කදිරවනයේ රේවත තෙරුන්ගේ කථා වස්තුව

"සැබැවින්ම සුන්දරයි රහතුන් වැඩ සිටින තැන...’

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාව හරි ලස්සනයි. සැරියුත් මහරහතන් වහන්සේගේ සහෝදරයෙකුගේ විස්තරයක් තමයි මෙයින් කියවෙන්නේ.

ඔබ දන්නවා සැරියුත් මහරහතන් වහන්සේගේ ගිහි කාලෙ නම් උපතිස්ස. නාලන්දාවේ වාසය කරපු ඉතාමත් ධනවත් වංශවත් බ්‍රාහ්මණ පවුලක්. පවුලෙ වැඩමලා තමයි උපතිස්ස. ගෞතම බුදු සසුනේ අග්‍රශ්‍රාවක බවට පත් ඒ උපතිස්සයන් ප්‍රසිද්ධ වුනේ සාරිපුත්ත යන නමින්. සාරිපුත්තයන් වහන්සේට චාලා, උපචාලා, සිසූපචාලා කියා සහෝදරියන් තිදෙනෙක් හිටියා. ඒ තිදෙනාම භික්ෂුණී සංඝයා අතර පැවිදි වුනා. ඒ වගේම සාරිපුත්තයන් වහන්සේට චුන්ද, උපසේන, රේවත නමින් සහෝදරයන් තිදෙනෙකුත් සිටියා. එයින් චුන්ද, උපසේන දෙදෙනා භික්ෂු සංඝයා අතර පැවිදි වුණා. රේවත කුමාරයා ඉතිරි වුණා.

එතකොට සැරියුත් තෙරුන් වහන්සේගේ මෑණියන් වන සාරි බ්‍රාහ්මණ තුමිය මෙහෙම කල්පනා කළා.

"මගේ ලොකු පුතා උපතිස්සයන් මේ සියලු ධන සම්පත් අත්හැර පැවිදි වුණා නෙව. මගේ දූලා තුන්දෙනත් පැවිදි වුණා. පුතාලා දෙන්නත් පැවිදි වුණා. යන්තම් ඉතිරි වෙලා ඉන්නේ මේ රේවත පුතා විතරයි. ඉතින් එයත් පැවිදි වුණොත් පරම්පරාගතව ලැබුණු මේ සා වස්තු සම්භාරයකට මොකද වෙන්නේ... විනාශ වෙලා යාවි. පරම්පරාවත් අහෝසි වෙලා යාවි. ඉක්මනින්ම මෙයාට කසාදයක් කරල දෙන්නයි තියෙන්නේ. "

ඉතින් සාරි බ්‍රාහ්මණතුමිය තම පුතා වන රේවත කුමාරයාට ගැලපෙන කුමරියක් සොයා දෙන්නට වෙහෙසුනා. නමුත් සසරේ ඇති භයානකකම ගැන සැරියුත් තෙරුන් වහන්සේ රේවත කුමාරයාට කියලයි තිබුනේ. ක්ෂණ සම්පත්තියේ දුර්ලභකමත් කියලයි තිබුනේ. කල්‍යාණ මිත්‍ර සම්පත්තියේ දුර්ලභකම ගැනත් කියලයි තිබුනේ. බුදු සසුනක පැවිදි වෙලා නිවන් අවබෝධ කරගැනීමේ දුර්ලභකම ගැනත් කියලයි තිබුනේ. ඒ නිසා රේවත කුමාරයාට විවාහ වෙන්න කිසිම ආශාවක් තිබුනේ නෑ. කුමාරයා සිත සිතා ඉන්නේ පැවිදි වීම ගැනයි. කුමාරයා ස්ථිරවම පැවිදි වෙන බව සාරිපුත්තයන් වහන්සේ දන්නවා. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියලා තිබුනේ.

