ලෝහ භාජනයේ කථාව

(මෙසේ අසන්ට ලැබේ) ජනපදයන්ට මුදුන් මල් කඩක් වැනි වූ සූරට්ඨ ජනපදයෙහි උපසිංහ නම් විහාරයක් විය. ඒ විහාරයෙහි එක්තරා රහත්නමක් සංඝයාගේ ආහාර දමන ලෝහ භාජනය' දිනපතා පිදීය. පසුකලක තෙරනම පිරිනිවෙන්ට ලං වූයේ භික්ෂුන් රැස් කරවා රහත් බව ප්‍රකාශ කරමින් සිංහ නාදයක් කෙළේය." රත්නත්‍රයෙහි හෝ මාර්ග ප්‍රතිපදාවන්හි හෝ යමෙකුට සැකයක් තිබේ නම් මා විචාරනු මැනවැ'' යි එතුමා කීය.'' මාර්ග ප්‍රතිපදාදියෙහි අපට සැකයක්නැත.

එක් සැකයක් පමණක් අපට ඇත.ඔබවහන්සේ චෛත්‍යයකට බුදු පිළිමයකට හෝ සර්වඥ ධාතුවකට හෝ නොපුදා සංඝයාගේ ලොහො බඳුනට පූජා කරන සේක. එයට හේතුව කුමක්දැ" යි විචාළාහ.ඒ කීම ඇසු මනා සේ මිදුණු රහත්තම ඒ කාරණය හෙළි කරමින් මෙසේ කීයා පෙර මම ශ්‍රද්ධා නැති, පවට බිය නැති අනාර්යයෙක් වී ආරාමය බැලීම පිණිස උපසිංහ නම් විහාරයට පැමිණීයෙමි.

ඒ පර්වතයට නැගී දන් වළඳන ශාලාව වෙත ගියෙමි.එහි ගොස් සගසතු වූ ඒ ශාලාවෙහි වටකුරු වූ බබළන්නා වූ තලියක් දුටිමි.පවිටු සොරකම් ඇති ඒ මට ලොහොකැටයම් සහිත එය දුටු කෙණෙහි සොරකම් කරන සිතක් උපන්නේය.

එය සොරකමින් ගෙනයාම අපහසු සේ පෙනුණ බැවින් මහණ වී එය ගෙන යන්නෙමි යි සිතා ඒ සොර සිතින් පැවිදි වෙස් ගත්තෙමි. එසේ කොටත් එය ගෙනයන්ට අවකාශයක් නොලදිමි. මම ශ්‍රද්ධාවෙන් හෝ ප්‍රේමයෙන් උපසිංහ විහාරයට නොපැමිණියෙමි.

ලෝහ සහගත සිතින් ලෝහ භාජනය නිසා ආවෙමි.ඒ භාජනය ගෙන යනු කැමති පවිටු අදහස් ඇතිව සොරෙකු වූ මට දහම් හැදෑරීමට හෝ භාවනාවෙහි යෙදීමට සිතක් නොවීය. මෙසේ සැඟවී සිටි මා දුටු කාරුණික සිතැති මාගේ උපාධ්‍යාය තෙමේ මා කැඳවාගෙන සිය ලෙණට ගියේය.

එහි පැමිණි එතුමා අස්නක හිඳගෙන ක්‍රමයෙන් අවවාද කොට මා රහත් ඵලයට පැමිණ විය.මට බුදුන් කෙරෙහි හෝ ධර්මය කෙරෙහි හෝ සංඝයා කෙරෙහි හෝ භක්තියක් නොවීය. මේ ලෝහභාජනය නිසා පැවිදි වීමි.

මට ශීලයෙහි හෝ ධ්‍යාන භාවනාවෙහි හෝ සයනයෙහි හෝ වස්ත්‍රයෙහි හෝ ආහාරයෙහි හෝ භක්තියක් නොවීය. මේ ලෝහ භාජනය නිසා පැවිදි වීමි.එහෙයින් මම මේ ලොහො බඳුනට පූජා පවත්වමි. එය ගෙනයනු කැමතිව ආ මම ස්ථිර පිහිටීමකට පත්වීමි.

ලොහො බඳුන අරමුණු කොට මට මෙහි ඇලීමක් ඇති විය. මේ කාරණය සිහිපත් කරමින් මම මේ ලෝහ භාජනයට පිදුවෙමි.මෙසේ ආර්ය වූ ඒ පණ්ඩිත තෙමේ සියලු සැක දුරු කරවා ධර්ම ප්‍රීති ඇත්තන්ට ප්‍රිය වූ ධර්මය ප්‍රකාශ කොට පිරිනිවියේය.