පරදාර සේවනයෙන් දුරුවීමේ කථාව

(මෙසේ අසන්ට ලැබේ:) සමෘද්ධ ජනයාගෙන් හා නිත්‍ය ශස්‍ය නිෂ්පාදනයෙන් යුත් මනා භික්ෂූන් බහුල වූ සුරට්ඨජනපදයෙහි විහාරයක් වේ. එහි මහානිධි නමැති පර්වතය සමීපයෙහි ධුතංගධර වූ යෝගාවචර වූ පිණ්ඩපාතික වූ එක් භික්ෂු නමක් වසයි. හෙතෙම පෙරවරු කාලයෙහි පිණ්ඩපාතය ලබාගෙන වුත් එක් තැනක තැබීය.

එක්තරා සොරෙක් සොරකම් සඳහා මුළු රැය ඇවිද බඩසයින් පෙළුනේ ඒ විහාරයට ගොස් පිණ්ඩපාතය දැක ඉදින් මේ භික්ෂුනම මට නොදී ආහාර අනුභව කරන්නේ නම් මම රාත්‍රියෙහි අවුත් මොහුගේ පාත්‍ර සිවුරු ගෙන යන්නෙමි " යි සිතාගෙන උන්නේය. භික්ෂුනම අත්පා සෝදාගෙන චෛත්‍යය වැඳ හිඳගෙන අනුභව කරනු කැමැත්තේ ඔහුගේ ඒම දැක අනුභව කරවයි කියා ඔහුට ආහාර දුණි,

බඩසයින් පෙළුණු හෙතෙම අනුභව කොට සතුටට පත් වී මෙසේ කීයා "ස්වාමීනි, බලවත් සොරෙක් වූ මම ඔබට අපරාධයක් කරන්ට සිතුවෙමි. එයට සමාවුව මැනවැ " යි කීය. "පින්වත, මම සමාව දෙමි. ඉදින් මා කියන දේ කරන්නෙහි නම් පන්සිල් රක්ෂා කරව" යි තෙරනම කීය. '' ස්වාමීනි, පන්සිල් නම් මොනවාද?"

අසවල් අසවල් දේ යැයි කී විට " ස්වාමීනි, ඒවා රකින්ට නොහැක්කෙමි" යි කීය. එසේ නම් සිකපද සතරක්, තුනක්, දෙකක් රැක්ක මැනවැයි කීවිටත් නොහැක්කෙමියි කීය. "එසේ නම් එකක් රකුව" යි කීවිට සොරා එකක් රැකීමට කැමති විය. හෙතෙම පරදාර සේවනයෙන් වෙන් වීමේ ශික්ෂා පදය සමාදන් වී ගියේය. හෙතෙම එදා එක් ගමක ඇවිදින්නේ එක් ධනවතෙකුගේ ගෙයක ඉතා වටිනා ගොනුන් දෙදෙනෙකුන් දැක මධ්‍යම රාත්‍රි කාලයෙහි ඒ ගෙට ඇතුල් විය. ගෘහණිය සොරා දක පිළිබඳ සිතැත්තී විය. ඕ " තරුණය කුමක් සඳහා ආවෙහිද?' යි ඇසීය. ගොනුන් ගෙනයාම සඳහා යයි සොරා කීය. ඉදින් මා කියන දේ කරන්නෙහි නම් තා කැමති හැම දෙයක්ම දෙන්නෙමි'' යි ගෘහණිය කීය. කුමක් කළ යුතුදැයි සොරා ඇසීය.

" කාම සැපයෙන් පෙළඹුණු පුද්ගලයෝ යුද්ධයට වැදීමද දියට පිවිසීමද සොරුන් අතරට යාම ද මහ වනයකට ඇතුල්වීම ද පර්වත දුර්ගයකට යාම ද ගණන් නොගනිත්. එබැවින් සැපයෙන් මා සතුටු කරව" යි ස්ත්‍රිය කීය. ඉදින් මාගේ කීම නොකරන්නෙහි නම් තාගේ ඒම සාර්ථක නොවන්නේ යයි ද කීය. සොරා ඇගේ කීම අසන්ටත් නොකැමති වී "සොඳුර, මම ශීලයක් රකිමි" යි කීය.