"මගේ බාල සහෝදරයා රේවත කොයි මොහොතේ හරි මහණ කරන්න කියලා දුවගෙන ඇවිත් කියාවි. එතකොට දෙවරක් හිතන්න එපා ඉක්මනින්ම පැවිදි කරන්න. අපේ දෙමව්පියන්ට තේරෙන්නෙ නෑ. මං සියලු වගකීම් දරන්නම්."

සාරි බ්‍රාහ්මණ තුමිය මඟුල් කටයුතු සූදානම් කළා. දැන් මඟුල ජයට ගන්නයි සූදානම දෙපැත්තෙන්ම නෑදෑ මිත්‍රයන් රැස්වුනා. මනමාලිය ලස්සනට අන්දලා තිබුණා. ඇස් වල අඳුන් ගාලා, කොණ්ඩෙ මල් ගහලා, තොල් පාට කරලා, යටි පතුල් පාට කරලා, පාවල මිණිනු පුර බැඳලා අත්වල වළලු පුරෝලා, දිලිසෙන සාරියක් අන්දලා තිබුනා. රේවත කුමාරයාට රජ කුමාරයෙකුගේ වගේ

ලස්සන ඇඳුමක් අන්දලා තිබුණා. රන් නූලයෙන් කළ තලප්පාවක් හිසේ බැඳලා තිබුණා. මේ මඟුල් ජෝඩුවට නෑදෑයෝ ආශිර්වාද කළා.

"පුතේ.....දු.....ඔයාලට පේනවනේ මේ ආච්චියි, සියයි. ආච්චීට එකසිය දහයයි. සීයට එකසිය විස්සයි. මයාලටත් ඔය විදිහට දිගාසිරි ලැබේවා!"

එතකොට ආච්චියි, සීයයි ඉතාම අමාරුවෙන් වෙව්ල වෙව්ල හිටියා. රේවත කුමාරයත් ඒ ආච්චියි, සීයයි දිහා බලාගෙන හිටියා.

හනේ... හපොයි ! දිගාසිරි කියන්නේ මේකටද ? කටේ එක දතක් නෑ... කොණ්ඩෙ වේලිච්ච පොල් මුඩ්ඩක් වි....අත පය අව්වෙ දාලා වේලුණු උණ බට වගේ. කිඹුල් හමකවත් මෙච්චර රැලි නෑ... ඇඟ පුරා පැල්ලම් හැදියල්ලා... නියපොතු යටට ඇකිලිලා... ඇඟේ නහරවල් මතු වෙයල්ලා... ඇස් පෙනීම නෑ. කන් ඇසීම නෑ. වෙව්ල වෙව්ල ඉන්නේ... හයියෝ! මෙහෙම වෙන්න කියලද සෙත් පතන්නේ...... ආච්චිල, සීයල වෙලා ඉවර වෙන ජීවිතයක්ද මේ සරසල දෙන්න හදන්නේ...?

අපේ සාරිපුත්තයන් වහන්සේ වදාළේ සම්පූර්ණ ඇත්ත. ජරාවෙන් දිරාගෙන යන මේ ජිවිතය අපි මේ නොයන දේ අරටුව හොයාගෙන කෙසෙල් ගසක පතුරු ලෝනවා වගේ දෙයක්. මිරිඟුවකට රැවටිලා දුවනවා විහේ දෙයක්. මං මේකෙන් ගැලවෙන්නේ කොහොමද? ඇත්... සාරිපුත්තයන් වහන්ස, මට පිහිට වෙන්න...'' රේවත කුමාරයා බර කල්පනාවකට වැටුනා.මෙයින් නිදහස් වෙන්නේ කොහොමද කියලා හිතන්න පටන් ගත්තා. දැන් තියෙන්නේ මඟුල් ජෝඩුව පිටත් වෙන වෙලාවයි. ඒ දෙන්නම අශ්ව කරත්තේ නැගලා දැන් යනවා.

