තරුණ භික්ෂුනමගේ කථාව

(මෙසේ අසන්ට ලැබේ) සම්පත් පිරි ජනයාගෙන් යුක්ත වූ නිත්‍ය ශස්‍ය සම්පත් ඇති. මනා භික්ෂූන් බහුල වූ, සැපවත් සෘතු ගුණ ඇති, හැම දිශාවන්හි පතළ කීර්ති ඇති. හැමකල්හි රම්‍ය වූ, ශ්‍රද්ධාවත් උපාසක පිරිසෙන් යුතු සුරට්ඨජනපදයෙහි ප්‍රකට ගමක ආවාසයක එක් තරුණ භික්ෂු නමක් වසයි. ප්‍රමාද විහාරී වූ හෙතෙම භික්ෂු නාමය දරමින් රාත්‍රි කාලයෙහි කැමති තැන්වල ඇවිදිමින් ප්‍රකට ලෙසම සිකපද මඩින්නෙක් විය. මෙසේ වසන ඔහුගේ භාර්යාව ගැබ් ගත්තීය. හෙතෙම ගැබ මුහුකුරා ගිය විට ඒ ස්ත්‍රිය ඇගේ මවගේ ගෙට කැඳවාගෙන ගියේය.

ඈ අතරමගදී පඳුරු අතරට වී දරුවකු වැදී. භික්ෂු නම ලෙසින් වැකුණු, දුගඳ හමන විරූප වූ ඇය දැක සංවේගයට පත්ව පිලිකුල් සංඥාව උපදවා මෙසේ සිතී: මේ පණු සමූහයාගෙන් ගැවසී ගත් ශරීරය පිට සමෙන් වැසී මනෝඥකාරයක් දක්වයි. මම ඇතුළත නොදකින් පිටත ඇලී සිටියෙමි. මේ සිරුර යටින් පතුල් වල පටන් උඩින් හිසකෙස් දක්වා මලයෙන් පිරුණු අපිරිසිදු දුර්ගන්ධ ඇත්තකි.මේ සිරුරෙහි කෙස් ලොම් නිය දත් සම් යන මොහු වෙති. මෝහයෙන් මේ සිරුරෙහි ඇලුම් කරති.මම අද තත්වූ පරිද්දෙන් මෙහි ඇතුළත ස්වභාවය දකිමි.

මෙහි ඇතුළත ගොනුත් මරන තැනක මෙන් ලේ ද මස් ද සඳමිදුලුද වෙති.මේ පිළිකුල් කටයුතු වූ හරයක් නැති ශරීරයට නින්දා වේවා. මෙය හැම නුවණැත්තන් විසින් දුරු කරන ලද්දකි. හැම අඥානයන් විසින් සෙවුනා ලද්දකි.මම පෙර මෙවැනි කුණු කයක ඇලී සිටියෙමි. විපරීත වූ සිතින් මුළා වී රාගයෙන් මැඩුනේ වෙමි.ශීලය හැර දමා මේ කුණු කයෙහි ඇලුණු මම බුදු සස්න ලැබ නපුරු ජීවිතයක් ගත කළෙමි.මාගේ ප්‍රමාදී ගමනින් සිදු වූ දෙය හැර දමා නැවත පැවිද්ද ලබා ගෙන බුද්ධානුශාසනය පිළිපදින්නෙමි.රාග, ද්වේෂ, මලාදි ක්ලේශයන්ගෙන් කිලිටි වූ මම සදහම් තොටට ගොස් ඒ කිලිටු සෝදා හරින්නෙමු.

මෙසේ සිතා හෙතෙම සිත දැඩිකොට ගෙන සංවේග භයින් තැවුනේ පැවිද්ද සඳහා සිත යොමු කෙළේය.හෙතෙම මෙසේ සිතා අශුභ සංඥාව මෙනෙහි කොට ඒ ස්ත්‍රිය මවගේ ගමට ගෙන ගොස් නවත්වා '' චිත්තගෝ" නැමැති විහාරයට ගොස් එහි වසන ෂඩභිඥාලාභී සිග්ගව නම් තෙරුන් වෙත එළඹ පැවිද්ද ඉල්වීය. "ක්ලේශ නමැති ග්‍රාහක සතුන්ගෙන් යුක්ත වූ දරුණු සංසාර සාගරයෙහි කාමාදී සැඩපහර සතරින් පාවී යන මා දහම් නමැති නැවෙන් බේරාගත මැනවි මාගේ බැමි සිඳීම සඳහා මට බුද්ධ ධර්මය දෙනු මැනවි.රාග - ද්වේෂ - මෝහ ගින්නෙන් නොසන්සිඳුණු දාහ ඇතිව දීර්ඝ කාලයක් සසර ඇවිදින මට දහම් නමැති පැන් දෙනු මැනවි.

නැවත කෙලෙස් ඉපදීම නමැති රෝගයෙන් පීඩිතව ක්ලේශයන් විසින් කනු ලබන මට දහම් බෙහෙත දෙනු මැනවි.ප්‍රපාතයක වැටෙන්ට සිටින්නා අනාථ වූ දුගී වූ මා අනුකම්පා සහගත සිතින් නවත්වාගනු මැනවි.ප්‍රමාදයාගේ වසඟයට පත් මාගේ දෝෂය මා ඉක්මවා ගියේය. ඒ සියල්ල ඉවසා මා පැවිදි කරනු මැනවි. "මෙසේ යාච්ඥා කරනු ලැබූ තෙරනම ඔහු පැවිදි කෙළේය. හෙතෙම පැවිදි වී වනයෙහි ගස් මුල් අසළ තනිව වසමින් උත්සාහ කරන්නේත් මාර්ගඵලාධිමයක් නොකළ හැකිව පෘථග්ජනයෙක් නොබෝ කලකදී කලුරිය ෙකට ඒ වනයෙහි ග කරුවක ඔපපාතික මිනිස් දරුවෙක්ව උපන්නේය. එක්තරා භික්ෂුනමක් ඔහු දැක ගෙනවුත් චිත්ත නාග තෙරුන්ට දැක්වීය.

