විශාඛා මහෝපාසිකාවගේ කථා වස්තුව
"සැප ලබන්නේ පින නිසා ම යි"
පින්වතුනේ, පින්වත් දරුවනේ. පින කියන්නේ මහා පුදුම දෙයක්. පින තුළින් දෙවි මිනිසුන් හට පුදුම විදිහේ සැප ලැබෙනවා. පින් කරපු අය උපදින්නේ සැප විඳින්න මයි.බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබලන කාලයේ ධර්මය තුළින් ම විශේෂත්වයට පත් පිරිස් භික්ෂුන් වහන්සේලා අතර සිටියා. භික්ෂුණින් වහන්සේලා අතරත් සිටියා. උපාසකවරුන් අතරත් සිටියා. උපාසිකාවන් අතරත් සිටියා. ඒ සිව්වණක් පිරිස තුළ විශේෂ ගුණ ධර්මයන් වැඩුණු උතුමන් හට බුදුරජාණන් වහන්සේ අගතනතුරු දී වදාළා.
විශාඛා මහෝපාසිකාව ගැන ඔබ කවුරුත් දන්නවා. එතුමිය තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රධාන ම උපාසිකාව වුණේ. එතුමියට දන් පැන් පූජා කරන උපාසිකාවන් අතර අග්‍ර දායිකාව බවට අගතනතුරු ලැබුණා. උපාසකවරුන් අතරේ අගතනතුරු ලැබුණේ අනේපිඬු සිටුතුමාටයි.මෙම විශාඛා මහෝපාසිකාව සෝතාපන්න බවට පත් වුණේ සත් හැවිරිදි වියෙහි දී යි. එතකොට ඇය සිටියේ අංග ජනපදයේ භද්දිය කියන නගරයේ.
සැවැත් නුවර මිගාර සිටාණන්ගේ පුත්‍රයා වන පූර්ණවර්ධන සිටුවරයාට විවාහ කරදීම නිසයි ඇය සැවැත් නුවරට පැමිණියේ. මිගාර සිටු පවුල කලින් නිගණ්ඨ නාත පුත්‍රගේ ශ්‍රාවකයන්. නමුත් විශාඛාව ඉතාමත් බුද්ධිමත් ව නිර්භීත ව අභිමානවත්ව කටයුතු කිරීම නිසා ඒ මුළු පවුල ම තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වුණා.
ඒ වගේ ම විශාඛා භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළේ මවක් දරුවන්ව රැකගන්නා ආකාරයට යි. ඔබ දන්නවා ඇති විශාඛා පංචකල්‍යාණයෙන් යුක්ත යි. ඒ කියන්නේ ඇයට ඉතාමත් ම සෝභා සම්පන්න කේශ කලාපයක් තිබුණා. ඒ කේශ කල්‍යාණය යි. ඇයගේ ශරීරයේ අත් පා ආදිය ඉතා සෝභාසම්පන්න ව පිහිටා තිබුණා. එය මාංශ කල්‍යාණයයි. ඇයට ඉතාමත් ම අලංකාර සුදෝසුදු දත් දෙපෙළක් තිබුණා. එය අස්ථි කල්‍යාණයයි.
ඇයට රන්වන් පැහැයෙන් දිලෙන සමක් තිබුණා. එය ඡවි කල්‍යාණය යි. ඇය දරුවන් විසි දෙනෙකු ගේ මවක් වෙලා සිටිය දී පවා ඉතාමත් ආකර්ෂණීය රූපයක් තිබුණා. ඇයගේ වයස කිසි කෙනෙකුට කියන්නට බැහැ. දියණිවරුන් අතරේ, මිණිබිරියන් අතරේ පවා ඇය දිස් වුණේ දියණියක් වගේ. එය වයඃ කල්‍යාණය යි. ඒ වගේම ඇයට මහාලතාපසාදනී නමින් ආභරණයකුත් තිබුණා. දඹදිව එවැනි වටිනා ආභරණ තුනක් තිබුණා. එකක් විශාඛා මහෝපාසිකාව සතු වුණා. අනෙක බන්ධුල මල්ලිකාව සතු වුණා. අනෙක බරණැස සිටුතුමාගේ දියණිය සතු වුණා.