කැලෑබද ප්‍රදේශයක් හම්බ වුණා. පිටිපස්සෙන් සේනාවක් එන මේ මඟුල් පෙරහැරෙන් ගැලවෙන්න විදිහක් ගැන කල්පනා කරපු කුමාරයට හොඳ සිතුවිල්ලක් ආවා.

"අනේ... පොඩ්ඩකට නවත්වන්න..... මට මේ කරත්තෙන් බහින්න ඕන කරනවා... අනේ... මට බඩ රිදෙනවා... වැසිකිළි යන්න ඕන. ඒ නිසා පෙරහැරේ අනිත් පිරිස හිමින් හිමින් යන්න. අපි හිමිහිට එන්නම්.

අශ්ව කරත්තය නැවැත්තුවා. කුමාරයා බැස්සා. පිරිසට මෙහෙම කිව්වා. "මං ටික වෙලාවකින් එන්නම්. ඔයාලා කලබල නැතුව ඉන්න."

කුමාරයා කැලයට ඇතුළු වුණා. මිරිවැඩි සඟල විසි කළා. තලප්පාව වීසි කළා. කැලේ මැද්දෙන් එක පිම්මට දුවන්න පටන් ගත්තා. එක හුස්මට දුවන්න පටන් ගත්තා. වේගයෙන් දුවන්න පටන් ගත්තා. කුමාරයාගේ වාසනාව. අන්තිමට ගැඹුරු වනාන්තරයකටයි වැටුනේ. මේ වනාන්තරය මැද්දෙන් දුවද්දී එක වරම භික්ෂූන් වහන්සේ නමක් දැකගන්න ලැබුනා. කුමාරයා දුවගෙන ගිහින් ඒ භික්ෂූන් වහන්සේ ළඟ වැඳ වැටුනා.

" අනේ ස්වාමීනි, මාව මහණ කරන්න. " හා.. හා... ළමයා... කවුද ඔයා... ? රාජ කුමාරයෙක්ද? අමාත්‍ය පුත්‍රයෙක්ද ? මේ අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසිලා මොකද මේ කලබලෙන්..."

" අනේ... ස්වාමීනී, මං සාරිපුත්තයන් වහන්සේගේ බාල මල්ලී, මාව ඉක්මනට මහණ කරන්න. නැත්නම් මං අමාරුවේ වැටේවි!"

එතකොට භික්ෂූන් වහන්සේලාට සැරියුත් තෙරුන් වහන්සේගේ වචන මතක් වුණා. ඉක්මනින්ම අබරණ ආයිත්තම් අයින් කළා. පැවිදි කළා. සාරිපුත්ත මහ රහතන් වහන්සේට පණිවුඩයක් යැව්වා. ඒ වනයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලා විසින් රේවතයන් පැවිදි කළා කියලා.

එතකොට සැරියුත් මහරහතන් වහන්සේට තම සොයුරා බැලීමට යැමේ අවශ්‍යතාවයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලූ විට වදාළේ,

පින්වත් සාරිපුත්තය, ටිකක් ඉවසන්න. ඔය ගමනට මමත් එනවා" කියලයි.

රේවතයන් වහන්සේ මෙහෙම කල්පනා කළා. මං දිගටම මෙහෙ නැවතුනොත් නෑදෑයෝ මාව හොයාගෙන ඒවි. ඇවිදින් මට කරදර කරාවි. වැඩිකල් මෙහෙ ඉන්න හොඳ නෑ.

උන්වහන්සේ ධර්මය ඉගෙන ගෙන තිස් යොදුනක් ඈතට වැඩියා. ඒ වනාන්තරය පතොක් වනයක්. හරි දුෂ්කරයි. නමුත් උන්වහන්සේ ඒ පතොක් වනයට ගිහින් වස් සමාදන් වුණා. තෙමසක් වැනි සුළු කලක් ඇති ඒ වස් කාලය තුළ අරහත්වයට පත් වෙන්නට උන්වහන්සේට වාසනාව තිබුනා.

