බොහෝ භික්ෂූන්ට දන් දෙනු කැමැති හෙතෙමේ භික්ෂූන් වෙත පැමිණ " ස්වාමීනි, මම බෙහෝ භික්ෂූන්ට දන් දෙනු කැමැති වෙතත් භික්ෂුන් නොලබමි. කොතැන්හිදී බොහෝ භික්ෂූන් ලැබිය හැකිදැ " යි විචාළේය. " උපාසකය, නාගදීපයේ පරිභෝග චෛත්‍යයන් වැඳීම පිණිස බොහෝ භික්ෂූහු යති. එහි ගොස් බොහෝ භික්ෂූන් ලබන්නෙහිය " යි භික්ෂූන් කීවිට හෙතෙම එහි ගොස් හරිතාල ගමේ නැවතී අත්වැඩ කොට බොහෝ ධනය ලබා ශ්‍රද්ධා ඇති පින් කැමැත්තෙක්ව චෛත්‍යය වන්දනාව පිණිස ආ ආ භික්ෂූන්ට දන් දෙයි. දශ නමකට ද විසි නමකට ද දහස් නමකට ද දෙයි. ඉන්පසු හෙතෙම '' හරිතාලතිස්ස '' යයි ප්‍රකට විය.
එක් දිනක් නවසියයක් භික්ෂූහු නවවරක් අවුත් ඔහුගේ දානය පිළිගත්හ. ඒ භික්ෂූන් අතරෙහි මිත්‍ර වූ රහත් දෙනමක් පුවඟු දිවයි තෙහි හිඳගෙන මෙසේ කථා කළහා "ඇවැත්නි. දඹදිවත් හෙළ දිවත් භික්ෂුන්ට ලාභ ලැබෙන තැන්ය.මේ ද්වීප දෙකෙන් කොයි ද්වීපයෙහි මිනිස්සු වඩා ශ්‍රද්ධා සම්පන්න වෙත්ද? කොතැන්හි භික්ෂාව සුලභද " යි. එයින් එක් නමක් දඹදිවට පැසසී, එක් නමක් හෙළ දිවට පැසසී . මෙසේ කථා කොට පසුදා එක් නමක් දඹදිවට ද එක් නමක් හෙළ දිවට ද අහසින් ගියහ. මධ්‍යාහ්න කාලයේදී භික්ෂූන් දන් වලඳා ගිය පසු සුමනා තොමෝ දොරකඩ සිටින්නී තවත් භික්ෂු නමක් දිටී. පිඬු සඳහා හැසිරෙන ඒ භික්ෂු නම දැක අතින් පාත්‍රය ගෙන තමාගේ ගෙට ඇතුල් විය.
ඕ තොමෝ සහල්, ගිතෙල් පැණි, මී පැණි රැගෙන සකුරු හා එක්කොට මිහිරි ප්‍රණීත බතක් උයා එයින් පාත්‍රය පුරවා ආධාරකයක තබා දොරකඩට පැමිණියාය. තෙරනම පාත්‍රය අතට නොගෙන '' සුමනාවෙනි. පාත්‍රය අහසට දමව, මම කැමති තැනකට යන්නෙමි" යි කීය. "ස්වාමීනි, මම එසේ නොකරමි, මට එවැනි බලයක් නැත. ඔබවහන්සේ පාත්‍රය රැගෙන කැමති තැනකට වැඩිය මැනවැ යි ඕ කීය. තෙරනම පාත්‍රය රැගෙන සුමනාව බලා සිටියදීම
අහසට නැගී ගියේ ස්වකීය දිවයිනට ඇතුල් විය. තුටු පහටු වූ සුමනා ඇඳිලි බැඳගෙන බලා සිටියාය. ස්වකීය විහාරයට පැමිණි තෙරනම දහසක් පමණ භික්ෂුන්ට ඒ දානය බෙදා දුණි. එහෙත් එය අවසන් නොවීය. ඒ භික්ෂූන් වලඳා පාත්‍ර සේදූ පසු දඹදිවට ගිය තෙර නම ආයේය.