දිනක් විශාඛාව මංගලෝත්සවයකට යන්නට මෙම ආභරණය පැළඳගත්තා. විසිහත් කෝටියක් වටිනා එම ආභරණය පැළඳගත් විට ඇයව මුළුමනින් ම බබළනවා. එය පැළැඳ ඇය ගමන් කරන විට ඇයගේ සිරුරින් රැස් විහිදෙනවා. ඉතින් එදා ඇය මංගලෝත්සවයට යන අතරේ ගිලන් වූ භික්ෂුවක් ගැන දැනගන්නට ලැබුණා. ඇය කෙළින්ම දෙව්රම් විහාරයට යන්නට පිටත් වුණා.
එහෙත් ඇය මහාලතා පසාදනී නම් ආභරණය සමග වෙහෙරට යන්නට කැමති වුණේ නෑ. ඇය එම ආභරණය සිරුරෙන් ඉවත් කොට දාසියට දුන්නා. ඉන්පසු ඒ ගිලන් ස්වාමීන් වහන්සේව බැහැදකින්නට ගොස් ඇප උපස්ථාන කටයුතු සොයා බැලුවා. ඇය කටයුතු අධික බැවින් ආපසු යන්නට පිටත් වුණා. අතරමගදී ඇයට මහාලතා පසාදනිය මතක් වුණා. එය රැගෙන එන්නට දාසිය පිටත් කළා. ඒ වන විට ඒ මහාලතාපසාදනිය විහාරයේ පසෙක තිබෙනු දුටු ආනන්ද තෙරුන් වහන්සේ සුරක්ෂාව පිණිස එය වෙන තැනකින් රැගෙන තිබ්බා.
මෙය දැනගත් විශාඛාව මෙහෙමයි කල්පනා කළේ. "දැන් මේ ආභරණය ආර්යයන් වහන්සේලාගේ අතින් අරගෙන පැත්තකින් තියපු දෙයක්. ඒ නිසා මං මෙය පරිහරණය කරන එක හරි නෑ. ඒ නිසා මං මෙය විකුණනවා. විකුණලා සංඝයාට කැප වූ විශේෂ දෙයක් කරනවා." කියලා ඉතාම සතුටින් මෙම ආභරණය ගෙන්වා ගෙන සල්පිලට ගෙනිච්චා.
මෙය විසිහත් කෝටියකට ගන්නට කවුරුත් නෑ. අන්තිමේ දී විශාඛාව විසින්ම විසිහත් කෝටියක ධනය දී ඒ ධනය ගැලක පටවා ගෙන වෙහෙරට ගියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කොට මෙසේ පැවසුවා. "ස්වාමීනී, ආනන්දයන් වහන්සේ විසින් මහාලතා පසාදනී අතින් ස්පර්ශ කොට පසෙකින් තිබ්බා. එතැන් පටන් එය මට පරිහරණය කරන්නට සිතෙන්නේ නෑ. මහා ගෞරවයක් ඇති වෙනවා. ආර්යයන් වහන්සේ නමක්
අතින් ස්පර්ශ කරපු දෙයක් ආර්යයන් වහන්සේලා කෙරෙහි මේ සා ආදර ගෞරව දක්වන මා කොහොමද පරිහරණය කරන්නේ ? ඉතින් ස්වාමිනි, මං එය විකුණන්නට සල්පිලට ගෙනිච්චා. එය ගන්නට කිසිවෙක් නෑ. එය මම ම මිලට ගත්තා. ඒ මුදල් මේ ගැල්වල පටවාගෙන ආවා. ස්වාමීනි, මං මෙයට මොකද කරන්නේ?"
