති යම ලෝකඤ්ච ඉමං සදේවකං කෝ ධම්මපදං සුදේසිතං කුසලෝ පුප්ඵමිව පචෙස්සති

මෙලොව හා පරලොව - එලෙස දෙවියන් ඇති ලොව ඒ අයුරින්ම දැන ගෙන - ජය ලබන්නේ කවුරුද? ලස්සන මල් නෙලන - දක්ෂ මල්කරු විලසින සුදේසිත සදහම් පද පසක් කරගන්නෙ කවුරු ද?

2. සේඛෝ පඨවිං විජෙස්සති යම ලෝකඤ්ච ඉමං සදේවකං සේබෝ ධම්මපදං සුදේසිතං කුසලෝ පුප්ඵමිව පචෙස්සති

මෙලොව හා පරලොව - එලෙස දෙවියන් ඇති ලොව ඒ අයුරින්ම දැන ගෙන - ජය ලබයි හික්මෙන කෙනා ලස්සන මල් නෙලන - දක්ෂ මල් කරු විලසින සුදේසිත සදහම් පද - පසක් කරලයි හික්මෙන කෙනා

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ මේ ගාථා වලින් ඉතා ම අර්ථවත් විස්තරයක් කියා දෙනවා. ඒ කියන්නේ පළවෙනි ගාථාවෙන් කරන්නේ ප්‍රශ්න කීපයක් ඇසීමයි. මොනවා ද ඒ ප්‍රශ්න? මේ පොළොව අවබෝධ කරන්නේ කවුද? ඒ වගේ ම යම ලෝකය හෙවත් අපාය අවබෝධ කරන්නේ කවුද ? දිව්‍ය ලෝකය අවබෝධ කරන්නේ කවුද? ඒ වගේ ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පද දක්ෂ මල්කාරයෙක් ලස්සන මල් එකතු කරනවා වගේ එක් රැස් කරමින් නුවණින් දකින්නේ කවුද? කියල බලන්න කොයිතරම් ලස්සන ප්‍රශ්න කීපයක් ද මෙතන කියෙන්නේ. වර්තමානයේ ඔය ප්‍රශ්න ඇසුවොත් උත්තර දෙන එක ලෙහෙසි නෑ. ඒකට හේතුව දිව්‍ය ලෝක අපාය ආදිය අවබෝධ කරනවා තබා ඒ ගැන කිසිවක් ම දන්නෙ නෑ.

ඒ වගේ ම දක්ෂ මල් කාරයෙක් ලස්සන මල් එකතු කරනවා වගේ සුභාෂිත බුදු වදන් එකතු කරගෙන නුවණින් දකින්න දන්නෙත් නෑ. නමුත් එය කරන්නට පුළුවන් කෙනෙක් ලෝකයෙහි ඉන්නවා. ඒ කවුද කියන එක දෙවෙනි ගාථාවෙන් විස්තර වෙනවා.

දෙවෙනි ගාථාවේ තිබෙන්නේ පිළිතුරු යි. ඒ පිළිතුර තුළින් බුදුරජාණන් වහන්සේ ඒ සියලු ප්‍රශ්න විසඳාගත හැකි කෙනා මෙන් ම, අවබෝධය කරා යා හැකි කෙනාත් කවුදැයි කියා පෙන්වා දෙනවා. මේ ගාථාවේ විශේෂ පදයක් ඔබට හමුවෙනවා ඇති. එනම් 'සේ බෝ' යන වචනයයි. සේඛ කියන්නේ හික්මෙන තැනැත්තා කියන එකයි. හික්මෙන්නේ කොයි අයුරින්ද? ඔහු හික්මෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පෙන්වා දී ඇති ආකාරයට

ආර්ය අෂ්ටාංගික මාර්ගය පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨිය කියන්නේ ශ්‍රාවකයා තුළ බුදුරජාණන් වහන්සේ වදාළ දුක නම් වූ ආර්ය සත්‍යය ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. දුක හටගන්නට හේතු වූ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඒ දුක නිරුද්ධ වීම පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් තියෙනවා. දුක ඉබේ නිරුද්ධ වෙන්නෙ නෑ. ප්‍රාර්ථනා කොට නිරුද්ධ වෙන්නෙත් නෑ නමුත් එය නිරුද්ධ වෙන ක්‍රමයක් තියෙනවා. මාර්ගයක් තියෙනවා. වැඩ පිළිවෙළක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. එය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් ශ්‍රාවකයා තුළ පැහැදිලි අවබෝධයක් තියෙනවා නම් ඔහු සම්මා දිට්ඨියෙන් යුක්ත යි. ඔහුට තමයි සේඛ කියන්නේ.

ඉතින් ඒ ශ්‍රාවකයා ඒ තුළින් තමයි සෝවාන් මාර්ගයටත්, ඵලයටත් පත්වන්නේ. දිගින් දිගටම ධර්මයේම හැසිරෙන විට තව දුරටත් ඒ ආර්ය සත්‍යය පසක් වෙනවා. එවිට ක්‍රම ක්‍රමයෙන් සකදාගාමී මාර්ගය ප්‍රගුණ කරනවා. සකදාගාමී ඵලයට පත් වෙනවා. අනාගාමී මාර්ගය ප්‍රගුණ කරනවා. අනාගාමී ඵලයට පත් වෙනවා. අරහත් මාර්ගය ප්‍රගුණ කරනවා. මෙතෙක් දියුණු කරන වැඩපිළිවෙළ තුළ ශ්‍රාවකයා හික්මෙන නිසා සේඛ කියනවා.

