සද්ධාතිස්ස මහරජුගේ කථාව

මෙසේ අසන්ට ලැබේ. යහපත් උතුම් දිවයිනක් වූ බොහෝ සත්පුරුෂයන්ට වාසස්ථාන වූ ඉතා සුභික්ෂ වූ සිංහලද්වීපයෙහි සද්ධාතිස්ස නම් රජෙක් රාජ්‍යය කරවීය. සිංහාසයන ගතව විවේකයට පැමිණ නීවරණයෙන් දුරු වූ සිතැති ඒ රජුට මෙවැනි සිතිවිල්ලක් පහළ විය බුදුරදුන් විසින් සංයුත්ත නිකායේ දේවතා ප්‍රශ්නයකදී පිරිසිදු දානය වර්ණනා කරමින් ඇතැම් කෙනෙක් විෂම චරිතයෙහි පිහිටා අනුන් කපා කොටා වධ දී සෝක උපදවා දන් දෙති;

දඬුවම් සහිත වූ හැඬු කඳුලෙන් යුත් ඒ දානය සම පැවැත්මෙහි පිහිටා දුන් දානය හා සම බවට නොපැමිණේ යයි දෙසන ලදී. මා උතුම් වූ පිරිසිදු වූ මහත් අනුහස් ඇති දානයක් දෙන්නෙම් නම්. විෂමදානය දුරු කොට සමාදානයක් දෙන්නෙම් නම්, බුදුන් විසින් පසස්නා ලද සිය කය වෙහෙසීමෙන් දානයක් දෙන්නෙම් නම් යෙහෙකැයි සිතා සියමෙහෙසිය අමතා සොඳුර දැන් ගස්‍ය කාලයයි; ඇති බැවින් බොහෝ දෙන තුමූම ගොයම් කැපීම කරත් මමත් කසාවත් හැඳගෙන දෑකැත්ත ගෙන ඇල්කෙත් වලට ගොස් ඇල්ගොයම් කපන්නෙමි.

ඒ වී ගෙනවුත් බත් සාදා ව්‍යඤජන සහිත කොට සංඝයාගෙන් ලබාගත් භික්ෂු නමකට දන් දෙන්නෙමි. ඉදින් සංඝයාට දෙන්නෙම් නම් ඒ දානය බුදුරදුන් විසින් වර්ණනා කරන ලදී. මම ඒ දානය දීම සඳහා බැලමෙහෙ කරන්නෙමි යි කීය. මෙසේ එම කාරණය දේවියට කියා රැයින්ම නැගිට පිටත ගොස් මහ මඟ සිටගෙන යන එන මිනිසුන්ගෙන් විචාළේය. මහ මග සිටි ඔහු දැක එක් ගෘහපතියෙක් සතුටු සිතින් ඔහු වෙත ගොස් මෙසේ විචාළේය. ඔබගේ අත් පා සිවු මැලි වෙත්, ශරීරය ද සුවසේ වැඩුණ කිථ මිත්‍රය ඔබ තනිව කුමකට මෙහි සිටිනෙහිද?

" මිත්‍රය, මම කම්කරුවෙක්මි : දවස් කුලියට වැඩ කරමි. එසේ කොට යමක් ලබන්නෙම් නම් එය ගෙන යමි '' යි රජ කීය. මා විසින් මෙවැනි කම්කරුවෙක් මින් පෙර නොදක්නා ලදී. මේ ශරීරය රජකම් කිරීමට සුදුසු ය. මෙය බැලමෙහෙ කිරීමට යෝග්‍ය නොවේ යයි කී ගෘහපතියා "කවරෙක් හෝ වේවා, කුඹුරක ගොයම් කපන්ට හැකිදැ' යි විචාළේය.

එසේය, හැකි යයි කී විට '' එහෙනම් යමු'' යි කියා ඔහු සමග ගොස් කුඹුර පෙන්වා මෙහි ගොයම් කපවයි කීය. එය පිළිගත් ශක්තිමත් රජ ශ්‍රද්ධාවෙන් යුක්තව දවස මුළුල්ලේ වැඩ කෙළේය. එයින් සතුටට පත් කුඹුරු හිමියා ඔබට යම් පමණ ගොයම් ගෙන යා හැකි නම් එපමණ ගත මැනවැයි කීය. රජතෙම මහත් ගොයම් මිටියක් බැඳ තබා රාත්‍රි කාලයෙහි රජගෙට ගෙන ගොස් එහි තැබීය.

