භාණ්ඩාගාරික තිස්ස ඇමතිගේ කථාව
අතීත කාලයෙහි හෙළදිව රම්‍ය වූ අනුරාධපුරයෙහි ධනයෙන් ආඪ්‍ය වූ පවුලක් විය. ඒ පවුලෙහි මහත් බලැති පුත්‍රයෝ සත් දෙනෙක් ද එක් දුවක් දැයි දරුවෝ අට දෙනෙක් වූහ. දුභිභයාදී භය තුනක් හටගත් කල්හි ඒ පවුලේ මවුපිය දෙදෙනද මිත්‍රයෝ ද අඳුනන්නෝ ද පරලොව ගියහ. ගෝපනය කළ සිතැති ප්‍රියශීලි වූ එක් තෙර නමක් නිතර ඒ පවුල වෙත අවුත් දන් වැලඳී.ඒ කුලය ඒ තෙරුන්ට බොහෝ කලක් සංග්‍රහ කෙළේය. කාල විපත්තිය නිසා රෝග - දුර්භික්ෂාදි භය තුනක් හටගත් විට සැට යොදුන් දිගැති මේ සිංහල ද්වීපය බොහෝ සේ පීඩිත විය.
රටේ මිනිසුන් වෙත තිබුණු ධාන්‍ය අවසන් වූ විට ඔවුහු ආහාර සොයමින් කඳුරටට ගියහ. යට කී පවුලේ දරුවෝ අටදෙන ද සාගතයෙන් පීඩිත වූවාහු තෙරුන් පෙරටු කොටගෙන මහ වනයට පිවිසියහ. එහි ගොස් ශාලාවක් සාදා තෙරුන්ගේ වාසයට දී තුමූ ගස්මුල් වල විසූහ.වනයෙහි මුල් ගෙඩි ආදිය සොයා ගෙනවුත් පළමු කොට තෙරුන්ට දී පසුව ඔවුහු අනුභව කළහ.
මෙසේ වසන ඔවුන්ට අවුරුදු දොළසක් ගතවිය. ඔවුන්ගේ ආහාරය අල ගෙඩි ආදියක් විය. දිරාගිය වැරහැලි ඇඳගෙන උන්හ.දික්වූ නියපොතු ද ලොම් ද ඇති, කෙට්ටු වූ සුදුමැලි වූ සිරුරු ඇති ඔවුහු ප්‍රේතයන් මෙන් භයානක ව පෙනුණාහ.එක්තරා මිනිසෙක් එහි ගොස් ඇවිදිනේ. ප්‍රේතයන් වැනි මොවුන් දැක බියපත්ව තමාගේ වස්ත්‍රයද බිම දමා දිව්වේය. ඔවුන් ඒ වස්ත්‍රය ගෙන " කඩමාලු හැඳගත් නොවැසුණු ශරීර ඇති ස්ත්‍රිය නොහොබනේය'' යි කියා සිය සොහොයුරියට දුන්හ.ඇය එය හැඳගෙන ගෙයි සිටින විට තෙරනම පිඬු පිණිස අවුත් ගෙය ඉදිරියෙහි සිටියේය.
තෙරුන් දුටු ඒ තරුණිය නැවත කඩමාලු හැඳගෙන ඒ අලුත් වස්ත්‍රය තෙරුන්ට දුණි.එය දී සොහොයුරන්ගේ තර්ජනයට බියෙන් ගෙයින් පිට වී ගොස් පඳුරු අතරෙහි සැඟවී සිටියාය තෙරනම ඒ වස්ත්‍රයෙන් සිවුරක් කොට එය හැඳගෙන මෙසේ කල්පනා කළේය: වනය මැද වසන දිළිඳු උපන් මේ දැරිය අද සොහොයුරන්ටත් නොකියා දුෂ්කර දෙයක් කළාය.පෘතග්ජන වූ මා විසින් මේ වස්ත්‍රය පරිභෝග නොකළ යුතුයි. ආශ්රවක්ෂයට නොපැමිණි මම මේ ආසනයෙන් නොනැගිටින්නෙමි " යි, මෙසේ සිතූ ඒ තෙරනම තමාගේ ශීල ශුද්ධිය බලා පිරිසිදු සිල් ඇති බව දැක බවුන් වඩා රහත් විය.
සක්දෙව් රජ මේ කාරණය දැක මනොඥ වූ දිව්‍ය වස්ත්‍රයක් පසුම්බියක දමා ගෙනවුත් එය ඈ නිදන තැන හිස පැත්තේ තබා හැරි ගියේය.නැගණිය නොදක්නා ඒ සොහොයුරෝ ඒ මේ අත ඇවිද පඳුරු අතරේ සිටි ඇය සොයා ගත්හ.එවිට ඔවුහු " නැගණියෙනි. කුමකට භය වූවාද? සැඟවුනේ කුමකට දැ' යි ඇසූහ.ඈ නිදාගත් තැනින් නැගිට සිදුවූ සියල්ල සිය සොහොයුරන්ට විස්තර ලෙස කීය.එයසා සතුටු සිතැති ඒ සියලු දෙන සාධුකාර දී ඒ පසුම්බිය දැක එය කුමක්දැයි විමසා බැලූහ. එය ලිහා බැලූ ඔවුන්ට වස්ත්‍රයක් දකින්ට ලැබී එය ඈ අතට දුන්හ. එය ඈට ලැබුනු පසු ඒ වස්ත්‍රය ක්ෂය නොවන්නක් යයි ඕ දැනගති.
