පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

සත්පුරුෂයෝ දුක සැප අභියස කම්පා නොවෙති.”

පින්වතුනේ, පින්වත් දරුවනේ, සමහරුන්ට රසවත් කෑමක් ලැබුණත් උහුලගන්න බෑ. මත් වෙනවා. ලස්සන ඇඳුමක් ලැබුණත් ආඩම්බර වෙනවා. ලස්සන වාහනයක් ගත්තත් හිතට ගන්නවා. දැන උගත්කමක් ඇතිවුණත් හිතට ගන්නවා. ටිකක් ප්‍රසිද්ධ වුණොත් හිතට ගන්නවා. කටහඬ ලස්සන නම් ආඩම්බර වෙනවා. එවැනි අය එදත් හිටියා.

වේරඤ්ජ කියලා බ්‍රාහ්මණ ගමක් තිබුණා. බුදුරජාණන් වහන්සේත් පන්සියයක් භික්ෂූන් සමඟ චාරිකාවේ වඩිද්දී වස් කාලය ළං වුණා. වස්සානය ළං චෙද්දී උන්වහන්සේ වැඩහිටියේ වේරඤ්ජ කියන ගමේ.

ඉතින් වේරඤ්ඤා ගමේ ගම් ප්‍රධානියාගේ නම වුණෙත් වේරඤ්ජ බ්‍රාහ්මණ කියලයි. මේ බමුණන්ට බුදුරජාණන් වහන්සේ ගැන ආරංචි වෙල තිබුණේ ඉතාම වැරදි, අභූත, අසත්‍ය කතන්දරයි. තරුණයන් මහණ කරලා පවුල් කඩා කප්පල් කරනවලු! අලුත බැඳපු පවුල්වල තරුණ සැමියන් බිරින්දෑවරුන් දාලා මහණ වෙනවලු හැම දෙනාම නිවනට ගෙනිහිල්ලා ලෝකය හිස් කරනවාලු! උපදින්න තියෙන අවස්ථාව නැති කරනවාලු' මෙවැනි කට කතා නිසා බමුණන් හිටියේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප හැදීමෙන් වේරඤ්ජ ගමට බුදුරජාණන් වහන්සේ වැඩිය වෙලාවෙදී වේරඤ්ජ බ්‍රාහ්මණයා ඇවිදින් ඒ කටකතාවල සත්‍ය අසත්‍ය බව විමසුවා. බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරු වලින් ඒ කටකතාවල් මුළුමනින්ම අසත්‍ය බව ඔහුට අවබෝධ වුණා. ඔහු පැහැදුණා. බුදුරජාණන් වහන්සේව සරණ ගියා.

වස් කාලය ළං වුණා. ඒ බ්‍රාහ්මණ ගමේ වස් වසන්න කියලා වේරඤ්ජ බ්‍රාහ්මණයා බුදුරජුන් ප්‍රමුඛ පන්සියයක් භික්ෂු සංඝයාට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ඒ ඇරයුම පිළිගත්තා. මේ තැනැත්තා ඉතාමත් සතුටින් තම නිවසට ගියා.හැබැයි හරි පුදුම දෙයක් වුණා. තමන් බුදුරජුන් ප්‍රමුඛ පන්සියයක් භික්ෂු සංඝයාට වස් වැසීමට ආරාධනා කළ බව මේ බ්‍රාහ්මණයාට මුළුමනින්ම අමතක වුණා. ඒ තුන් මාසය ගෙවෙන කම්ම අමතක වුණා. ඒ අමතක කිරීම කරන ලද්දේ මාරයා විසිනුයි. එතකොට අපට පේනවා බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිද්දී පවා උන්වහන්සේට හෝ භික්ෂු සංඝයාට හෝ ලැබෙන සිව්පස ලාභය පවා වළක් වන්නට මාරයා කටයුතු කොට තිබෙනවා.

