ගල් ප්‍රේතයාගේ කථාව

මෙසේ අසන්ට ලැබේ. හෙළ දිව රුහුණු දනව්වෙහි සැටක් පමණ භික්ෂූහු මහබෝ වැඳීම පිණිස උත්තරා පථයට ගියාහු ය. ඔවුහු ක්‍රමයෙන් අනුරාධපුරයට ඇතුල්ව මහාකොණ්ඩ නම් තැනදී නැව් නැග කාවේරි පටුනෙහි බැස ක්‍රමයෙන් යන්නාහු මහවනයට ඇතුල් වූහ. එහිදී මාර්ගය සොයාගත නොහැකිව ඇවිදිනාහු ඇතුන් ගිය මඟක් දැක එය මගයයි සිතා එයට බැස තෙදිනක් ගමන් කොට මහත් ගලක් වැනි වූ ක්‍රෝශයක් පමණ දිගැති ප්‍රේතයකු දැක ගලකැයි සිතා එහි නැග හොත්තාහ.

රාත්‍රියෙහි මහ තෙරනම නැඟිට සක්මන් කරන්නේ අත් - පා - හිස යන මේවායේ සටහන් දැක "මේ ප්‍රේතයෙක. ගලක් නොවේය '' යි දැන ඒ භික්ෂූන් අමතා "ඇවැත්නි, බසිව්, මේ ප්‍රේතයෙකි. ගලක් නොවේය" යි කීය.

ඔවුන් බිමට බැස්ස විට ප්‍රේතයා හිස එසවීය. එය දැක තෙරනම මෙසේ විචාළේය: ගලක් වැනි වූ තාගේ ශරීරය එක් ක්‍රෝශයක් පමණ ඇත. සිටීමක් හෝ ඇවිදීමක් නැත. තා විසින් කුමන කර්මයක් කරන ලදදේද? ප්‍රේතයා මෙසේ කියයි. ස්වාමීනි, මම ප්‍රේතයෙක් වෙමි. පෙර කාශ්‍යප බුද්ධ කාලයේදී මිනිසෙක් වී සංඝයා අයත් දේ විනාශ කෙළෙමි. දුෂ්ට අදහස් ඇති ඒ මම ආරාම කෙත් - වත් ආදිය ද ධනධාන්‍යාදිය ද විනාශ කෙළෙමි. ඒ නිසා මම මෙ වැනි බලවත් කටුක දුක් විඳ පසුව අවීචියට යන්නෙමි. මහ තෙර නම " තෝ සාංඝික දේ විනාශ කෙළේ කොයි ආකාරයෙන්ද " යි විචාළේය. කාශ්‍යප ලෝකනාථයන් වහන්සේ පිරිනිවී කල්හි මම නැයන් සමඟ සංඝසන්තක කුඹුරු වලින් ධාන්‍ය රැගෙන කෑවෙමි.දූ දරුවෝද නෑයෝ ද දාසකම්කරුවෝ ද එකතුව ඒවා අනුභව කෙළෙමු. මම දන් තනිවම දුක් විඳිමි.මා කළ බැරෑරුම් කර්මය දැඩිසේ මා දවයි.

ස්වාමිවරුනි, මම පිපාසාවෙන් පෙළෙමි, මාගේ මුඛයෙහි පැන් වත්තළ මැනවැයි ප්‍රේතයා කීය. එවිට සැටක් පමණ භික්ෂූහු ගඟට බැස පාත්‍ර වලින් පැන් ගෙනවුත් ඔහුගේ කටේ වත්කළ නමුත් ප්‍රේතයාගේ දිවවත් නොතෙමුණි. තෙර නම ඔහුගෙන් කිසි අස්වැසීමක් ලද්දේද '' යි ඇසී. 'ඉදින් දහස්ස්නමක් භික්ෂූන් සත්දිනක් මාගේ මුඛයෙහි පැන් වත්කළත් මාගේ දිව අගත් නොතෙමේ; බොටුව ඉක්මවා යාම කෙසේ නම් සිදුවිය හැකිද? සංඝ සන්තක දෙය විනාශ කිරීමෙහි මෙවැනි කටුක විපාක ඇත. මෙය සැපයක් යයි සිතා මා විසින් දුකට හේතුවන දෙයක් කරන ලදී. මා කළ දෙයම මට විපාක දෙයි. එය විපාක දෙන කල්හි පිහිටත් විද්‍යාමාන නොවේ. ඉදින් ඔබවහන්සේලා වත්කළ දිය මාගේ බොටුවෙන් පහළට ගියේ නම් මේ ප්‍රේතාත්මයෙන් නොමිදෙම්වා " යි දෙස් කියා ආයුෂ්මත්වරු කවරහුද? කාගේ ශ්‍රාවකයෝ ද යි විචාළේය.

ශාක්‍ය රාජ කුලයෙහි උපන් ගෞතම බුදු රජ අපගේ අපි ශිෂ්‍යයෝ වෙමුයි භික්ෂූහු කීය. ඉදින් ලෝකනායක වූ ගෞතම බුදු රජ උපන්නේ නම් සත්දිනක් ඉක්ම කල්හි මම අවීචියට යන්නෙමි. කාශ්‍යප - ගෞතම යන බුදුවරුන් දෙනමගේ කාලය අතරෙහි මේ පොළොව හත් ගව්වක් වැඩුණේය. ප්‍රේතලෝකයෙහි දුක් විඳින මට ගණන් කළ නොහැකි තරම් වර්ෂ සංඛ්‍යාවක් ඉක්ම ගියේය. දැන් අවීචියට ගොස් ඉතිරිව තිබෙන ඒ කර්ම විපාකය වින්ද යුතුය. ප්‍රමාදයෙන් හා ලෝහයෙන් හටගත් ඒ කර්මය මෙසේ විපුලත්වයට ගියේය. සංඝයා සතු දෙය වැනසීම් මෙසේ දොස් එළවන්නක් වේ. යම් කෙනෙක් ඒ දෙය රසින් නම් ඔවුන්ට පින්පල ලැබෙන්නක් ද වේ. දුන් ධ්වහන්සේලො වඩිනු මැනවි.


මාගේ ශරීරය ගිනිදල් වෙලා ගනින් මා දැක බුදු සස්නෙහි අප්‍රමාදී වෙත්වා. ලෝකයෙහි සඳහ වූ උතුම් ක්‍ෂණ සම්පත්තිය ලැබ එය අත්හැරි යන්ට ඉඩ නොදෙනු මැනවි. බුදුසස්නෙහි යෙදෙනු මැනවි. කල් ඇතිවම එහි යෙදී දුක් කෙළවර කරනු මැනවි. සැප නැති දුගතියට ගොස් මා මෙන් ශෝක නොකරව්" යයි ප්‍රේතයා කීය. සඟ සතු දේ විනාශ කිරීමෙහි මේ දෝෂයන් දැක ධර්ම ප්‍රීති ඇති භික්ෂූන්ට මහත් සංවේගයක් ඇති විය. ඒ භික්ෂූන් ඉවත් වූ කල්හි ප්‍රේතයාගේ ශරීරයෙන් මහ ගිනිකඳක් නැංගේය. ඔවුහු ඒ ගින්නේ එළියෙන් එදා රෑ ගව් එකහමාරක් ගමන් කළහ. යන්නා වූ ඒ භික්ෂූහු ප්‍රේතයාගේ කීම සිහි කරමින් සංවේගයට පත් සිතැත්තෝ මාර්ගඵල ලාභී වූහ.