දුටුගැමුණු රජුගේ මරණය

ගාමිණී අභය මහරජ තෙමේ අනුරාධපුරයෙහි සූවිසි වසක් රාජ්‍යය කරවීය.මෙසේ රාජ්‍යය කරවන ඔහුට දරුණු රෝගයක් හටගත්තේය. එවිට සමීපයෙහි සිටියවුන් අමතා මෙසේ කීය; මා මහා විහාරයට ගෙන ගොස් එය මැද වම්පසින් ලෝහ ප්‍රාසාදය ද දකුණු පසින් මහා සෑය ද පෙනෙන සේ හොවව් ''මිරිසවැටිය ඉදිරියෙහි හොත් රජතුමා දකුණැලයට හැරී උතුම් මහසෑය දකී.වම්පසට හැරී මනහර ප්‍රාසාදය දකී. වම්පසට හැරී මනහර ප්‍රාසාදය දකී. ඇඳෙහි හිඳගෙන ඉදිරියෙහි තිබෙන, රහතන්ට වාසස්ථාන වූ මිරිසවැටිය දකී.

ඒ කාලයෙහි ථෙරපුත්තාභය තෙරනම රුහුණේ අනුරාධ විහාරයෙහි වසයි.දැවැසින් මේ කාරණය දුටු එහිමියෝ පොළොවෙහි ගිලී අවුත් රජුගේ හිස පැත්තෙන් මතු වී අස්නක හිඳ ගත්තේය.එසේ හුන් තෙරනම රජු අස්වසමින් මෙසේ කීය: "මහරජ, බිය නොවුව මැනවි, ඔබ විසින් බොහෝ පින් කරන ලදී.මේ මහසෑය චන්ද්‍රයා සේ පිරිසිදුව, ස ගෙඩියක් මෙන් සුදුව, චන්ද්‍ර සූර්යයන් මෙන් මෙන් බබළමින් මෙහි තිබේ. මේ ප්‍රාසාදය හිම වතෙහි කෛලාශ පර්වතය මෙන් ද නන්දන වනයෙහි වෛජයන්ත ප්‍රාසාදය මෙන් ද මහමෙර මුදුන මෙන්ද බබළමින් පිහිටියේය.


ත්‍රිවිද්‍යා ෂඩභිඥාවන් ද පඤ්චාභිඥාවන් ද ලැබූ රහතන්ට වාසස්ථාන වූ මේ මිරිසවැටි විහාරය ඔබ ඉදිරියෙහි පෙනේ. භික්ෂූන් ලක්ෂයකටද භික්ෂුණින් අනූනවදහසකටද ඉතා වටිනා මෘදු ස්පර්ශ ඇති තුන් සිවුරු ඔබ විසින් දෙන ලදහ. ඔබ විසින් රැස්කරන ලද මෙකී කුසල්ද නොකී බොහෝ වූ කුසල් ද සතුටු සිතින් සිහි කළ මැනවි.

තෙරුන්ගේ කීම අසා රජ තෙමේ මෙසේ කීය'' මා විසින් යම් දනක් දෙන ලද නම් ඒ සියල්ල සිහිකරමි.නමුත් රාජ්‍යය ලැබූ පසු මෙවැනි දේ කිරීම අපහසු නැත. සිය නිවෙසින් පිටවී සැග වී සිටියදී යමක් දෙන ලද නම් එය අපහසු දීමකි.පෙර කුමාර කාලයේදී පියා මට පරිභව කළ බැවින් මම අස්වකයකු සමඟ කඳුරට ගියෙමි. එහි කාංගුගම කංගු පර්වතය සමීපයෙහි ගසක් මුල හුන් මා කිසිවෙක් හැඳින නොගත්තේය.

මාලෙය්‍ය දේව තෙර නමද ධම්මගුත්ත තෙර නමද ධම්මදින්න තෙර නම ද පුජ්‍ය වූ ව්‍යග්ඝ තෙර නමද යන සතර නම අනාගතය බලමින් මට අනුකම්පා කොට ඇවිත් මා ඉදිරියෙහි වැඩ සිටියාහ. ඒ අවස්ථාවෙහි දිරාගිය වස්ත්‍රයක් ඇඳගත් එක් දුගී ස්ත්‍රියක් කොංගු ධාන්‍ය පිරෙව් ලබු කැටයක් ගෙන වැපිරීම සඳහා කෙතට ගියාය.මම මාගේ සිංහ ලකුණ ඇති කඩුක්කමක් ගෙන එය ගලකින් තළා ඒ ස්ත්‍රියට දුනිමි. ස්ත්‍රිය මට එක් නැළියක් පමණ කොංගු ධාන්‍ය දුණි. මම ඒ කොංගු කොටා බතක් සම්පාදනය කෙළෙමි. එවිට මා මිනිස්සු සතර දෙනෙක් දීකිරි කලයක් ද මස් ද මට පඬුරු සඳහා ගෙනාහ.