"එහෙම නම් පින්වත් විශාඛා, නැගෙනහිර දොරටුවේ සංඝයාට වාසය කිරීම පිණිස අසපුවක් තනවන්න." ඉතින් විශාඛා ඉතා ම සතුටින් යුතුව කෝටි නවයක් වියදම් කොට භූමිය මිලට ගත්තා. කෝටි නවයක් වියදම් කොට යට මහලේ කාමර පන්සියයකින් යුතුව, උඩු මහලේ කාමර පන්සියයකින් යුතුව කුටි දහසක අසපුවක් කෙරෙව්වා. නව කෝටියක් වියදම් කොට උත්සවාකාරයෙන් එය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට අතපැන් වත්කොට පූජා කළා.
එය පූජා කළ දවසේ ඇය පුදුමාකාර සතුටකට පත් වුණා. සතර මාසයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දන්පැන් පූජා කළා. අවසාන දවසේ දසදහස් ගණන් භික්ෂුන් වහන්සේලාට තුන් සිවුරු පූජා කළා. මේ ආකාරයට විසිහත් කෝටියක් වියදම් කරවමින් පූර්වාරාම මහා විහාරය බුද්ධ ශාසනයට පූජා කළා. ඇය එදා මහා සතුටට පත්වෙලා දූ දරුවන්, යහළු යෙහෙළියන් පිරිවරාගෙන මිහිරි ගී ගය ගයා පූර්වාරාමය වටේ ඇවිද ඇවිද ගියා.
සුදු පැහැයෙන් බබලන ඒ -සුරම්‍ය ප්‍රාසාදේ විහාරයක් කොට දුන්නෙමි-
සිතේ සතුට විහිදේ සිහින සැබෑ විය මාගේ පින් ගඟුලක් පෑදේ
ඇඳ පුටු හා මෙට්ට පැදුරු -ඇතුරුව ප්‍රාසා දේ
සේනාසන බඩු දුන්නෙමි - සිතේ සතුට විහිදේ සිහින සැබෑ විය මාගේ -
පින් ගඟුලක් පෑදේ රස මසවුළු බොජුන් යුතුව -නිරතුරු දන් සාලේ උතුම් සංඝ දාන දුනිමි -
සිතේ සතුට විහිදේ සිහින සැබෑ විය මාගේ -පින් ගඟුලක් පෑදේ සිනිඳු කසී සළුවෙන් යුතු -
සකසා තුන් සිවුරේ දහස් ගණන් සිවුරු දුනිමි -සිතේ සතුට විහිදේ සිහින සැබෑ විය මාගේ -
පින් ගඟුලක් පෑදේ ගිතෙල් වෙඬරු මී පැණි තෙල් -ගිලන්පසට සෑදේ සංඝයාට බෙහෙත් දුනිමි -
සිතේ සතුට විහිදේ සිහින සැබෑ විය මාගේ - පින් ගඟුලක් පෑදේ
ඉතාමත් මිහිරි හඬින් ඇය මෙලෙසින් ගායනා කරමින් පූර්වාරාමය වටේ ඇවිදින විට භික්ෂූන් වහන්සේලා ඒ ගැන බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. "ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, විශාඛා මහෝපාසිකාව ඉතාම නිශ්ශබ්දව කටයුතු කළ කෙනෙක්. මහ හඬින් කතා කළේ නැහැ. සියලු දෙනාට ම ආදර්ශවත් වුණා. එහෙත් ස්වාමිනි, අද ඇයගේ වෙනසක් පේනවා. කිසි ම අමුත්තක් නැතුව මහ හඬින් ගීත ගයමින් ප්‍රාසාදය වටා ඇවිදිනවා. සාර මාසයක් මුළුල්ලේ වෙහෙස මහන්සි වී දන්දීම නිසා පිත කිපුණා වත්ද? සෑහෙන්න නිදිවැරීම නිසා උමතු වුණාවත්ද?
" පින්වත් මහණෙනි, විශාඛාව ගී ගයන්නේ ඇයගේ සසරේ පැතුමක් ඉටු වීම නිසයි.ඇය ඔය ගායනා කරන්නේ උදාන හී. " යයි වදාළ බුදුරජාණන් වහන්සේ යළි මේ ගාථා රත්නය මිහිරි හඬින් වදාළා.
