පතිපූජිකාවගේ කථා වස්තුව

'' ආශාව පසුපස ගියොත් මැරෙන්නට වෙන්නේ සෑහීමකට පත් ‍නො වීම යි.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කතාවත් හරි ම අගෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩ සිටිද්දි තමයි මෙය සිදු වුණේ.

තව්තිසා දෙව්ලොව මාලහාරී කියලා දිව්‍ය පුත්‍රයෙක් සිටියා. ඔහුට දිව්‍ය අප්සරාවන් දාහක් හිටියා. ඉතින් මාලකිරී දිව්‍ය පුත්‍රයා මේ දාහක් අප්සරාවන් පිරිවරාගෙන උද්‍යාන ක්‍රීඩාවට යනවා. එහිදී පන්සියයක් අප්සරාවන් මල් ගස්වලට නගිනවා. නැග මල් ගස් සොලවනවා. ඒ වැටෙන වැටෙන මල් අනික් අප්සරාවන් පන්සිය දෙනා ඇහිඳිනවා. ඉන්පසු ඒ මල් ගෙන අර දිව්‍ය පුත්‍රයා ව අලංකාර කරනවා.

දවසක් එක දෙව්දුවක් මල් ගසට නැඟ ඒ මල් ගසේ අත්තක් සොලවා සිටිද්දී එතන ම චුත වුණා. පහන් සිලක් නොපෙනී ගියා වගේ ඇය චුත වුණා. ඉතින් ඒ දෙව් දුව සැවැත් නුවර මිනිස් පවුලක ඉපදුණා. ඇය හරි ම ලස්සනයි. ඇයට කුඩා කාලයේ දී ම ඇගේ අතීත ජන්මය මතක් වුණා. " අනේ මං මාලභාරී කියන දිව්‍ය පුත්‍රයාට බිරිඳ වෙලා සිටිය කෙනෙක්. මට මේ මොකද වුණේ? '' කියල ඈ මිනිස් උපත ගැන කැමති වුණේ නෑ. ආයෙමත් ස්වාමියා ළඟම උපදින්නට ඕන කියල නිතර නිතර ප්‍රාර්ථනා කළා. මෙය ඉෂ්ට කරගන්නට පුළුවන් වන්නේ හොඳින් පින් කිරීමෙන් බව ඇය දැනගත්තා.

ඉතින් මේ දැරිය සොළොස් වස් වූ කළ විවාහ කොට දුන්නා. දැන් ඇය නිතර නිතර භික්ෂූන් වහන්සේලාට දන් දෙනවා. සෑම පින්කමක් ම කරලා ඇය කියන්නේ " මේ පින මට මා කලින් සිටිය ස්වාමියා ළඟම උපදින්නට උපකාරී වේවා ! " කියලයි. එනිසා ම ඇය චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නට උත්සාහ කළේ නෑ. දිව්‍ය කාම සැපයටම ආශා කර කර සිටියා. නමුත් හොඳට පින්කළා. භික්ෂූන් වහන්සේලා ඇගේ පතිභක්තිය දැක පතිපූජිකා කියන නම දැම්මා. ඊට පස්සේ ඇය ප්‍රසිද්ධ වුණේ ඒ නමින්

ඇය චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නට මහන්සි නොවුණාට ඉතාමත් ම ශ්‍රද්ධාවන්ත යි. ඇය විශේෂයෙන් ම කළේ දන්දීමයි. සිල් රැකීමයි. ඈට දරුවන් සතර දෙනෙක් ලැබුණා. කිසි කටයුත්තක් අතපසු නොකොට සෑම දෙයක්ම කරමින් නිතර දන් දුන්නා. ප්‍රණීත ව දන් දුන්නා. දාන ශාලා ඇමදීම, පැන් පෙරාගෙන පැමිණීම. ආසන පැණවීම ආදී සෑම දෙයක්ම ඇගේ අතින් ම කරනවා.

දිනක් ඈ දන් දී සිල් සමාදන් වී සතුටෙන් සිටිද්දී හදිස්සියේ ඇති වූ රෝගාබාධයකින් කළුරිය කළා. එසැණින් ඈ මාලහාරි දිව්‍ය පුත්‍රයා ළග ඉපදුණා. දිව්‍ය පුත්‍රයා ඇය දැක "භවතී. උදේ සිට මේ සවස් වන තුරු දැක්කෙ නෑ. කොහේ ද ගියේ ? '' '' ස්වාමීනී, මං චුත වුණා. ද චුත වුණා.... . . එසේය ස්වාමීනි " " ඉතින් මොක ද වුණේ ? " "ස්වාමිනී, මං මිනිස් ලෝකෙ උපන්නා. සැවැත් නුවර ගෙදරකයි ඉපදුණේ."

" ඉතින් එහෙ ඔයා කොච්චර කල් හිටිය ද?" "මව් කුසේ දස මාසයක් හිටියා. වයස දාසයේ දී විවාහ වුණා. දරුවො හතර දෙනෙකුත් ලැබුණා. මං හැබැයි ගොඩාක් පින් කර ගත්තා. ඊට පස්සේ තමයි ආයෙමත් මගේ දිව්‍ය පුත්‍රයා ළඟට මං ආවේ." " මනුෂ්‍යයින්ට ආයුෂ කොච්චරක් තියෙනව ද?" "අවුරුදු සීයයක් විතර තියෙනවා" "අපොයි! එච්චරක්ද?" "එසේය ස්වාමිනී." "ඉතින් එහෙම නම් මිනිස් ලොව ඉපදුන අය කෑමට, බීමට, නින්දට ද වැඩිය කාලය යොදන්නේ? එහෙම නැත්නම් දානාදී පින්කම් කරනවාද ?'' '' අනේ ස්වාමීනී, මොනවද මේ අහන්නේ ? මිනිස්සු හිතාගෙන ඉන්නේ අසංඛෙය්ය ගණන් ආයුෂ තියෙනවා කියලයි. උන්දැලා අජරාමර වෙලා කියල යි හිතාගෙන ඉන්නේ. කිසි ගාණක්වත් නෑ. "