ගේ හිමියා මේ දෙදෙනගේ කථාව අසා නැගිට ආරක්ෂකයන් කැඳවා සොරා අල්වන්ට සලස්වා ස්ත්‍රිය බන්දවා සොරාට මෙසේ කීය: "මිත්‍රය, තෝ අද පටන් මාගේ සහෝදරයෙක් වෙහි. මේ ගෙට හිමියෙක්ව තා කැමති කැමති දෙයක් ගනුව. මේ සොර ස්ත්‍රිය හෙයින් නෙරපන්නෙමි '' යි කියා ඇය නෙරපා දැමීය,

සොරා තමාගේ ශීලයේ අනුසස් ගැන මෙසේ කල්පනා කෙළේය. මම ගොනුන් ගෙන යනු කැමතිව මේ ගෙට ඇතුල් වීමි. පරදාර සේවනය දුරුකොට මේ සැපයට පත්වීමි. මා විසින් ගොන්නුත් ධාර්මික සොහොයුරෙකුත් ලද්දාහුය. මිය යා යුතු තැන්හි ප්‍රිය වූ ජීවිතයක් ලදිමි.

එක සිකපදයක් රැකීමෙන් මෙලොවදීම මෙතෙක් විපාක ලදිමි. හැම සිකපද රකින්නන්ට කෙතරම් මහත් ඵලයක් ලැබෙන්නේද? බඩසයින් පෙළුණු මා බුද්ධ ශ්‍රාවකයෙකු කරා එළඹ එක් සිල් පදයක් සමාදන් වී මෙවැනි සම්පත්තියක් ලද්දීය.ලේ තැවරුණු අත් ඇති රෞද්‍ර වූ පවිටු ක්‍රියා ඇති සොරෙකු විසින් රක්නා ලද ශීලය මෙසේ පිහිටක් ලබා දුණි යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව සිල් රකිත් නම් ශීලයෙහි පිහිටි ඔවුහු හැම භයින් මිදෙත්.

මෙසේ ශීල ගුණය දත් මම සිත දැඩිකොට ගෙන සිල් පිරිමටම උත්සාහ කරන්නෙමි. ඉක්බිති සතුටු සිතැතිව වහා විහාරයට ගොස් ඒ භික්ෂුනම කරා එළඹ '' ස්වාමීනි මට පන්සිල් දෙනු මැනවි. මවිසින් එය ජීවිතාන්තය දක්වා

රැක්ක යුතුය '' යි කීය.

මම කාමයෙහි වරදවා නොහැසිරීම නමැති ශීලය රැක මරණ භයින් මිදුණෙමි. දැන් දුගතියෙහි ඇති මහත් භය ගැන අසනු කැමැත්තෙමි. මහාවීරයන් වහන්ස, කැපකරු වූ මා දුගතියෙන් මුදවනු මැනවි. බඩසයින් පෙළුණු මට ඔබ විසින් පෙර ආහාර දෙන ලදී. සසර දුකින් පෙළුනු මට සිල් දෙනු මැනවි.ඔහුගේ කීම අසා වැඩූ ඉන්ද්‍රියයන් ඇති ඒ තෙරනම ඔහුට අනුකම්පාවෙන් මෙසේ කීය: සත්පුරුෂය, මම ඔබට සරණද සිල්ද දෙමි. ඒවා රැක දුගති භයෙන් මිදෙනු මැනවි.

සිල්වත් මිනිසා මිනිසුන්ද නොමිනිසුන්ද තිරිසනුන් ද යන සියලු දෙන විසින් විශ්වාස කටයුත්තෙක් වෙයි. එය ඔබට දිව්‍ය සම්පත් ද මනුෂ්‍ය සම්පත් ද, ආර්ය සම්පත් ද ලැබීමට හේතුවක් වන්නේය. ඒ සොරා එහිම හිඳ ඇඳිලි බැඳගෙන සරණ ද සිල් ද ගත්තේය. සිල් රැකීමෙන් පිරිසිදු වූ ඒ සොර තෙමේ පව් මල දුරුකොට ධර්ම ප්‍රීතිය ප්‍රිය කොට උපාසකයෙක් විය.