අරහත් ඵලයට පත් වීමත් සමඟ හික්මෙන වැඩ පිළිවෙළ සම්පුර්ණ යි. හික්මිලා ඉවරයි. එතකොට කියන්නේ 'අසේඛ '' කියල යි. ඒ කියන්නේ හික්මෙන වැඩපිළිවෙළ සම්පූර්ණ කරගත් කෙනා කියලයි. තවදුරටත් හික්මෙන්නට දෙයක් නැති කෙනා කියලයි. එතෙක් අවස්ථාවන් වල දී හඳුන්වන්නේ සේඛ කියල යි. එතකොට බලන්න සේඛ කියන වචනයට මොන තරම් පුළුල් අර්ථයක් තියෙනවාද?

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, අන්න ඒ මාර්ග ඵල ලාභී ශ්‍රාවකයාට නම් මේ පොළොව ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. එතැන දී බුදුරජාණන් වහන්සේ පොළොව කියා වදාළේ පස් ගැන හෝ ජලය ගැන හෝ ගස් වැල් ගැන හෝ පර්යේෂණ කිරීම නොවෙයි. එතන දී උන්වහන්සේ වදාළේ මේ මහා පොළාව මත ජීවත් වෙන අප ගැන යි. සත්ත්වයා ගැනයි. පුද්ගලයා ගැන යි. ඒ කියන්නේ තමා ගැන යි. තමා ගැන අවබෝධ කරගත්තොත් ඔහු පොළොව ගැන අවබෝධ කළා වෙනවා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, කුමක් ද මේ පොළොව? එනම් දුක නම් වූ ආර්ය සත්‍යයයි. කුමක් ද මේ පොළොවට අයිති දේ? එනම්; ඉපදීමයි. ජරාවට පත් වීමයි. රෝග පීඩාවන් වැළඳීමයි. අප්‍රිය පුද්ගලයින් සහ අප්‍රිය දේවල් සමග එක්වන්නට සිදුවීම යි. ප්‍රිය පුද්ගලයන් ගෙන් හා ප්‍රිය දේවල් වලින් වෙන් වන්නට සිදුවීමයි. තමා කැමති දේ නොලැබීම යි. මේ සියල්ලට ම පදනම රූප, වේදනා, සඤ්ඤා, සංඛාර සහ විඤ්ඤාණ යන පඤ්ච උපාදානස්කන්ධයේ පැවැත්ම යි. මෙය ඒ අයුරින් ම අවබෝධ කළොත් මහ පොළොව අවබෝධ කළා වෙනවා. ඒ වගේ ම කර්මානුරූප ව මේ සත්ත්වයා නිරයේ යන ආකාරය අවබෝධ කළොත්, යම ලෝකය අවබෝධ කළා වෙනවා. ඒ වගේම කර්මානුරූප ව සත්ත්වයා දෙව් ලොව උපදින ආකාරය ගැන අවබෝධ කළොත්, දෙව් ලොව අවබෝධ කළා වෙනවා.

ඒ වගේ ම සතර සතිපට්ඨාන, සතර සම්‍යක් පධාන වීර්යය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන බෝධි පාක්ෂික ධර්ම තිස් හත පිළිබඳව හොඳින් ඉගෙන ගෙන ඒ උතුම් ධර්මයන් තමා තුළට පමුණුවා ගන්නට දක්ෂ වුණෝතින් ඔහු ලස්සන මල් එකතු කරන දක්ෂ මල්කාරයෙක් වගේ තමයි. ලෝකයේ තිබෙන ලස්සන මං ලස්සන දේ වන. ඉතාමත් ම සුන්දර දේ වන. මුල මැද අග සෑම තැන ම සුන්දර දේ වන, ඉතාමත් අර්ථවත් දේ වන, පැහැදිලි වචන වලින් යුක්ත දේ වන ඒ උතුම් සුභාෂිත දහම් පද ජිවිතයට රැස් කරගත් කෙනා බවට පත් වෙනවා.

බලන්න කොයිතරම් ලස්සන පිළිතුරක් ද, මේ පුංචි ගාථා දෙක තුළ ඇති පැහැදිලි අර්ථය හඳුනා ගන්නට ඒ භික්ෂූන් වහන්සේලා සමර්ථ වුණා. උන්වහන්සේලාට හොඳින් වැටහුණා. ඉතින් ඒ භික්ෂූන් වහන්සේලා අනවශ්‍ය කතා බහ නැවැත්තුවා. අනවශ්‍ය මාතෘකාවල් වල පැටලි පැටලි ගියේ නැහැ. අනවශ්‍ය වාද විවාද හදා ගත්තේ නැහැ. ඉතාම නිහතමානීව ධර්මයේ හැසිරුණා. ඇත්තෙන්ම උන්වහන්සේලා මේ පොළොව අවබෝධ කළා. යම ලෝකයත් අවබෝධ කළා. දෙව් ලොවත් අවබෝධ කළා. දක්ෂ මල්කාරයෝ බවට පත් වුණා. දක්ෂ මල්කාරයන්ටත් වඩා දක්ෂ වුණා. ලොව තිබෙන ලස්සනම දේ රැස් කළා. ඒ රැස් කළේ අතට නොවෙයි, හදවතට යි. ඒ නිසා ඒ භික්ෂූන් වහන්සේලා චතුරාර්ය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කළා. නිකෙලෙස් වුණා. රහතන් වහන්සේලා බවට පත්වුණා. ඒ කාලේ ජීවත් වුණ ශ්‍රාවකයින් මොන තරම් වාසනාවන්ත ද?