දුටු කෙණෙහිම තෙර නම ඔහු හැඳින ඒ භික්ෂුනමට මෙසේ කීය. "මේ ලෙණෙහි තබා මේ ළදරුවා පෝෂණය කරව. මේ තෙම මහා වීරයෙක්ද ධ්‍යාන වැඩූ අභිඥාලාභියෙක් ද වන්නේය.මේ තෙම හැම ආගමයන් ඉගෙන බුදු සස්න අවබෝධ කරගෙන ධර්මාර්ථ දෙක්හි දක්ෂ වූයේ, විශාරද වූයේ පරවාදයන් බිඳ බොහෝ තීර්ථකයන් මැඩ පවත්වා ධර්ම මාර්ගය පහදා දී නොයෙක් දෙන පැවිදි කරන්නේය.එක් වරක් වැදූ ලෙයින් වැකුණු ස්ත්‍රිය දැක සංවේගයට පත් හෙතෙම මාර්ග ඵලයන්ට පැමිණෙන්නේය"

ඒ භික්ෂුනම තෙරුන්ගේ කීම අසා ළදරුවා කාමරයක දමා පෝෂණය කෙළේය. මෙසේ වැඩෙන හෙතෙම සත් හැවිරිදි කාලයෙහි තෙරුන් සමීපයෙහි පැවිදිව රහත් ඵලය ලැබිය. ෂඩභිඥාවන් හා සිවු පිළිසිඹියාවන් ලැබ සියලු බුද්ධ ධර්මය වටහා ගත්තේය. චිත්තාභ තෙරුන් පිරිනිවි පසු හෙතෙම බෙහෝ භික්ෂූන්ට ආචාර්යයෙක්ව දිවි ඇතිතාක් සිට පිරිනිවියේය.

පිරිනිවෙන්ට පෙර සත්තලක් පමණ අහසට නැග අහසෙහි හිඳගෙන මේ ගාථාවන් කීය '' බුදුන් දහම් සඟුන් කෙරෙහි හෝ මාර්ගයෙහි හෝ ප්‍රතිපදාවෙහි හෝ යම් කෙනෙකුන්ට සැකයක් ඇත්නම් මා විචාරනු මැනවි ". භික්ෂූහු මෙසේ කීය.බුද්ධාදී රත්නත්‍රයෙහි අපට සැකයක් නැත. ඔබ විසින් පූර්වයේදී කිනම් කර්මයක් කරන ලද්දේද? අහසෙහිම සිටි හෙතෙමේ මෙසේ කීය.මම පෙර ශ්‍රමණ නම දරන්නා දුශ්ශීලයෙක් වීමි. ප්‍රමාදයට පැමිණි ඒ මම සුරට්ඨ පෙදෙසෙහි විසුවෙමි.මම සඟවා නොගත් පව්කම් ඇත්තෙක් වීමි. මාගේ වරද ඉතා ප්‍රකට විය. මම පින් රැස් කිරීම පිණිස නොව බුදු සස්නෙහි ජීවිකාව කෙළෙමි. හැමදෙනාම මා භික්ෂුන්ට කටුවක් මෙන් රිදවන්නෙකැයි දැනගත්හ. මෙසේ ප්‍රමාදීව වසන්නා වූ මාගේ අඹුව දරු ගැබ් ඇත්තී විය. වදන්නා වූ ඇය දැක මට කාම හේතුවෙන් භයක් ඇති විය. එයින් සසර කලකිරුණු මම චිත්තාභ පර්වතයට ගියෙමි. නැවත පැවිදි වූ මාගේ සිත වනයෙහිම ඇලුණි.

එයින් ව්‍යුත වූ මම ඔපපාතිකව මිනිස් දරුවකුගේ රූපයෙන් ගසක කරුවක උපන්නෙමි.මා දුටු එක් භික්ෂු නමක් මා ගෙනගොස් චිත්තාහ තෙරුන්ට පෙන්වා (ඒ තෙරුන්ගේ අවවාදය ලෙස) කරුණාවෙන් මා පෝෂණය කෙළේය. වැඩිවිය පත් මම ඒ තෙරුන් සමීපයෙහි පැවිදිව කල් නොයවාම රහත් ඵලය ලැබුවෙමි.සංවේග කටයුතු දෙයෙහි සංවේගයට පත්වීම මෙසේ මහත් ඵලදායී වේ යයි ලෝකවිදු වූ බුදු රජ වර්ණනා කෙළේය.

මෙසේ ඒ රහත් තෙරනම අහසෙහි හිඳගෙන තමා කළ කර්මයත් කර්ම විපාකයත් ප්‍රකාශ කෙළේය.මෙසේ පව්කමෙහි නොයෙක් දොස් ප්‍රකාශ කළ ඒ රත් තෙරනම සෘද්ධිබලයෙන් අහසෙහි සිටීම හිදීම හොවීම හා සක්මන් කිරීම පොළොවේදී මෙන් කොට ප්‍රාතිහාර්ය දැක්වීය. මෙසේ ඒ තෙරනම සෘද්ධි බල පෙන්වා පිරිනිවියේය. එහෙයින් ස්වල්ප වූත් සංවේගය යහපත් ගුණ එළවන්නේ යයි දත යුතු.