සියලු භික්ෂූන් හරිතාලතිස්සගේ වර්ණනාව කියමින් සිටියදී ලෝකපාල දෙවිවරු සිවුදෙන එහි අවුත් ඒ සියල්ල රන් පත්‍රවල ලියාගෙන ගොස් තව්තිසා දෙවියන් සුධර්මා සභාවෙහි කියෙව්වාහ. ගමේ නමින් මුළු හෙළදිව හරිතාලතිස්ස යයි ප්‍රකට වූ ඒ ශ්රද්ධාවත් දානපතියා නොබෝ කලකින් දෙව්ලොව උපදින්නේ යයි ඔවුහු ප්‍රකාශ කළහ. එයැසූ සක්දෙව් රජ ඔහු පරීක්ෂා කිරීමට සිතා භික්ෂු වේශයක් මවාගෙන ඔහුගේ ගෙදරට ගියේය. එවේලෙහි හරිතාලතිස්සට කෑම පිළියෙළ කොට ඉදිරියෙහි තැබූ සුමනා පැන් කෝප්පය ඔහුට සඳහා තමාගේ අතට ගෙන සිටියාය. එකෙණෙහි ශක්‍රයා ඔහු සමීපයට අවුත් " මහාතිස්ස උපාසකය, මා ගඟෙන් එතෙර කරව; මම චෛත්‍ය වැඳීම සඳහා අනුරාධපුරයට යමි '' යි කීය.
හොඳයි ස්වාමීනි '' යි කී හෙතෙම බත් කෑම තිබියදී ඒ භික්ෂුනම එතෙර කරන්ට ගියේය. තොටුපලට පැමිණි ඒ භික්ෂු නම 'තිස්සය. මාගේ නානකඩ තොපගේ ගෙයි මතක නැතිව ආමි" යි කීය. එවිට දෙදෙනාම හැරි ගොස් එය රැ ගෙන නැවත තොටුපලට ඇවිත් "මාගේ සැරයටිය එහි සිහි නැතිව තබා ආමි " යි භික්ෂුනම කීය. නැවත දෙදෙනම හැරි ගොස් සැරයටිය ගෙන තොටට අවුත් "මාගේ බඳ පටිය සිහි නැතිව තබා ආමි '' යි කීය. නැවත හැරී ගෙට ගොස් ශක්‍ර තෙමේ, ස්වකීය වේශය පෙන්වා '' තිස්සය, මුළු රෑ එහා මෙහා ඇවිදිමින් තා විසින් දුෂ්කර දෙයක් කරන ලදී. ඔබ ශ්රද්ධාවත් දායකයෙක් දැයි විමසීමට මම මෙහි ආවෙමි " යි කීය.
තිස්ස තෙමේ නිරෝගී පුරුෂයකු වූ මට මෙය අපහසු නැත. මාගේ උපස්ථායිකා වූ සුමනාතොමෝ දිය බඳුන රැගෙන (එය අත නොහැර) මුළු රැය සිටීමෙන් අපහසු ක්‍රියාවක් කළාය " යි කීය. ශක්‍ර තෙමේ "තොපගේ බිරිය තොපටම යෝග්‍ය ස්ත්‍රියකි. තොපගේ සංවාසය නදුනුයනෙහි දෙවියකුගේ හා දෙවඟනකගේ සංවාසය මෙනි. තිස්සය, මට අවසර දෙව, මම නදුනුයනට යමි යි කියා දෙව්ලොවට ගියේය.
මෙසේ බුද්ධ ශාසනය ලැබ බොහෝ කුසල් රැස්කළ තිස්ස තෙමේ තුසිත පුරයෙන් ආ රථයෙහි නැගී අහසින් ගියේය. (මරණාසන්නයේදී සිදු වූ ප්රවෘත්ති පළමු කථාවේදී මෙන් විස්තර කළ යුතු යයි දක්වා තිබේ.)