යථා පි පුප්ඵ රාසිම්හා - කයිරා මාලාගුණේ බහු ඒවං ජාතේන මචේත කත්තබ්බං කුසලං බහුං
සුවඳ සුපිපි මල් අරගෙන - ගොතයි නේක මල් මාලා එලෙසින් ලොව උපන් කෙනා - කළ යුතු පින් මාලා සැප හා සැනසුම ලැබෙනා - කුසල් වැඩිය යුතු නිතිනා නිරතුරු පින් කළ යුතුමයි - මාල ගොතන ලෙස නිතිනා
පින්වතුනේ, පින්වත් දරුවනේ, මල් මාලා ගොතන කෙනෙක් හැම තිස්සේම කල්පනා කරන්නේ ලස්සන මල් එකතු කිරිම ගැනයි. එයා යන යන තැන සොයා බලන්නේ ලස්සන මල් තියෙන්නේ කොහේ ද කියල යි. ද ඒ ඒ තැනට ගිහින් මල් නෙලා ගන්නවා. හොඳින් පරිස්සම් කරගන්නවා. ඉතාම අලංකාර ලෙස මල් මාලයට අමුණා ගන්නවා.
බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ විදිහට අපිත් කටයුතු කළ යුතු බවයි. පින ළඟට එනකම් බලාගෙන සිටීම නුවණක්කාර වැඩක් නොවෙයි. පිනට ආසා කෙනා පින සොයාගෙන යන්නට ඕන. විශාඛාව පූර්වාරාමය පූජා කරන දවසේ විශාඛාවගේ යෙහෙළියකට සංඝයා උදෙසා ලක්ෂයක් අගනා වස්ත්‍රයක් පූජා කරන්නට ඕන වුණා. ඇය එය එළන්නට සුදුසු තැනක් මුළු පූර්වාරාමයේ ම ඇවිද ඇවිද සෙව්වත් සොයන්නට බැරිව ගියා. ඇයට ලොකු දුකක් ඇති වුණා. අන්තිමේ දී පසෙකට වාඩි වී හඬ හඬා සිටියා. ඇයගේ හැඬුම අසා ආනන්ද ස්වාමින් වහන්සේ එතනට වැඩියා. "පින්වත් දියණිය. හඬන්නේ ඇයි?"
"අනේ ස්වාමීනී, මට මේ පිනට සහභාගී වෙන්නට ලොකු ආසාවක් තිබුණා. ඒ නිසයි මේ ලක්ෂයක් අගනා වස්ත්‍රය අරගෙන ආවේ. මෙය අතුරන්නට තැනක් සොයනවා සොයනවා. සොයා ගන්නට නැහැ.ආනන්ද ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා කල්පනා කළා එයට සුදුසු තැනක් මතක් වුණා. " පින්වත් දියණිය දුක් වෙන්න එපා. මං ඔබට තැනක් කියන්නම්. අර පඩිපෙළ මුල පේනවාද? අන්න එතන තියෙනවා සංඝයා පා දෝවනය කරන තැන, සංඝයා පා දොවා අවසන් වූ ගමන් පා පිස්නාවක් හැටියට ඔබ එතන මෙය එළන්න. එය ඔබට මහත්ඵල ලබා දේවි." ඉතින් ඇය ලක්ෂයක් අගනා ඇතිරිල්ල සංඝයා හට පා පිස්නාවක් කොට පූජා කළා.
මේ අයුරින් පින් කරනා කෙනා කවුරු මොනවා කිව්වත් තමන්ගේ පුණ්‍ය කටයුතු කඩා කප්පල් කරගන්නේ නෑ දිගට ම කරගෙන යනවා. ඔබත් දක්ෂ මල්කාරයෙක් මල් රාශියක් නෙලාගෙන ලස්සන මල් මාලා ගොතනවා වගේ සෑම විට ම පින් කිරීමට මහන්සි වෙන්න.