සඟසතු දෙයෙහි ප්‍රමාදී වූ තෙරුන්ගේ කථාව
(මෙසේ අසන්ට ලැබේ) සුරට්ඨ ජනපදයෙහි සාහුථල පෙදෙසේ ආළාරබාල පටුනෙහි පෝරි මාසී ගංතෙර කොණ්ඩපුදි නම් විහාරයක් විය. ඒ විහාරයෙහි ප්‍රධාන තෙරනම අධිපතිකම නිසා ඒ විහාරය විෂම ලෙස පරිභෝග කෙළේය. ඔහු මරණාසන්න වූ විට දරුණු රෝගයක් හට ගත්තේය. වෙද්දු ඔහු පරීක්ෂා කොට බලා " මේ භික්ෂු නමට පැන් බීමට නොදෙව්. දුන්නොත් රෝගය වැඩෙන්නේය'' යි උපස්ථායකයන්ට කීහ. ඔවුහු යහපතැයි කියා තෙර නමට පැන් නුදුන්හ. රෑ මැදියමෙහි පැන් නොලබා පිපාසාවෙන් පීඩිත වූ හෙතෙම එය ඉවසිය නොහැකිව නැගිට තමාගේ ධමකරකය අතගා බැලීය. එය හිස් විය. කාමරයෙන් පිටතට අවුත් බොන පැන්කලය බැලීය.
එහි ද ජලය නොවීය. මහ පැන් කලය තිබෙන තැනට ගොස් බැලූ නමුත් එයද හිස් විය. ඉක්බිති ආරාමයේ පොකුණට ගොස් බැලූ නමුත් එය ද හිස් විය. ඉන්පසු පෝරිමාර්ඝ ගඟ කරා ගියේය. එය ද වියලී තිබුණි. හෙතෙම දිය නැති ගඟෙන් එතෙරට ගොස් මෙසේ සිතීය: " මාගේ අකුශල කර්මයෙන් සැමතැන දිය සිඳී ගියේය. ඒකාන්තයෙන් මම ප්‍රේත ලෝකයෙහි උපදින්නෙමි. මේ පෙර නිමිත්ත ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙනේ. රැය ඉක්මී කල්හි මා කියන කථාව භික්ෂුහු නොඅදහන්නාහ' යි සිතා තමාගේ නහනකඩ ගඟෙන් එගොඩ ගසක බැඳ තබා නැවත හැරී අවුත් කාමරයෙහි නිදා ගත්තේය.
රැය ඉක්මි කල්හි හෙතෙම භික්ෂුන් අමතා සිදු වූ සියල් කීවේය. ඇවැත්නි, මම රාත්‍රියෙහි පිපාසාවෙන් පීඩිත වූයෙම් ඉවසිය නොහැකිව ගෙයින් නික්ම ධම කරකය ( - පැන් පෙරා ගන්නා භාජනය) අතගා පැන් නොලැබුවෙමි. එසේම බොන පැන්සැළි ආදිය ද මහ පැන් සළිය ද මා ස්පර්ශ කළ කෙණෙහි හිස් බවට පැමිණියහ.කැපු අඳුන් පැහැති සිහිල්
නිර්මල ජලයෙන් පිරුණු විල ද හිස් විය. හැම කල්හි ගලා බස්නා පිරිසිදු දියැති වැලිතලා ඇති පෝරිමාසි ගගද හිස් විය. ඒ ගඟින් එතෙරට ගිය මම ගං ඉවුරෙහි සිටගෙන සංවේගයට පැමිණියේ මෙසේ සිතුවෙමි. අහෝ ! මා විසින් දුක් විපාක දෙන කර්මයක් කරන ලදී. ඒ පාපයාගේ විපාකය මා විසින් ප්‍රත්‍යක්ෂයෙන් දක්නා ලදී.
භික්ෂූහු මේ කීම විශ්වාස නොකළාහ. එවිට '' පරතෙර ගසක එල්ලූ නානකඩ ගෙනැවිත් සැක දුරු කරගනිව් " යයි රෝගී තෙර නම කීය.එතුමාගේ ඒ කීම අසා දක්ෂ වූ එක් භික්ෂු නමක් ඒ ගඟෙන් එතෙරට ගොස් නානකඩ ගෙනාවේය.එය දැක ඒ භික්ෂූහු සංවේගයට පත් වූහ. රෝගී භික්ෂු නම භික්ෂූන් ඒ මධ්‍යයෙහි මෙසේ කීය.මම අල්ප වූ හෝ බොහෝ වූ හෝ සංඝිකලාභය මා කැමති සේ යෙදෙව්වෙමි.මොහුට මෙතෙක් දෙව, අසවලාට මෙතෙක් දෙව, අසවලාට ටිකක් දෙව, බොහෝ දෙව. අසවලාට නොදෙවයි නියම කෙළෙමි.මෙසේ අධිපතිභාවය නිසා සහ සතු දෙය තමන් සතු දෙය මෙන් සලකා මා විසින් මගේ කැමැත්ත අනුව බෙදා දෙන ලදී.මා දැක ඔබ සියලු දෙන සඟ සතු දෙයට භය වෙත්වා. එසේ බියපත් වී බුදු සස්නෙහි අප්‍රමාදීව උත්සාහ කරව්.එසේ උත්සාහ කොට වීර්ය වඩා ධර්මප්‍රීති ඇති භික්ෂුවට ප්‍රිය වූ අමෘත පදය ලබා ගනිව්.මෙසේ හෙතෙම තමාගේ දුක භික්ෂූන්ට දැනුම් දී මියගොස් ප්‍රේත ලෝකයෙහි උපන්නේය.