වස් සමය අවසන් වුණා. චාරිකාවේ වඩින කාලය පැමිණුනා. සාරිපුත්තයන් වහන්සේ ආයෙමත් තමන්ගේ සොහොයුරාණන් දකින ගමනට බුදුරජාණන් යාන්සේගෙන් අවසර ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ ගමනට එකතු වුණා.

ටික දුරක් වැඩිය විට එක්තරා දෙමං සන්ධියක් මුණ ගැසුනා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

" ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්මත් රේවතයන් වහන්සේ ළඟට යෑමට මනුෂ්‍ය වාසය සහිත වූ මේ පාරෙන් ගියොත් යොදුන් හැටක් දුරයි. නමුත් ස්වාමිනි. මේ වනාන්තරය මැද්දෙන් කෙළින් පාරක් තියෙනවා. අමනුෂ්‍යයන් අධිගෘහිතවයි ඉන්නේ. ඒ පාරෙ ගියොත් යොදුන් තිහයි. අපි යන්නේ කොයි පාරෙද?”

" පින්වත් ආනන්දයෙනි, අප සමඟ සීවලී ඇවිත් ඉන්නවද?" "එහෙමයි, ස්වාමිනී. ' " ඉදින් සීවලී ඇවිත් ඉන්නවා නම් අපි කෙළින් පාරෙ යමු.

ටික දුරක් වඩින විට එක එක යොදුනක් ගානෙ දෙවිවරුන් විසින් ආවාස, සක්මන් මළු, දාන ශාලා මවලා තිබුනා. ඒ දෙවිවරුන් දිව්‍ය ඉර්ධියෙන් ආහාර පාන සකස් කරලා අපගේ ආර්ය වූ සීවලී තෙරුන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියමින් ඒවා පිළිගන්වනවා. ඒ සීවලී මහරහතන් වහන්සේ තමන්ට ලැබෙන දන් පැන් බුදුන් ප්‍රමුඛ මහ සඟරුවනට පිළිගන්වනවා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඔයාලට මෙහෙම හිතෙන්න බැරි නෑ. ඇයි සීවලී මහ රහතන් වහන්සේට විතරක් දෙවිවරුන් සලකන්නේ... බුදුරජාණන් වහන්සේට පින් මදිද? ඒක එහෙම නෙවෙයි. සීවලී මහරහතන් වහන්සේ ලාභීන් අතුරෙන් අග්‍රයි. උන්වහන්සේ ඒ අග තනතුරු පතා ගෙනමයි පින් කරගෙන මෙතෙක් දුර සසරේ ආවේ. ඉතින් ඒ අග්‍ර ලාභී බව ඉස්මතු කරගෙන්න නමයි බුදුරජාණන් වහන්සේ මෙවැනි දේකට කටයුතු සැලැස්සුවේ.

ඒ තිස් යොදුන පුරාවට විපාක දුන්නේ සීවලී මහරහතන් වහන්සේගේ පිනයි. උන්වහන්සේගේ පිනෙන්මයි ඒ සෑම දෙයක්ම ලැබුනේ. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහ සඟරුවන වඩින බව රේවත ස්වාමීන් වහන්සේට සැල වුණා. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට අලංකාර ගන්ධ කුටියක් මැව්වා. ස්වාමීන් වහන්සේලා පන්සිය නමකට කුටි සෙනසුන් මැව්වා. සක්මන් මළු පන්සියයක් මැව්වා. පස් පියුමින් සුසැදි පොකුණු මැව්වා. මල්වතු, උයන් වතු මැව්වා. සිසිල් සෙවණ ඇති සුවිශාල රුක් පඳුරු මැව්වා. හැබැයි ඒ වැඩ සිටි කාලය තුළ බුදුන් ප්‍රමුඛ සඟරුවනට දන් පැන් ලැබුනේ සීවලී මහ රහතන් වහන්සේගේ පිනෙන්.