එවිට සතුටට පත් සොහොයුරෝ "එය කවුරුන් දෙන ලද්දක් ද? මේ පසුම්බිය කොහෙන් ලැබුණා දැයි ඇගෙන් විමසූහ. '' තෙරුන්ට වස්ත්‍රය දී මම බියපත්ව නිදාගත්තෙමි, දැන් මම මෙය දකිමි. මාගේ කීම පිළිගත මැනවැ'යි ඕ කීය.''සොඳුර, ඒකාන්තයෙන්ම මෙය දෙවියන් විසින් දෙන ලද්දකි. මෙය තී දුන් දානයේ මෙලොව විපාකයකි. ඔවුහු තෙරුන්ට තුන් සිවුරු පිණිස එයින් වස්ත්‍ර දී තුමුද ඒ කඩමාලු ඉවත දමා දිව්‍ය වස්ත්‍ර ඇඳ ගත්හි මෙසේ දිව්‍ය වස්ත්‍ර හැඳගත් ඒ අටදෙන තෙරුන් ඉදිරි කොට ගෙන නගරයෙහි වූ තමන්ගේ ගෙය කරා ආහ.
මේ දුර්භික්ෂ කාලයේදී ම එක් භික්ෂුනමක් මුළු අනුරාධපුරයෙහි ඇවිද කිසි අහරක් නොලද්දේය.තිස්ස නැමැති තරුණයෙක් ඒ භික්ෂු නම දැක තමාගේ ගෙට දුවගොස් සොහොයුරිය අමතා ' ඉදින් මේ ගෙයි කැඳ බත් ආදි යම් කිසිවක් ඇත්නම් වහා සොයා ගෙනෙව; මම කාල දානයක් දෙන්නෙමි''යි කීය.
"සොහොයුර, දහසක් වටිනා මැණිකක් මිස අන්කිසි ආහාරයක් මේ ගෙයි නැතැ " යි තරුණිය කීය.පින් කැමති ඒ තරුණයා දහසක් වටිනා ඒ මැණික ගෙන ගෙයින් ගෙයට ගොස් යම්කිසි ආහාරයක් ලබා ගෙනවුත් එය ඒ භික්ෂුවට පිළිගැන්වීය.ඒ භික්ෂාව පිළිගත් වැඩූ ශ්‍රද්ධාදි ඉන්ද්රියයන් ඇති ඒ භික්ෂුනම ඒ ආහාරය වලඳන්ට පෙරම උත්සාහ කොට රහත් බවට පත් විය.
ඒ කාරණය දුටු රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත වූ දේවතාවා සතුටුව සාධුකාර දුණි.සද්ධාතිස්ස රජ ඒ සාධුකාරය අසා " දේවතාවෙනි. කවරෙකුට සතුටු වූවෙහිද? කවරෙකුට ප්‍රශංසා කෙරෙහි ද " යි විචාළේය. 'මහරජ, මේ නුවර තිස්ස නමැති තරුණයෙක් දහසක් වටිනා රත්නයක් විකුණා භික්ෂුනමකට දානයක් දුණි.
ඒ පිණ්ඩපාතය ලැබූ භික්ෂුනම සංවේගයට පත්ව රහත් ඵලයට පැමිණියේය.ඔහුගේ දානානුභාවයෙන්ද තෙරුන්ගේ වීර්යයෙන්ද සතුටු වූ මම ඒ දෙදෙනට සාධුකාර දුනිමි '' යි දේවතාවා කීය. එයැසූ රජතුමා නුවණැති මිනිසකු අමතා "ඒ තිස්ස තරුණයා සොයා මා වෙත ගෙනෙව '' යි නියම කොට යැවීය.ඒ මිනිසා වහා ගොස් ඒ තරුණයා සොයාගෙන ආවේය. රජ තෙම ඔහු දැ: තිස්ස, තෝ කළ පිනැත්තෙහි මට ඒ පිනෙන් කොටසක් දෙව. මාගේ භාණ්ඩාගාරික තනතුරද දරව " යි කීය.ඔහුට සතුටු වු මහ රජ ඇත්අරිය ආදි නොයෙක් දේ ද මහත් ධනයක් ද දුණි.
මෙසේ තනතුරු ලැබූ තිස්ස ඇමතියා එක් දිනක් නහනු කැමතිව නුවරින් පිටත ගොස් නාන තොටකට අර කී කැලේ විසූ සෙහොයුරෝ සත් දෙන මේ අවස්ථාවේදී නැගණිය සමග නගරයට ආහ. එන්නාවූ ඒ තරුණයා දුටු තිස්ස ඇමති තෙමේ පිළිබඳ සිතැතිව ඇය තමාගේ බිරිඳ කරගනු කැමතිව 'සියල්ලන්ට පසුව යන සර්වාංගසුන්දර වූ මේ තරුණිය අස්වාමික නම් මට දෙව් " යයි කීය. සොහොයුරෝ යහපතැයි කියා හොබනා සිරුරු ඇති ඒ තරුණිය භාණ්ඩාගාරික තිස්ස ඇමතියාට දුන්හ.
මෙලොවදීම ලත් විපාක ඇති ඒ දෙදෙන තමන්ගේ ගෙයි වරින්වර නොයෙක් පින්කම් කළහ.ඒ දෙදෙන මහ සෑයට පූජා පිණිස ගැල් සැටක් බර වස්ත්‍ර වලින් කොඩි සාදා නැංවූහ. මෙසේ ඔවුහු ත්‍රිවිධ රත්නයන් නොයෙක් ආකාරයෙන් පුදා කුණුකය හැර දමා දිව්‍ය ශරීර ලබාගත්හ.එබැවින් රත්නත්‍රය හැමදෙන විසින්ම පිදිය යුතුය. යමෙක් එසේ පුදයි නම් හෙතෙම තිස්ස ඇමතියා මෙන් වන්නේය.