මහාදත්තගේ කථාව

මෙසේ අසන්ට ලැබේ. හෙළ දිව රුහුණු ජනපදයෙහි එක්තරා ගැල්කරුවෙක් සහලින් පිරවූ කරත්තයක් දක්කමින් ගැඹුරු මඩ ඇති තැනකට පැමිණියේය. ගැල මඩෙහි එරුණි. ඔහුගේ මහාදත්ත නමැති ගොනා එය අදින්ට අසමර්ථ විය. ගැල් පදවන්නා ගොනුට කථා කොට " ඉදින් තෝ අද මේ ගැල ගොඩට අදින්නෙහි නම් මින්පසු කරත්තයේ නොබඳින්නෙමි '' යි කීය. එයසා මහාදත්ත තෙමේ උත්සාහයෙන් පිරුණු සිතැත්තේ දැඩි සේ වීර්යය කොට ගැල නගා සිටුවන්ට මහන්සි ගත්තේය. ගැල්කරුවා ඔහුගේ පිට අතගා පැදෙව්වේය.

ගොනා මුළු උත්සාහය යොදා සයවරක් කරත්තය ඇද්දේය. නමුත් මහළු බව නිසා ඇදගත නොහැකි විය. සත්වෙනි වාරයේදී වේගයෙන් අදින ඔහුගේ පපුව පැළී ගියේය. ඌ ලේ වමාරා එතැනම වැටුණි. ගැල්කරුවා ඌ හැර දමා අන් ගොනෙකු යොදාගෙන යන්ට ගියේය.

එවිට එක්තරා වලන් සාදන්නෙක් අවුත් ගොනා ජීවත්ව සිටියදීම උගේ හම ගලවා ගෙන මැටි ඇනීම පිණිස ගෙන ගියේය. එක්තරා තූර්ය භාණ්ඩ සාදන්නෙක් අවුත් වීණාතත් සෑදීම සඳහා උගේ නහර උපුටාගෙන ගියේ ය. එක් වැද්දෙක් අවුත් තමාගේ බල්ලන්ට උගේ මස් කපා දුණි. බල්ලෝ තුමුම මස් කඩාගෙන ද කෑහ. කුරු කුහුඹුවෝද උගේ ඇඟට නැගී කන්ට පටන් ගත්හ. මෙසේ ඒ ගොනා මහත් දුකට පත් විය.

එකල චුල්ල පිණ්ඩපාතිකතිස්ස තෙරනම පන්සියයක් භික්ෂූන් සමග ඒ මගින් යන්නේ ඒ ගොනා දැක කරුණා උපදවා පාත්‍ර වලින් ජලය ගෙනවුත් පෙවීය. ඒ පැන් බී ගොනා ස්වල්ප ආස්වාදයක් ලැබීය. තෙරනම ඔහු ඉදිරියෙන් වාඩි වී මහා සතිපට්ඨාන සූත්‍රය දෙසා තිසරණය දුණි. සිල්පද කියන විට ගොනා කලුරිය කොට තව්තිසා භවනයෙහි තිස් යොදුන් විමනක උපණි. හෙතෙම පෙර ජාතිය බලා තෙරුන්ට කෘතඥතාවය පෙන්වීම පිණිස

මධ්‍යම රාත්‍රි කාලයේ දී දෙවඟනන් දහසක් පිරිවරාගෙන විමානය සමඟ අවුත් තෙරුන්ගේ පාමුලැ හෙව එක් පසෙක සිටියේය. තෙර නම ඔහුගෙන් '' පින්වත, අභිරූප වූ දර්ශනීය වූ දෙවගනන් විසින් පිරිවරන ලදුව හැම දිශාවන් බබළවන්නා වූ තෝ කවරෙක් ද '' යි ඇසී.