ඒ කාලයේදීම අශ්ව වෙළෙඳුන් සමූහයක් ඒ ආසන්නයේම වස් කාලයේ නැවතී සිටියා. භික්ෂූන් වහන්සේලා එතැනට පිණ්ඩපාතයේ වැඩියා යව හාල් තමයි පාත්තරයට ලැබුණේ. ඒවා වතුරෙන් පොඟවා,වළඳන්නට සිදුවුණා. ආනන්ද ස්වාමීන් වහන්සේද යව හාල් වතුරෙන් පොඟවා ගලේ අඹරා මී පැණි සමඟ බුදුරජාණන් වහන්සේට පිළිගැන්නුවා.

ඒ වස් කාලයේදී මුගලන් මහ රහතන් වහන්සේ පවා වැඩහිටියේ වේරඤ්ජා ගමේමයි. ඉර්ධි බලය උපකාර කරගෙන වෙන ප්‍රදේශයකින් ප්‍රණීත දන් පැන් පිණ්ඩපාතය ගෙනැවිත් දීමට බුදුරජුන්ගෙන් අවසර ඉල්ලුවා. නමුත් උන්වහන්සේ වදාළේ මෙවැනි අවස්ථාවල පවා ඉවසීම පුරුදු කළ යුතු බවයි. ඒ භික්ෂූන් වහන්සේලාගේ උතුම් ධර්මයේ හැසිරීම කඩාකප්පල් කිරීමටයි මාරයාට ඕනකම තිබුණේ. නමුත් බුදුරජුන්ගේ උපදෙස් නිසා එය අසාර්ථක වුණා.

වස් කාලය අවසන් වුණා. චාරිකාවේ වඩින්න කල් පැමිණුනා. සිරිතක් හැටියට වස් වසන්න ඇරයුම් කළ දායක පින්වතාට දැන්වීම යුතුකමක්. ඒ අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා වේරඤ්ජ බ්‍රාහ්මණයා මුණගැසුණා. එතකොටයි බ්‍රාහ්මණයාට මතක් වුණේ. ඔහු කම්පා වුණා. බලවත්ව කම්පා වුණා. බුදුරජාණන් වහන්සේ ඔහුගේ සිත සැනසුවා, ඊට පස්සේ ඔහු ප්‍රණීතව දන් පැන් සූදානම් කොට බුදුන් ප්‍රමුඛ සංඝයාට පූජා කළා.

බුදුරජාණන් වහන්සේ සඟ පිරිස පිළිවෙළින් සැවැත් නුවරට වැඩියා, වස් කාලය තුළ මුහුණ දුන් අහේනිය ගැන සැවැත් නුවර සැදැහැවතුන් මහත් කම්පාවට පත්වුණා. ඔවුන් ඉතාමත් ප්‍රණීත ලෙස දන් පැන් පිළියෙල කොට වුවමනාවටත් වඩා සංඝයාට පූජා කළා.

භික්ෂූන් වහන්සේලා දන් වළඳා අවසන් වූ විට ඉතිරි වන ඉඳුල් බත් කන පිරිසකුත් සැවැත් නුවර වාසය ඒ ඉඳුල් බත් කන පිරිස එදා වේරඤ්ජ ගමේ සිට ආපු පිරිසක්. තුන් මසක් මුළුල්ලේ ඔවුන්ට හරි කෑමක් ලැබුණෙ නැති නිසා සැවැත් නුවරදී ලැබෙන ප්‍රණීත ආහාර පාන වලින් ඔවුන් මත් වුණා. ඒ ඉතුරු වෙන දානය බඩපිරෙනකම් අනුභව කරනවා. ඉන්පස්සේ තැන් තැන්වලට ගිහින් බුදියනවා. ඉන්පස්සේ ගඟ අයිනට යනවා. ගිහින් කණ්ඩායම් හැදිලා ගුස්ති අල්ලනවා. හූ කියමින් කෑ ගහනවා. ඔට්ටු සෙල්ලම් කරනවා. හොරා පොලිස් කරනවා. හරියට කෑ කොස්සන් ගහනවා.මෙය දුටු භික්ෂූන් වහන්සේලාට මොවුන් කෙරෙහි මහා අනුකම්පාවක් ඇති වුණා.