එතකොට මාලාකාරී දිව්‍ය පුත්‍රයා මහා සංවේගයට පත් වුණා. "අනේ....අවුරුදු සියයක් ආයුෂ ඇතුව උපත ලබා මේ මිනිස්සු ලෞකික ජීවිතය ගැනම ප්‍රමාද වෙවී ඉන්නවා නම්, ඒ මිනිස්සු දුකින් මිදෙන්නේ කවදා ද?''" මිනිසුන්ගේ ආයුෂ අවුරුදු සියයක් තව්තිසාවේ එක දවසයි. එවැනි දවස් වලින් තිස් දවසක් මාසයයි. එවැනි මාස දොළහක් අවුරුද්දයි. එවැනි අවුරුදු දහසක ආයුෂ තව්තිසා දෙවියන්ට තියෙනවා. මිනිසුන්ගේ ආයුෂ වලින් ගත්තොත් අවුරුදු කෝටි හැට ලක්ෂයක් වෙනවා. එහේ දිව්‍ය පුත්‍රයෙකුගේ එක දවසක් ගෙවී යන්නටත් කලින් මිනිස් ලෝකෙ ආයුෂ ඉවර වෙලා යනවා.

භික්ෂූන් වහන්සේලා පසුවදා දානයට වඩිද්දී වෙනදා තරම් දාන ශාලාව ලස්සන නැහැ. හොඳින් අතුපතු ගාලත් නෑ. පිළිවෙළකට ආසන පනවලත් නෑ. පැන් පෙරළා ගෙනැවිල්ලත් නෑ. භික්ෂුන් වහන්සේලා විමසුවා. පතිපූජිකාව කොහෙවත් ගියා ද?" "ස්වාමීනී. ඔබ වහන්සේලා දැක්කෙ නැහැ නෙව. ඔබ වහන්සේලා දන් වළඳා වැඩියාට පස්සේ හවස් වරුවේ ඇය මිය ගියා.''

භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මෙම කරුණ විමසුවා. "ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, සංඝයාට ඉතාමත් ම හොඳින් ඇප උපස්ථාන කළ වත් පිළිවෙත් කළ පතිපූජිකාව මිය ගිහින්. ඈ කොහේ ද උපන්නේ? " " පින්වත් මහණෙනි. ඇය තමන් ගේ ස්වාමියා ළඟ නෙව ඉන්නේ " "අනේ ස්වාමිනී. පතිපූජිකාවගේ ස්වාමියා ළඟ අද ඇය නැහැ." "පින්වත් මහණෙනි, පතිපූජිකාව මේ ස්වාමියාව පැතුවෙ නෑ. ඇය පැතූ ස්වාමියා සිටියේ දෙව්ලොව යි. ඔහුගේ නම මාලහාරි. ඔහු සිටින තැන දිව්‍ය අප්සරාවන් මල් සරස සරසා ඉන්නේ. දැන් ඇය එතන මල් නෙලනවා." මෙසේ වදාළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉතාමත් මිහිරි ස්වරයෙන් මෙම ගාථාව වදාළා.

මල් වලට ආසා කොට - මල් සොයා යන මිනිසා මල් ම සොයමින් ගොස් - එය ම රැස් කරනා ලෙස කාමය ම පසුපස යන - එයට මත් වූ මිනිසා කිසිදින නො සෑහී - මාරයා වසඟයට යයි

පින්වතුනේ, පින්වත් දරුවනේ, මල් කාරයෙක් මල් රැස්කරනවා වගේ කම් සැපය ම සොයන කෙනා ඒ ගැනමයි කල්පනා කර කර ඉන්නේ. මල් කාරයත් එහෙමයි නෙ. ඔහු සිතන්නේ ලස්සන මල් එකතු කිරීම ගැන යි. එය මයි කල්පනා කර කර ඉන්නේ, රැස් කරන්නෙත් ඒවාමයි. කාමයට ඇළුණු මිනිසාත් ඒ ගැන මයි සිත සිතා ඉන්නේ. එයින් මයි තෘප්තියක් සොයන්නේ.නමුත් ඔහුට මොනවා තිබුණත් ඔහුගේ ආශාවේ ඉවරයක් නෑ. තෘප්තියට පත්වීමේ නිමාවක් නෑ. ඉතින් කාමයන්ට තෘප්තිමත් නොවීම.ඔහු මාරයාගේ වසඟයට පත් වෙනවා. මැරිලා යනවා.

මේ නිසා නුවණැති කෙනා කාමයන්ට මුළා නො වී පින් කරගන්නට මහන්සි විය යුතුයි. දන් දීම පුරුදු කළ යුතු යි. සිල් රැකීමත් පුරුදු කළ යුතුයි. භාවනා කිරීමත් පුරුදු කළ යුතුයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට ලැබුණොත් ඒ තැනැත්තාට නම් භය වෙන්නට කිසි දෙයක් නෑ. සතර අපායේ උපදින්නෙ නැහැ නෙව. සෝවාන් වුණ කෙනෙක් ඉපදුනොත් උපදින්නේ දෙව් ලොවත්, මනු ලොවත් විතරයි. එනිසා සෝවාන් වෙන්නට ලැබුණොත්, ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට ලැබුණොත් කොයි තරම් ලාභයක් ද?