රාජ දේවිය ඔහු උණු වතුරෙන් නාවා අත් පා මැඩීම කළාය. ඉක්බිති රජ හා දේවිය එක්වී ගොයම් මැඩ පිදුරු ඉවත දමා රජ තෙම දේවියට මෙසේ කීය. ''මේ ධාන්‍ය වලින් කළ යුතු දෙය කරනු මැනවි. රජගෙය තුළට කිසිවකුට පැමිණෙන්ට ඉඩ නොදෙව".ඕ තොමෝ යහපතැයි කියා රජුගේ කීම පිළිපදිමින් දහයියා හා කුඩු ආදිය ඉවත් කොට අතැම් සහල් විකුණා ඒ මුදලෙන් සකුරු ගිතෙල් කැවුම් ආදිය ගෙන එක් නමකට සෑහෙන දානයක්පිළියෙළ කොට රජුට දැන්වීය. රජතුමා දාසියක් අමතා '' තී වහා සංඝයා සමීපයට ගොස් සංඝයාගෙන් භික්ෂු නමක් ලබාගෙන එවයි " යි කීය.

පුවඟු දිවයින වැසි තිස්ස තෙර මේ කීම දිව කණින් අසා එක්තරා භික්ෂු නමක් අමතා "ඇවැත්නි, තොපගේ උපස්ථායක වූ සද්ධාතිස්ස මහරජ බැලමෙහෙ කොට එක් භික්ෂු නමකට දානය පිළියෙළ කරයි. හෙතෙම එය සංඝයාට දෙනු කැමතිව දැන් දාසිය විහාරයට පිටත් කෙළේය. ඒ දානය පිළියෙළ කළ රජු විසින් දුෂ්කර දෙයක් කරන ලදී. එය පෘථග්ජනයෙක් අනුභව නොකෙරේවා. ඔබ තාම්‍රපර්ණීයට ගොස් එහි අසුන්හලෙහි වැඩිමහලු පිළිවෙලින් සිටිනු මැනවි. ඔබට ඒ සිට්ටුව ලැබෙන්නේය" යි කීය. ඒ භික්ෂුනම " යහපති ස්වාමීනි" යි කියා අහසට නැග තාම්‍රපර්ණයෙහි බැස පාත්‍ර සිවුරු රැගෙන අසුන් හලට ගොස් වැඩිමහලු පිලිවෙළින් සිටියේය. රජුගේ දාසිය ආරාමයට ගොස් ආරාධනා පිළිගන්නා තෙරුන් වෙත පැමිණ කාරණය දැනුම් දී භික්ෂු නමක් ලබා ගෙන ආවේය. රජතුමාත් දේවියන් ඉදිරියට අවුත් වැඳ රජ තෙම පාත්‍රය ගෙන ඒ ආහාරයෙන් පාත්‍රය පුරවා පාත්‍රයට යටින් වස්ත්‍රයක් තබා අතිශය ගෞරව දක්වා භික්ෂුනමට ඒ පාත්‍රය දුනි. භික්ෂුනම පිණ්ඩපාතය රැගෙන මෙසේ කීය. '' මේ දානය සම්පූර්ණයි. ආසනයක් නොලබන්නා වූ මම කැමති තැනකට යන්නෙමි. මහරජ, අධික පැහැදීම නොකළ මැනවි, මධ්‍යස්ථ වෙව. අධික ප්‍රීතියෙන් යුත් සිත දරාගන්ට අපහසු වෙයි. ''

මෙසේ කියා ඒ භික්ෂුනම අහසෙහි පක්ෂියෙකු මෙන් ගමන් කොට ඒ දානය සංඝයාට පිළිගැන්වීය. ඒ ආහාරය දහ තුන්දහසක් භික්ෂූන්ට ප්‍රමාණවත් විය. දී ඉතිරි වූ දෙය ඒ භික්ෂුනම වැලඳී. රජ තෙම දක්ෂිණාර්හයන් ගේ ගුණය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක මහත් පැහැදීමක් ඇති කොට මානසික සැපයට පත්විය.

ඉක්බිති ඒ රජුගේ මරණාසන්න කාලය පැමිණි විට ධර්මකථිකයෝ " මහරජ, තමා කළ කුසල් සිහිපත් කිරීම මැනවැ " යි කීහ. රජතෙම මෙසේ කීය මා විසින් මිණි මුතු යෙදූ බොහෝ බුද්ධ රූපාදිය රනින් කරවන ලදී. ධර්මය කෙරෙහිත් සංඝයා කෙරෙහිත් මා කළ පින් විවිධාකාරය. තුදුස්වකදා ද පසළොස්වක් - අටවක් දිනයන්හිදී ද මා විසින් මනාසේ අටසිල් රකින ලදී. නමුත් මේ සියල්ල පරදවා එක් භික්ෂුනමකට දුන් දානය මට පෙනෙයි. මෙසේ නරශ්‍රේෂ්ඨ වූ රජතෙමේ දෙව් මිනිසුන් විසින් උසස් තැන තැබූ ආර්ය සංඝයා අතරෙහි වූ ආර්ය පුද්ගලයකුට දන් දී තුසිත භවයට ගියේය. ඒ රජ අප්‍රමේය වූ අනන්ත වූ සැපයක් ලැබුවේය. මේ මහාජනයාද ඒ රජු මෙන් ජරාමරණ නැති ක්ෂයවීම් නැති ශෝක නැති උතුම් සැපය ලබාවා.