අනේ බලන්න ඇවැත්නි, අපේ පන්සීයක් භික්ෂූන් වහන්සේලා කිසිම දානමානයක් නැතුව වේරඤ්ජාවේ ඉතාම නිශ්ශබ්දව වැඩ සිටියා. මෙහෙ වැඩියට පස්සෙත් මෙතරම් ප්‍රණීත දානමාන ලැබිලත් ඒ නිහඬ බවින්ම වැඩ ඉන්නවා. මේ කොළු ගැටව් එහෙම නෙවෙයි. වේරඤ්ජාවෙ ඉන්දැද්දී පූස් පැටව් වගේ හිටියා. ඉන්නවද කියලා හොයා ගන්න බෑ. දැන් මේ බත් පොඩ්ඩක් කාලා සැවැත් නුවර එක දෙක කරනවා. හරිම පුදුමයි.”

මෙය බුදුරජාණන් වහන්සේට දැනගන්නට ලැබුණා. උන්වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, ඒක සසර පුරුද්දක්. ඔය කොලු පැටව් එක කාලෙක පන්සීයක් බූරුවො වෙලා ඉපදිලා හිටියා. ඒ කාලෙත් ආජානීය වර්ගයේ හොඳම අශ්වයන් පන්සීයකුත් හිටියා.

ඉතින් එක දවසක් ඒ ආජානීය අශ්වයන්ට දියමුසු නැති මිදි යුෂ බොන්න ලැබුණා. මිදි රොඩු ටික ඉතිරි වුණා. සේවකයෝ ඇහුවා 'රොඩු වලට මොකද කරන්නේ කියලා. එහෙම නම් ඔය මිදි රොඩු ටික වතුරෙ දාලා කලම්බලා බූරුවන්ට දෙන්න' කිව්වා. බූරුවො ටික අර මිදි රොඩු හෝදපු වතුර ටික බීලා මහා ප්‍රණීත මිදි යුෂ බිව්වට වඩා මත්වෙලා පළාත දෙවනත් කරගෙන කෑ ගැහුවා.

මේකත් ඒ වගේ දෙයක්. පින්වත් මහණෙනි. සත්පුරුෂයන් සැප විඳින කාලයේදීත් හැලහොල්මනක් නැතුව, කලබලයක් නැතුව ශාන්තව ඉන්නවා. දුක් විඳින කාලෙදිත් ශාන්තව ඉන්නවා. කලබලයට යන්නෙ නෑ කියලා බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව වදාළා.

83.8. සබ්බත්ථ වේ සප්පුරිසා ජන්ති න කාමකාමා ලපයන්ති සන්තෝ සුඛේන ඵුට්ඨා අථ වා දුඛේන

නෝච්චාවචං පණ්ඩිතා දස්සයන්ති

සැබැවින්ම සත්පුරුෂ උතුමෝ හැම දෙයට ඇති ඇල්ම දුරලත් සංසිඳුණ සිත් තිබෙන උතුමෝ ආස දෙයකට වචන නොකියත් නුවණ ඇති සත්පුරුෂ උතුමෝ සැප දුකෙන් එන පහස ලද විට උස් පහත් වෙන ගතිය දුරලා ශාන්තව වැඩ වෙසෙති තුටිනා

පින්වතුනේ, පින්වත් දරුවනේ, නුවණැති සත්පුරුෂයන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන හැම දෙයක් කෙරෙහිම ගැන ඇති ආශාව දුරු කරන්නේ අවබෝධයෙන්මයි. එනිසාම හිතේ එක ආශාවක් තියාගෙන කටින් වෙන එකක් කියන්නේ නෑ. දායකයන්ගේ ළමයි වඩාගන්න යන්නෙ නෑ. දායකයන් හඬන විට ඔවුන් හඬන්න යන්නෙ නෑ. දායකයන් හිනැහෙන විට ඔවුන් හිනැහෙන්න යන්නෙ නෑ. දායකයන්ගෙන් යම් යම් දේ ලැබීමේ ආශාවෙන් චාටු බස් කියන්න යන්නෙ නෑ. එනිසා දුකක් ලැබුණත්, සැපක් ලැබුණත් ඉවසගෙන ඉන්න ඒ නැණවතුන්ට පුළුවන්. දුක සැප අභියස කම්පා නොවෙන කෙනෙක් වෙන්න ඇත්නම් කොතරම් අගේද