­­හංකාලාවගේ කථාව

හංකාල දනව්වෙහි හංකාල ගමේ නිවැසි හංකාලා නම් ඉතා දුගී ස්ත්‍රියක් විය.උදෑසන බත සඳහා පෙරවරු කාලයෙහිද හවස් බත සඳහා පස්වරු කාලයෙහි ද අනුන්ගේ බැල මෙහෙ කොට ඕ තොමෝ දූ දරුවන් පෝෂණය කරයි.

ඒ ගමෙහිම ගැල් දහසක පටවන තරම් මුං මෑ ආදිය ලබන ධනවත් කෙළෙඹියෙක් විය.ඉදින් මුං මෑ ආදිය එපමණ ලැබේ නම් ඔහුට ලැබුණ හැල් වී ආදී ධාන්‍ය වල ප්‍රමාණය ඊට වැඩි විය.මෙතෙක් ධන ධාන්‍ය සම්පත් ඔවුන්ට ලැබුණේ පෙර පින් බලයෙනි. දැනුත් ඔවුහු රත්නත්‍රය විෂයෙහි බොහෝ පින් කෙරෙත්.

මෙසේ පින් කරන්නා වූ ඔවුන් දුටු හං කාලාවගේ හිමියා සංවේගයට පත්ව පරලොව පිහිට සඳහා දක්ෂිණාර්හයන්ට දන් දිය නොහැකි මාගේ ජීවිතය මෙහිම විනාශ වේවා " යි සිතමින් තමාගේ ඇඳෙහි වැද හොත්තේය.හං කාලාව බත් පිස ස්වාමියාට මෙසේ කී: බත් අනුභව කරව; කුමකට නිදන්නෙහිද? ඔබ දුකට පත් වූවා සේ පෙනේ" යයි කීය.

මම අනුභව නොකරමි, පැන් නොබොමි. මිනිසත් බවක් ලබා දන් දෙනු නොහැකි මාගේ මරණය කැමැත්තෙමි ' යි හිමියා කීය.ඔහුගේ ඒ කීම ඇසූ හංකලා තොමෝ ස්වාමියා සනසා මෙසේ කී; ප්‍රිය වචන කියන ක්‍රියාවෙහි දක්ෂ වූ ඔබගේ වැඩි මහලු පුතා දාසයකු බවට පමුණුවා අපි දන් දෙමු" යි. හෙතෙම යහපතැයි කියා ක්‍රියාසුර වූ වැඩිමහලු පුතා ධනවත් ගෙයක මෙහෙකාර කමට දී වස්සකු සහිත දෙනක් ගත්තේය.

ඔවුහු ඒ ගවදෙන ගෙදොරට ගෙන ගොස් දිනකට තෙවරක් කිරි දොවා ගත්හ. සවස ද උදය ද මධ්‍යාහ්නයෙහිද යන තුන්වාරයෙහි ඔවුනට කිරි නැළි සතර බැගින් ලැබුණි.තෙදිනක් කිරි දෙන ඒ එළදෙන ඉතිරි දිනවලදී ගිතෙල් ම දොවාගන්ට දෙයි.හංකලාව භික්ෂුන් සමීපයට ගොස් සංඝයාගෙන් භික්ෂූන් ලබා ගෙන කිරි දන් දුනි. ඔවුහු කිරි වලින් කැඳ උයා ඉතිරි කිරි විකුණා සහල් ආදිය ගනිත්.මෙසේ බොහෝ කලක් දන් දෙන විට ඒ ගම විසූ බලවත් මිනිසෙක් මේ දෙන දැක ලෝභයෙන් මැඩුනේ ඇය අයිති කරගන්ට සිතී.යුද්ධ භටයෙකු වු ඔහු එළදෙන ඉල්ලූ නමුත් ජීවත්වීම සඳහා නොව පින් කිරීම සඳහා ගත් දෙන කෝටියක් දුන්නත් නොදිය හැකැයි ඔවුහු කීහ.

දානය සත්පුරුෂ සම්මතය, බුදුරදුන් විසින් වර්ණිත යයි ද කීහ.නොදෙන්නමු යන කීම අසා කිපුණු දුෂ්ට සිතැති ඒ මිනිසා ලෝභයෙන් මැඩුනේ ඔවුන්ට අනර්ථයක් කරන්ට සිතී.හෙතෙම වහා ගොස් සද්ධාතිස්ස රජු වෙත එළඹ මෙසේ කීයඃ මහරජ, අපේ ගමේ ධනවත් ස්ත්‍රියක් ඇත. ඇගේ දෙන සැමදාම දොළොස් තැළියක් ගිතෙල් දොවාගන්ට දෙයි.

'' එසේ නම් තෝම ගොස් ඒ දෙන ගෙනෙව; මම පරීක්ෂා කොට බලන්නෙමි. එසේ විමසා බලා මගේ සිතට ද කැමති නම් ඇය ගන්නෙමි '' යි රජතුමා කීය. ඒ පුරුෂයා යහපතැයි කියා ගොස් වස්සා සමඟ දෙන ගෙනවුත් රජු සමීපයට පමුණුවා බාරදුණි. " රන්තලියක් ගෙනෙව්; වස්සා දෙන ඉදිරියට ගනිව්. මා ඉදිරියෙහි දෙන දොවව්, කිරිද ගිතෙල් දැයි බලමි ' යි රජතුමා කීය. දෙන දොවිනු ලබන කල්හි කිරි පමණක් වැගුරුණි. කිරි වැගුරුණු බව දැනගත් රජ නොසතුටු විය.

රජු නොසතුටු බව දැනගත් රාජ පුරුෂයා "ස්වාමීනි, මේ ස්ත්‍රියම දෙන දොවා, අනිකකුට එය ගිතෙල් නොවන්නේය '' යි කීය. හංකාලාතොමෝ භාජනය තනවලට යටින් තැබීය. ඒ භාජනය පිරි ගිතෙල් බිම ද වැටුණි. එය දුක සතුටුව රජ සාධුකාර දුණි. ඉන්පසු ඇය තමාගේ දූ තනතුරෙහි තබා ශ්‍රේෂ්ඨ භාණ්ඩයන් දී ඒ ගම ද ඈට දුණි. ස්වාමි පුරුෂයාට වටිනා මැණික් බැඳි ඔටුන්නක් දුන්නේය. ලෝකයෙහි පින් පව් පල මෙසේ මෙලොවදීම ලබත්. එබැවින් ධර්ම ප්‍රීතිය කොට ඇත්තහු විසින් බෙහෝ පින් කළ යුතුය.

සද්ධාතිස්ස රජතුමා ඈට දාසියන් සියයක්ද දාසයන් සියයක් ද ජනපදය සමඟ ගම් දහසක් ද රජ දුවකට දිය යුතු ආභරණ ද දුණි. ඕ තොමෝ මහා දානපතියෙක් විය. ඈ මරණාසන්න වූ කල්හි සදෙව් ලොවින් වාහන සයක් පැමිණියේය. චුල්ලී උපාසිකාවගේ කථාව මෙන් විස්තර කළ යුතුයි.