කම්බුද්ධ උපාසකයාගේ කථාව

දීඝාවුගම සමීපයෙහි සෝකධූමික නම් ජනපදයක් විය. ගංතෙර සමීපයෙහි එනමින්ම යුත් ගමක් ද විය.එ ගමෙහි වැසි කම්බුද්ධ නමැති දුගියෙක් තමා අයත් කෙතක අවුරුදු තුනක් නැළි සතරක් පමණ වී වැපිරීය.ඒ වී ප්‍රවේසමට තබා කැලෑවේ හටගත් අල ගෙඩි ආදියෙන් ජීවත් වී ශස්‍ය වපුරන කාලය පැමිණි විට නැවතත් කුඹුර ශුද්ධ කෙළේය. උල්- අතු - මැටි කැට - කටු ආදිය ශුද්ධ කොට ගිනි තබා ගෙට ගොස් බිරියට මෙසේ කීය: උදෑසනම නැගිට මම කුඹුරට යන්නෙමි. තෝ බිත්තර වී ද කැඳ ද රැගෙන එවයි.''

ඕ තොමෝ යහපතැයි කියා බිත්තර වී හා කැඳ රැගෙන යන්නී අතරමගදී ශාන්ත සිතැති, තැන්පත් වූ භික්ෂූන් සතර නමක් දැක මෙසේ සිතී. "කුඹුරෙහි වැපුරූ බීජයන්ට නොයෙක් අනතුරු පැමිණෙති. දක්ෂිණාර්හයන්ට දුන් දෙයට අන්තරායක් නැත්තේය. මේ ඇල් වී කොටා පිස දෙන්නෙම් නම් යෙහෙකි. පෙර දන් පිළිගැන්මට සුදුස්සන්ට නොදුන් බැවින් දැන් දිළිඳු බවට පැමිණියෙමි යි මෙසේ සිතා ඒ භික්ෂූන්ට ආරාධනා කොට ගෙට පමුණුවා ඇල් වී කොටා බත් උයා දෙන්නී මෙසේ කියා පෙර පින් නොකළ බැවින් අපි දිළින්දෝ වීමු. වනයෙහි කටගත් කොළ මුල් ගෙඩි ආදියෙන් ජීවිකාව කරමු. අවුරුදු තුනක් මුළුල්ලේ රැස්කළ ඇල් වී නැළි සතර බිත්තර වී සඳහා තබන ලද නමුත් මම එය පිත් සඳහා දෙමි'' යි.

ඒ ආහාරය පිළිගෙන නික්මුණු ඒ සතරනම වනයට ගොස් එය වැලඳූහ.එය වලඳා සංවේගයට පැමිණි ඔවුහු අෂ්ටාංගික මාර්ගය වඩා රහත් බව ලැබූහ.වෙහෙසුණු කිරුර ඇති සාපිපාසාවෙන් පෙළුණු කම්බුද්ධ තෙමේ ගෙට අවුත් බිරියන්ගෙන් මෙසේ විචාළේය.සොඳුර, වනයෙහි වැඩ කළ මට කැඳත් බිත්තර වීත් කුමක් හෙයින් නොගෙනාවෙහිද? දැඩි වූ ගස්මුල් ද ඉවත් කොට මම කුඹුර මනාසේ සකස් කෙළෙමි, බියපත් වූ ඒ බිරිඳ හිමියාගේ කීම අසා තමාගේ ජීවිතය ගැන බලාපොරොත්තු නැතිව සිදුවූ දෙය දන්වීය.

එයසා සතුටු වූ හෙතෙම එය අනුමත කොට මෙසේ කියා " බියපත් නොවේව; දෙන ලද්දේ යහපත් දානයකි; දක්ෂිණාව මහත් ඵල ලබා දෙන්නීය. හැළි වල වල ඉතිරි වූ යමක් ඇත්නම් එය මට දෙව; මම වෙහෙසුනේ දුර්වල වෙමි; බඩගින්න මා අධික කොට දවයි '' ඕ තොමෝ ඔහුගේ කීම අසා භාජනවල සොයා ස්වල්ප දෙයක් ලැබ එය ඔහුට දුණි.හෙතෙම ඒ ආහාරය අනුභව කොට " මොන ඇට වර්ගයක් කුඹුරෙහි වැපිරිමට ගෙයි ඇද්දැ'' යි විචාළේය. බිරිඳ පෙර තමා තැබූ ලබු ඇට වගයක් එළියට ගෙන " මේවා කුඹුරෙහි වැපුරුව මැනවැ " යි කීය.

ඒ ඇට ගෙනගොස් කුඹුරෙහි වපුරන ලද්දාහු එකෙණෙහි පැල වී වැඩී ඇල්හාල් පිරුනු ලබුගෙඩි වලින් යුක්ත වූවාහුය. එහි ගිය අඹු සැමි දෙදෙන කුඹුර පුරා තිබුණු ලබු ගෙඩි දක විස්මයට පත් වූහ. කම්බුද්ධයා එයින් එකක් පළා බැලීය.එය ඇල්හාල් වලින් පිරි තිබෙනු දුටු උපාසක තෙමේ මේ ගෙඩි සියල්ල මෙවැනි යයි දැන ගෙන එයින් ලබුගෙඩි දෙකක් ගෙන සද්ධාතිස්ස රජු වෙත ගියේය.රජු ඉදිරියට පැමිණ වැඳ ලබුගෙඩි දෙක පෙන්වා දේවයන් වහන්ස, මේ ලබු ඇට අදම සිටවන ලදහ.

අදම වැඩි අදම පල දැරූහ.මේ ලබුගෙඩි සියල්ල ඇල් හාලෙන් පිරී තිබේ. ඒ නිසා මේ දෙක රැගෙන ඔබගේ පා වැඳීමට ආවෙමු" යි කීය. කම්බුද්ධය, තා විසින් අද කිනම් කුසලක් කරන ලද්දේද? එහි මෙලොව විපාකය මෙහි පෙනේ. පරලොව විපාක ගැන කුමට කියම්ද " යි රජතුමා කීය. 'දේවයන් වහන්ස, මාගේ බිරිඳ සිල්වත් සඟ සතර නමකට දන් දුනි. මමත් පසුව ඇවිත් එය අනුමෝදන් වීමි. කම්බුද්ධය, මම තට හිතෛෂී වෙමි. තට ජන පදයක් දෙමි, ඒ ජනපදය තගේ නමින්ම ප්‍රකට වේවා. ඇල් බිත්තර වී පිස ඒ උතුම් දන දී රජුගේ පැහැදීම ලබා ගම් වරයක් ද ලැබී සද්ධාතිස්ස මහරජ ප්‍රීතියෙන් පිනා ගොස් කම්බුද්ධ උපාසකයාට ඔටුන්නක් දුණි. ඔහුගේ බිරිඳට අග මෙහෙසියකගේ ආභරණ දුණි.

ජනපදය සමග ඒ ගමද ඔවුන්ට දුන්නේය. ඔවුහු මහා දානපතීහු වූහ. චුල්ලී උපාසිකාවගේ කථාව මෙන් මෙය විස්තර කළ යුතුය. කම්බුද්ධයාගේ මරණාසන්න කාලයෙහි සදෙව්ලොවින් රථ පැමිණියාහ. ඔහුගේ බිරිඳ මම තව්තිසා භවනයෙහි උපදින්නෙමි" යි කියා හුස්ම නවතා කලුරිය කොට එහි උපන්නීය.