ඔය සහ පිරිස අතරේ මහලු වයසට ගොස් පැවිදි වූ භික්ෂූන් දෙනමක් හිටියා. ඔවුන් අර මහනෙල්, නෙළුම් පිපුණු නිල් පාට වතුර පිරුණු පොකුණ ළඟ ගස් සෙවණේ, සිනිඳු ගල් තලාවේ වාඩි වී විවේචනය කරන්න පටන් ගත්තා.

හරි වැඩක් නෙව... එතකොට මේ රේවත ස්ථවිරයන් මහණදම් පුරල නැද්ද? මෙහෙම කුටි හද නිදද ඉඳලා තියෙන්නේ? මේ වට සෑහෙන්න වියදම් යන්න ඇති. දායකයොත් උදව් කරන්න ඇත්තෙ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ මල්ලි කියල වෙන්න ඇති.....එතකොට සැරියුත් තෙරුන් වහන්සේත් අපිව ඔක්කොම කැඳවගෙන ආව මල්ලිගෙ වැඩ පෙන්නන්න වෙන්න ඇති... හනේ... සනිච්චං...!" බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් දෙනමගේ අසාධාරණ විවේචනය දිව කනින් අසා වදාළා.

උන්වහන්සේ යම්කිසි අධිෂ්ඨානයක් කළා. ආපසු වඩිද්දී ඒ දෙනමට වතුර ගෙනියන ලබු කැටේ අමතක වුණා. පය ගල්වන තෙල් ගුලාව අමතක වුණා. කටු ඇනෙනවාට දමන සෙරප්පු අමතක වුණා. ශාස්තෘන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ආපසු වඩින්න පිටත් වුණා. රේවත මහරහතන් වහන්සේ වැඩ සිටි අරණ්‍ය සීමාවට පසු කළ විට තම ඉර්ධි බලය අත්හැරියා. ඒ සමඟම අර විහාර කුටි, සක්මන් මළු, පැන් පොකුණු සියල්ල අතුරුදහන් වුනා. කටු පඳුරු වලින් ගහණ, වළගොඩැලි පිරුණු, රළු බොරළු පිරුණු පතොක් වනය දිස්වුණා. අර භික්ෂූන් දෙනමගේ අමතක වූ බඩුභාණ්ඩ පතොක් පඳුරු අස්සේ එල්ලෙමින් තිබුනා. ඒ භික්ෂූන් දෙනමට තමන්ගේ අමතක වූ බඩු මතක් වුනා. හනිකට ආපසු හැරී ආවා.

" අහෝ..! ආයුෂ්මතුනි, අපි වාඩි වී සිටිය අර සිනිඳු ගල්තලාව කෝ...? සෙවණ දුන් රුක් පඳුරු කෝ..? කුටි, සක්මන් මළු කෝ..? හපොයි...! හපොයි... ඇවිදින්නත් අමාරුයි නෙව.''

උන්වහන්සේලාට ලැජ්ජා හිතුනා. හොරෙන්ම ගිහින් බඩු මුට්ටු හොයා ගෙන ඉක්මනින් පැනගෙන දුවගෙන ආවා.

බුදු රජුන් ප්‍රමුඛ මහ සඟරුවන සීවලී මහ රහතුන්ගේ පුණ්‍යානුභාවයෙන් දෙවියන් විසින් පිළිගන්වන දන් පැන් වළඳමින් මාසයක් ඇතුළත ආපසු සැවැත් නුවරට වැඩියා. පූර්වාරාමයේ ආගන්තුක උපස්ථානය පිණිස පැමිණි විශාඛා මහෝපාසිකාව ඒ භික්ෂුන් වහන්සේලා දෙනමගෙන් ඇහුවා,

" පින්වත් ස්වාමින් වහන්ස, අපේ රේවත ස්වාමීන් වහන්සේ වැඩ සිටින තැන ලස්සනයිද?"