දේවපුත්‍ර තෙමේ මම පෙර අපාය ප්‍රතිසන්ධි ඇති ගොනෙක් වීමි. මෝහයෙන් යුත් උත්පත්ති ඇති ඒ මම කුසල් නොහැඳින්නෙමි. ගැල්කරුවෝ මා ගැලෙහි යොදා ගැඹුරු මඩ වගුරක දැක්කූහ. එය අදින්නා වූ මගේ හෘදය වස්තුව පැළී ගියේය. ගැල ගොඩ ගත් කෙණෙහි මම එහි වැටුණෙමි. එසේ වැටුණු දුර්වල වූ මා දැක ස්වාමියා හැර දමා ගියේය. මා ජීවත්ව සිටියදීම ඇතමෙක් මාගේ සම ද මස් ද නහර ද අකාරුණිකව උපුටාගෙන ගියහ. පින්වත් ස්වාමින් වහන්සේ මෙවැනි විපතට පත් මා දැක අනුකම්පා ඇති සේක් සතිපට්ඨාන සූත්‍රය දෙසූහ. එය දෙසා අවසන්හි සරණ සිල් දුන්හ. සිල් දෙන විට මාගේ මරණය සිදු විය.

එහි මැරුණු මම තව්තිසා දෙව්ලොව උපන්නෙමි, ඉදින් සිල් දෙනතුරු සිටියා නම් මට යාම දෙව්ලොව උපදින්නට ඉඩ තිබුණි. දෙව්ලොවට ගියා වූද මාගේ පූර්වනාමය විනාශ නොවීය. දෙව්රජු සහිත දෙවියෝ මා ' මහාදත්ත' යයි හඳුනා ගනිත්. ගොන්ව සිටි මම ඉතා දරුණු දුකකට පත් වීමි. ඔබ වහන්සේ මට සුත්‍රයක් දෙසා තිසරණයද දුන්හ. ධර්මය කණට වැටුණ පමණින් මෙවැනි ඵලයක් දකිමි. දහසක් දෙවඟනෝ මා පිරිවරති. ඒ සුත්‍රය අසා මෙවැනි සම්පතකට පැමිණියෙමි. යම් ස්ත්‍රී පුරුෂ කෙනෙක් බුදු සසුන ආශ්‍රය කෙරෙත් නම් ඔවුන්ට ලැබෙන සැපය විස්තර කළ නොහැක. දැන් මට සරණ සිල් දී ඒ සූත්‍රයම දෙසනු මැනවිය. ඒ ධර්ම නමැති නැවට නංවා මා සසර සයුරෙන් එතෙර කරනු මැනවි. ඒ සූත්‍රයාගේ බලයෙන් ද සරණ සිල් බලයෙන් ද මම ආපායික ප්‍රතිසන්ධිය හැර දේවත්වය ලැබුවෙමි. මෙසේ සංසාරයෙහි නොඇලුණු මහාදත්ත නම් ඒ දේවපුත්‍රයා

සතිපට්ඨාන සූත්‍රය දෙසන මෙන් ඒ තෙරුන්ගෙන් ඉල්වීය. තෙරනම සරණ සිල් දී ඒ සූත්‍රයම දෙසා ඔහු ප්‍රථම ඵලයෙහි පිහිටු වීය. දේව පුත්‍රයා බුද්ධ පුත්‍රයන් සමීපයෙහි දහම් ඇස ලබා පාදෙක ළඟ හිස තබා වැන්දේය. දහසක් දෙවඟනන් හා සෝවාන් ඵලයෙහි පිහිටි හෙතෙම අහසෙහි හංසරාජයකු මෙන් දෙව්ලොවට ගියේ ය.එබැවින් බුදුවරු සත්පුරුෂ සේවනය පසස්ති. ධර්මයෙන් ප්‍රීතිමත් වීම වඩ වඩාත් පසසති. පණ්ඩිත තෙමේ බොහෝ ගුණ උපදවන්නේ යයි දැනගෙන සත්පුරුෂ සමාගමය පසසන්නේය.