මම ඒ සියල්ල එක් කොට වර්ණ ගන්ධ රසයෙන් යුත් ආහාරයක් සම්පාදනය කොට ඒ තෙරසතර නමගේ පාත්‍ර ගෙන පුරවා සතුටු සිතැතිව නමස්කාර කොට පිළිගැන්නුවෙමි. මාගේ දානය රැගත් දේව තෙරනමක් ධර්මගුත්ත තෙරනත අහසට නැග ගියහ. ධම්මදින්න - ව්‍යග්ඝ තෙර දෙනම දියෙහි ගිලෙන්නාසේ පොළොවෙහි ගිලී ගියහ. මේ දානය මට අද දුන් එකක් සේ පෙනේ, අන් සියලු දානයන්ට ඉදිරියෙන් පෙනේ.

තවත් දානයක් මට විශේෂ දානයක් සේ පෙනේ. තිස්ස කුමරු හා යුද්ධ කොට කීපවරක් පැරදි භටයන් විසින් ලුහුබඳනා ලදුව (සංඝයා) මැවූ පවතය වෙත පැමිණ මම වනයට පිවිසියෙමි. තිස්ස කුමරා එතැනින් නැවතුණි.වන මැදට පැමිණි මම සාපිපාසා දෙකින් පීඩිත වූයෙමි යම්කිසි ආහාරයක් සෙව්වෙමි. මාගේ කීම ඇසූ තිස්ස ඇමති තෙමේ "ස්වාමීනි, මා අතේ බත් මුලක් ඇත. ආහාර අනුභව කළ මැනැවැ' යි කීය. "යෙහෙකි මිත්‍රය. ඒ ආහාරය සතර කොටසකට බෙදා එයින් එක් කොටසක් මා වෙත ගෙනෙව " යි මම කීවෙමි. එසේ ගෙනා විට එය අතට ගත් මම කඳුළු පිරුණු ඇස් ඇතිව හඬමින් ශෝකයෙන් රත් වූ හෘදය ඇතිව මෙසේ සිතුවෙමි. " මම යම් කලක වැඩිවියට පැමිණියෙම් නම් එතැන් සිට මහසඟනට නොදී කෑ බවක් නොදනිමි.

මාගේ අදහස දැනගත් පුවඟු දිවයින වැසි තෙර නමක් අහසින් අවුත් මා ඉදිරියෙහි සිටියේ ය.සතුටු වූ මම එතුමාට වැඳ දෙකොටසක් එක්කොට සියතින් දෙනු කැමති වීමි. තිස්ස ඇමතියා ද එය දැක ඔහුගේ කොටසත් එහි දැමී. අශ්වයාත් හිස සෙලවූ බැවින් උගේ කොටසත් එහි බහාලීමි.විචක්ෂණ වූ ඒ බුද්ධ පුත්‍ර තෙමේ ඒ භික්ෂාව රැගෙන අහසට නැගි ආරාමයට පැමිණියේය.එතුමා ඒ ආහාරය තෙළෙස් දහසක් භික්ෂූන්ට වැළඳ විය. නැවත පාත්‍රය පුරවා මා වෙත එවීය .අපි තිදෙන ඒ ආහාරය අනුභව කොට පාත්‍රය මනාකොට සෝදා හරවා යැවීමු.මෙසේ මට කරදර ඇති කාලයක සිටිමින් සාපිසාවෙන් පෙළී ජීවිතයෙහි බලාපොරොත්තු නැතිව පෙර දන් දුනිමි.

සමූහයන්ට අග්‍ර වූ ශීලාදී නොයෙක් ගුණයන්ගෙන් හෙබි බෞද්ධ සංඝයා කෙරෙහි පැහැදුණු සිතැතිව මම දානාදි නොයෙක් පින්කම් කෙළෙමි. මා රැස්කළ ඒ ශ්‍රේෂ්ඨ පින් සියල්ල ඉක්මවා මාගේ ආහාර කොටස දුන් දානය ඉදිරියෙහි සිටිනු මට පෙනේ. ඒ දානය සිහිකරමින් මම රම්‍ය වූ තුසිත පුරයට යන්නෙමි. ඒ දෙව්ලොව වසන අජිත දේවපුත්‍රයා අනාගතයෙහි බුදු වන්නේය”. මෙසේ කියා ඒ රජ කෘමී සමූහයාට වාසස්ථාන වූ මේ ශරීරය හැරදමා උතුම් රථයකට නැග දෙව්ලොවට ගියේය.