චූළී උපාසකයාගේ කථාව
හෙළදිව රුහුණු දනව්වෙහි කාකද්දවී ගමෙහි වසන මහා චූළ නමැති උපාසක තෙමේ බොහෝ ශස්‍ය වර්ගයන් රැස්කොට වැපිරිම කරයි. ඒ ගමේ නමින්ම ප්‍රකට වූ ඒ උපාසක තෙමේ බොහෝ දන් දෙන ' කාකද්ද වී මහාචූ '' යයි මිනිසුන් අතර ප්‍රකට විය.
හෙතෙම හැම වර්ගයේම ධාන්‍ය වපුරා ගැල් දහසක් බර ධාන්‍ය ලබයි. නොමසුරුව එයින් දන් ද දෙයි. මෙසේ ජීවත්වෙන ඔහු විසින් වපුරන කාලය පැමිණි විට බිත්තර වී කරත්ත වලින් ගෙන ගොස් වපුරන දිනයක් ඇතිවිය.ඔහුට වෛර කරන එක් මිනිසෙක් ඔහුට අනර්ථයක් කරනු කැමතිව පන්සල්වලට ගොස් ඔහුගේ ගෙයි දනකට වඩිනා සේ පන්සියයක් භික්ෂූන්ට ආරාධනා කෙළේය.
බිත්තර වී පිරෙව් ගැල් ගමනට සුදානම්ව තිබෙන විට භික්ෂූහු ඒ ගෙට පැමිණියහ. භික්ෂූන් දැක සතුටු වූ හෙතෙම ආසන පැනවීය.කුඹුරුවල වැපුරු ධාන්‍ය වලට නොයෙක් අන්තරාය පැමිණෙති; එබැවින් ඒවා නවත්වව්, මම පින් කෙතෙහි වපුරන්නෙමි" යි උපාසකයා කීය.
ඒ බිත්තර වී ගින්නෙන් වේලා කොටා සහල් කොට බත් පිසින අතර බතින් පෙරු කැඳ සහ කැවිලි වර්ග පන්සියයක් භික්ෂූන්ට පිළිගැන්වීය. ඉක්බිති ව්‍යංජන හා බත් සපයා භික්ෂූන් ඉදිරියෙහි පැන් වඩමින් මෙසේ කීය: මාගේ වෛරී වූ යම් මිනිසෙක් මට අනර්ථ කරනු කැමතිව භික්ෂූන් වහන්සේට ආරාධනා කෙළේ නම් ඔහුට සැප ලැබේවා '' යි කියා සකස් කොට සියතින්ම ඒ නුවණැත්තා දන් පිළිගැන්වීය. භික්ෂූහු දන් වලඳා නික්ම ගියහ.
දෙවියෝද යක්ෂයෝ ද වන දේවතාවෝ ද මහා චූළිගේ කුඹුරු වල තම තමන් අයත් බීජ වර්ග වැපුරූහ. උපාසකයා දන් දී තෙමේ ද අනුභව කොට හවස් වරුවේ කුඹුරු බලන්ට ගොස් ඒවා වපුරා තිබෙනු දැක සතුටු සිතැත්තේ විය. මෙය මෙලොවදී ලත් ඵලයයි. පරලොවදී ලබන සැපය කෙබඳු විය යුතුද? නුවණැති මිනිසා මෙලොව පරලොව දෙකේදීම සැප ලබයි.
දේවයක්ෂයන්ගේ ආනුභාවයෙන් ද ඔහුගේ පින් බලයෙන්ද ඒ කුඹුරු වල ගොයම් මනාසේ වැඩුණාහ.ගොයම් කපන කාලය පැමිණි විට චූළී තෙමේ කපන මිනිසුන් හා කරත්ත රැගෙන ගමෙන් පිටත් විය.ඒ වෛරි මිනිසා එදා චූළි උපාසකගේ ගෙයි දනට වඩින සේ භික්ෂූන් දහසකට ආරාධනා කෙළේය.
ඒ ආරාධනාව නිසා දහසක් භික්ෂූහු සිවුරු පොරවා පාත්‍ර රැගෙන ඔහුගේ ගෙට පැමිණියහ. උපාසකයා ඒ කාරණය දැනගෙන වහා අසුන් පනවා භික්ෂූන් වැඩ හිඳුවා තිබුණු දෙයකින් දන් පිළියෙළ කරවා දී හවස් වරුවේ කරත්ත හා මිනිසුන් රැගෙන ගොයම් කැපීමට ගියේය. දෙවියෝ ද නාග යක්ෂයෝ ද සියලු දෙන එක්වී එහි ගොයම් කපා පාගා ගැල්වල පටවා ඒවා පදවා ගෙන අතරමඟට අවුත් චූළි උපාසකයා දැක මෙසේ කීහ:
මහාචූළියෙනි. මේ ධාන්‍යඔබ සඳහා ගෙනෙමු. අපට ගෙය පෙන්වට; එහි තිබෙන තාක් මොකටු ගෙවල් පුරවන්නෙමු'' යි.උපාසකයා දේවතාවන් සමග හැරී ගෙට ආවේ ය. වී අටු දහඅටක් ඔවුන් විසින් පරවන ලදී. " මෙයින් තෝ ද අනුභව කරව; කැමති තාක් දන් දෙව මේවා ඔබගේ ජීවිතාන්තය දක්වා ක්ෂය නොවන්නාහ " යි දෙවියෝ කීහ.'' මහා චූළිය. මේ සාදෘෂ්ටික ඵලය දැක පින් කිරීමෙහි ප්‍රමාද නොවෙන ලෙස අපි කියා සිටිමු '' යිද කීහ. මෙසේ ධර්ම ප්‍රීතියෙන් ඔද වැඩුනහුට ක්ෂිණාශ්‍රව රහත්හුද දෙවියෝ ද නාගයෝ ද යන සියලු දෙන අනුකම්පා කරත්.
හෙතෙම එතැන් සිට මහාදානපතියෙක් වී හෙළදිව සියලු සංඝයාට තුන්වරක් තුන් සිවුරු දුන්නේය. චුල්ලී උපාසිකාවගේ කථාව මෙන් විස්තර කළ යුතුය.