අනේ... පින්වත් උපාසිකාව, මතක් කරන්න එපා කටු පඳුරු වලින් ගහණ පතොක් වනයක් නෙව! මනුස්සයන්ට කෙසේ වෙතත් පෙරේතයින්ට නම් හොඳයි. අපි මේ කල්පනා කොලේ අපේ රේවතයන් වහන්සේ මොනවට ඔහොම දුක් විඳිනවද කියලයි.

නමුත් කලින් වැඩිය භික්ෂූන් වහන්සේලා වදාළේ වෙනින් දෙයක්.

හප්පේ...! පින්වත් උපාසිකාව, අපේ රේවතයන් වහන්සේගේ පුණ්‍ය මහිමය බලන්න එපායැ. අපි ඒ දවස් ටිකේ ගත කළේ දෙව්ලොවද කියලත් හිතෙනවා...ඒ තරම්ම ලස්සනයි... නොවැරදීම උන්වහන්සේගේ ඉර්ධි බලයෙන් තමයි එය කරන්න ඇත්තේ. මිනිස් අතකින් නම් එතරම් ලස්සනට හදන්න බෑ."

මෙ කරුණ විශාඛාව විසින් බුදුරජාණන් වහන්සේට සැල කළා.

"ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, එකම ස්ථානයක වැඩ සිටි භික්ෂූන් වහන්සේලා දෙවිදිහක කතාවක් කියනවා. මේකෙ තේරුම මොකක්ද? භික්ෂූන් දෙනමක් සියනවා පතොක් වනයලු. කටු ගොඩක්ඛු. වළගොඩැලි ගොඩක්ල. මිනිස් වාසයට සුදුසු නැතිලු. අනිත් ස්වාමීන් වහන්සේලා කියනවා දෙව්ලොව වගේලු. සුධර්මා නම් දිව්‍ය සභාව වගේලු. හරිම සුන්දරයිලු.”

"පින්වත් විශාඛා, රහතුන් වැඩ සිටින තැන ගමක් වුනත්, වනාන්තරයක් වුනත්, බෑවුමක් වුනත්, සමතලා කුළියක් වුනත්, ඒ හැම තැනම ලස්සනයි නෙව " කියලා බුදුරජාණන් වහන්සේ මධුර මනෝහර වූ කුරවික හඬින් සොඳුරු ගාථාව වදාළා.

ගාමේ වා යදි වා රද්දේ

නින්නේ වා යදි වා ථලේ

යත්ථා රහන්තෝ විහරන්ති තං භූමිං රාමණෙය්‍යකං ගමක හෝ සෙනසුනක හෝ වනයේ

බෑවුමක හෝ සමබිමක ඇති කුටියේ වැඩවසත් නම් එතැන රහතුන් සැබැවින්ම ලස්සනයි එය ලස්සනයි

පින්වතුනේ, පින්වත් දරුවනේ. ඒ කාලෙ මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව වැඩ සිටිද්දී අනුරපුර මහමෙව්නාව කොතරම් ලස්සනට තියෙන්න ඇද්ද. රුක් සෙවණ යට භාවනා කරනවා. තැන් තැන්වල ධර්ම සාකච්ඡා කරනවා. කුටිවල වත් පිළිවෙත් කරනවා. සමහර භික්ෂූන් වහන්සේලා ධර්ම විනය කට පාඩම් කරනවා. මොන තරම් ලස්සනට තියෙන්න ඇද්ද. මේ ලක්දිව බුද්ධ ශාසනයට පූජා කරන තරමට රජවරුන් තුළ ශ්‍රද්ධාව ඇති වුනේ ඒ රහතන් වහන්සේලා කෙරෙහි පැහැදීම නිසානේ. ඒ නිසා රහතුන් වැඩ සිටිය ඒ යුගය මොන තරම් සුන්දර වෙන්න ඇද්ද.